සුදු බණ්ඩා උඹව අත අරින්නේ නෑ
ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය
කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප
කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘත්තාන්තයකි.
සුදු බණ්ඩා උඹව
අත අරින්නේ නෑ
ඒත් ඌට පුළුවන් ද දෙපාරක් කසාද බඳීන්ඩ
වස්තුහාමි සිය මෑණියන් බලන්නට ගමට ආවේය.ගෙට ගොඩ වුදුණු ගමන් ඔහු දුටුවේ නිවස වෙනදාට
වඩා පිළිවෙළට තබා ඇති අයුරුය. ඔහු ගේ ඇතුළට ගොඩ වැදුණේ අම්මේ යැයි කියමිණි.ඒ හඬ
ඇසුණු කිරි එතනා ඇස් ඇර බැලුවාය. ඇය උන්නේ නිදා ගෙනය. පසුගිය දවස් කිහිපයේම ඇයගේ
අත් කකුල් ඉදිමෙන්නට පටන් ගෙනය.හීනන් මෙන් වස්තුහාමිගේ හඬ ඇසුණු ඇය ඇස් ඇර
බැලුවාය.ඇය ඉදිරියේ සිට ගෙන සිටින්නේ වස්තුහාමිය.ඇයට පුදුම හිතිණ.මේ දවස් ටිකට ඔහු
ඇදිලා ගොසිනි.ඇය හීන් සීරුවේ හිස ඔසවා ඇඳ මත වාඩි ගත්තාය.වස්තුහාමි එහි පසෙකින්
වාඩි ගත්තේය.
"අත් කකුල් ඉදිමෙනවා."
ඇය සිය දුක් ගැනවිල්ල කියා පෑවාය.
"කසායක් වත් බීල බලමු.‘
වස්තුහාමි යෝජනා කළේය.
"බේත් අවුසද හොයන්නේ කවුද?සරක්කු කිරා ගෙන එන්නේ කවුද? ඔව්වා තම්බන්නේ කවුද? කමක්
නෑ මැරිලා යන්නේ නැතෑ"
කිරි එතනා ආඩපාලියක් ලෙස කියා ගෙන ගියාය.
"මං තිසා සැප විඳීන්න ගියානෙවේ අපේ අම්මා.අව්වේ කර වෙවී.පොළව තඩි ගහනවා."
ඔහු සිය දුක් ගැනවිල්ල කියනු කිරි එතනාටදුක සිතිණ.කිසිවක් ඇදෙන හඬ ඇසුණ වස්තුහාමි
එදෙස හැරී බැලුවේය.පොල් අත්තක් ඇද ගෙන එන නාඳුනන යුවතියක් ගෙයි මිදුලේ ඇවිද ගෙන
ගියාය.
"අර දැරිවි කවුද ?"
ඔහු ඇසුවේ කිරි එතනා ගෙනි.ඇයගේ මුහුණ වෙනස් වනු ඔහුට පෙනිණ.
"මෙව්ව දැකලා මෙව්වා අහලා තමා මගේ ලෙඩ වැඩි වුණේ.මේකි බොරු කියනවද ඇත්ත කියනවද මං
දන්නේ නෑ.ඇරත් මෙව්වා මහ පටලැවිලි"
කිරි එතනා කියා ගෙන ගියාය.
"පටලැවිලි ?"
ඔහු විතාළේය. කිරි එතනා හෙමින් සීරුවේ ඇඳෙන් බැස්සාය.ඇයට වස්තුහාමි ට රහසක් කියන්නට
වුවමනාව තිබිණ.
“ඒකි දවස් ගණනක් මෙහේ.ඒකි ඇවිත් ඉන්නේ අපේ සුදුබණ්ඩා හොයා ගෙන.සුදුබණ්ඩා හින්දා
ඒකිගේ බඩේ දරුවෙක් ලු“
වස්තුහාමි උන් තැනින් නැගිට්ටේය.නැගිට්ටා නොව නැගිටුණාය.
“කොටියා කන්ඩ එපායැ මේකි“
ඔහු එළියට බැස්සේය. කිරි එතනා ඔහු පසුපස ආවේ බැරි අමාරුකම් අමතක කරලන විලාසයකිනි.
උඹ කවුදැ.මේහේ මොකද කරන්නේ“?
පොල් අතු වියන්නට සැරසෙන මුතු මැණිකා දිහා බලමින් වස්තුහාමි ගුගුළේය.
මුතු මැණිකා නැගී සිටියාය.අනතුරුව ඇය වස්තුහාමි ළඟට පැමිණ දණ ගසා වැඳ අඬන්නට පටන්
ගත්තාය. වස්තුහාමි මොහොතකට නිහඬ විය.
"මං එක්කං පලයං. මාමණ්ඩි සුදු බණ්ඩා ඉන්න දිහාවකට."
'උඹ මොකටද සුදු බණ්ඩා හොයන්නේ කියාපිය"
වස්තුහාමි ගුගුළේය.
"සුදු බණ්ඩයියගේ දරුවෙක් ඉන්නව මගේ බඩේ"
මුතුමැණිකා පැවසුවාය.වස්තුහාමි සහ මුතු මැණිකාගේ හඬ ඇසුණු හීන් බණ්ඩා පිළිකන්න
පැත්තෙන් ගෙට ඇතුළු විය. ඔහු බලාපොරොත්තු වූයේ වස්තුහාමි මුතු මැනිකාට පහර දෙනු
ඇතැයි වුව ද එවැන්නක් සිදු නොවීය.ඒ වෙනුවට පෙරට වඩා කාරුණික හඬකින් වස්තුහාමි කතා
කරනු ඇසුණු ඔහු පුදුමයට පත් විය.
"උඹ ගෙදර පලයං ළමයෝ.සුදු බණ්ඩා ආයේ මෙහෙ එන්නේ නෑ."
"එහනං මං එක්ක පලයං.සුදු බණ්ඩයියා ඉන්න තැනකට"
ඇය යළිත් ආයාචනා කළාය.
"කියන එක අහපං කෙල්ලේ.එහෙ ගිහිං පලක් වෙන්නේ නෑ."
වස්තුහාමි යළිත් කියා සිටියේය.
"මොන දුක විඳීන්න හරි මං එනවා"
ඇය ගේ වචනය ස්ථීර එකක් බැව් ස්වරයෙන් පැහැදිළිය.
"සුදු බණ්ඩයිය මට පිටු පාන්නේ නෑ.මං බණ්ඩයියව කසාද බඳීනවා"
මුතු මැණිකාගේ ස්වරයට වස්තුහාමි තිගැස්සිණ.
"සුදු බණ්ඩ උඹව අතාරින්නේ නෑ.කියපං කෝ.ඒත් ඌට පුළුවනෑ දෙවංගියක් කසාද බඳීන්ඩ"
මුතු මැණිකා තිගැස්සුනාය.
"ඌ කසාද බැන්දා බොල.අනුරාධපුර පැත්තේ කෙල්ලෙක්".
මුතු මැණිකා බිත්තියට පිට දී සිට එය දිගේ රූරා වැටුණාය.අනතුරුව මහ හඬින් ඉකි
බිඳීමින් ඇඩුවාය.වස්තුහාමි ගෙතුළට ගියේය. ටික වේලාවක් තනිවම සිටි මුතු මැණිකා
වියරුවෙන් මෙන් සාලයට කඩා වැදුණාය.
"උඹ හදන්නේ පට්ට කෙබර ඇද බාලා මාව රවට්ටණ්ඩ.උඹට නං හොඳක් වෙන්නේ නෑ."
ඇය වස්තුහාමි වෙත කඩා පැන්නේ වියරුවෙන් මෙනි.වස්තුහාමි මුතුමැණිකාට පහරක් ගැසුවේය.
ඒ පහරින් ඇය ඇද වැටුණි. වස්තුහාමි අසල පුටුවක වාඩි වූයේය.
"මෝඩියේ සුදු බණ්ඩාඋඹට වැඩිය හැඩ වැඩ එකියක් එක්ක යසට දීග කනවා.උඹ ඌ මැද්දට ගිහිං
කොලනිය ගිනි තියන්නට ද හදන්නේ?“
ඔහු බිම වැටුණු මුතු මැණිකාගෙන් අසා සිටියේ ඇයට අනුකම්පා පාන විලාසයකිනි.
"එතකොට කොයි මේ බඩේ ඉන්න එකාට අප්පෙක්.කොයි මට මිනිහෙක් “
ඇය වස්තුහාමිගේ මුහුණටම ඇසුවාය.වස්තුහාමිට ඒ බැල්ම ඉවසන්නට බැරි විය.එබැවින් ඔහු
ඉවත බලා ගත්තේය.
ඔහුට ඇස ගැසුණේ පැත්තකට වී මේ ජවනිකාව බලා සිටින හීන් බණ්ඩාය.
මෙහෙ වරෙන්"
ඔහු හීන් බණ්ඩා කැඳවුවේය. හීන් බණ්ඩා මුලින් වටපිට බැලුවේ ඒ කැඳවන්නේ තමන්ටදැයි සැක
හැර බලන්නටය.
‘හීනා මෙහෙ වරෙං"
එවර හීන් බණ්ඩා එතැනට පැමිණියේය.
"උඹට ඕනෑ මිනිහෙක් නේ.මේ ඉන්නේ ගනිං.."
වස්තුහාමි මුතුමැණිකාට හීන් බණ්ඩා ගෙන හැර පෑවේය.මුතු මැණිකාගේ දෙඇසෙන් ගිනි පුලිඟු
විසිවෙනු හීන් බණ්ඩාට පෙනිණ.
"අර නාකි ගෑණියි මේ ඉළන්දාරියයි විතරක් එක්කනේ උඹ මේ ගෙදර හිටියේ.කොයි තරං දේවල්
සිද්ධ වෙන්ඩ ඇද්ද නෑ කියාපං.දැං උඹ මේකත් එක්කම දීග කාපන්"
වස්ත්හාමි පැවසුවේ එය අවසන් තීන්දුව ලෙස හඟවමිනි. මුතු මැණිකා නැගිට මොහොතක් බලා
සිටියාය. අනතුරුව ඇය අසල කාමරයට වැදී දොර තදින් වසා ගත්තාය.හීන් බණ්ඩා අසරණව බලා
සිටියේය. වස්තුහාමි මොහොතක් මිදුල දිහා බලා සිටියේය.
ලබන සතියට...
ඡායාරූප -
ධම්මික පතිරත්න
|