|
බොලිවුඩ් නගරයට ඩෙංගු
ඩෙංගු මදුරු මාරයා බොලිවුඩයට පරම දුෂ්ටයකු වී සිටින්නේ වරක් දෙවරක් නොවෙයි. යාෂ් චොප්රා නම් සිනමාවේ මහා අදියුරුවරයාණන් බිම හෙළුවේ ඩෙංගු මාරයාය. දැන් අලුත්ම ගොදුර රන්වීර් සිංය. එදා යුගයේ මහා නළු දිලිප් කුමාර් රෝහලින් පිට වී නිවෙස බලා යන සුබ ආරංචිය කන වැකෙනවාත්, මෙදා යුගයේ දක්ෂ, ජනප්‍රිය නළු රන්වීර් සිං රෝහල්ගතවීමේ දෛවයට මුහුණ පෑවේය. රන්වීර් යනු පමණටත් වඩා සිය වෘත්තියට ඇබ්බැහි වූ අයෙකි. ‘ ගුන්ඩේ’ සිනමාපටය දුර්ගාපූර්හිදී රූගත කරමින් සිටියදී දැඩි අපහසුතාවක් දැනුණ ද ඔහු එය ගණනකට නොගෙන රූගත කිරීම්වල යෙදුණේ ඉන් අධ්යක්ෂවරයා ඇතුළු සිනමා කණ්ඩායමට මුහුණපෑමට සිදුවන අපහසුතාව ගැන සිතාය. එහෙත් රන්වීර් මූම්බායි පැමිණියේ තමන්ගේ අපහසුතාව, රෝගී තත්ත්වය තව තවත් වැඩිකර ගනිමිනි. ඔහුට වැලඳී ඇත්තේ බරපතළ වර්ගයේ ඩෙංගු වෛරස් ආසාදනයකි. ‘ගුන්ඩේ’ යාෂ් රාජ් චිත්‍රපටයකි. රන්වීර් සමඟ ප්‍රධාන චරිත රැඟූ ප්‍රියංකා හා අර්ජුන් කපූර් වාසනාවකට සුවසේ පසු වෙති. ඔහු රැගූ රාම්ලීලා නොවැම්බර් 15 වැනි දින තිරගතවීමට නියමිතය. විසි අට හැවිරිදි රන්වීර් එහි රඟන්නේ දීපිකා පදුකෝන් සමඟයි. දීපිකා ඔහුගේ වර්තමාන පෙම්වතියයි. ‘රාම්ලීලා’ රෝමියෝ ජූලියට් ප්‍රේම වෘතාන්තය අසුරින් නිර්මාණය වූවකි. මෙහි රන්බීර් ‘හම් දිල් චුකේ සනම්’ හි සල්මන් ඛාන්ගේ රංගන ලීලාව අනුකරණය කර ඇති බව ඇතැම් විචාරකයන්ගෙන් පුංචි චෝදනාවක් ද එල්ල වී ඇත. බොලිවුඩයේ රන්බීර් කපූර් තරමටම රන්වීර් සිං ද ජනකාන්තය. ඒ නිසා හදවතින්ම සැවොම ඔහුට ඉක්මන් සුව පතති. ඒ අතරින් දීපිකා මුල් තැන සිටින බව කිසිවකුටත් රහසක් නොවෙයි.
තවත් තාරකා යුද්ධයක්
දීපිකා හා කත්රිනා අතර යුද්ධයක් පවතින බව රහසක් නොවෙයි. එයට හේතුව දීපිකා කලකදී පෙම් කළ රන්බීර් දැන් කත්රිනාගේ පෙම්වතා වීමයි. එහෙත් කන්ගනා රනවුත් මේ කිසිවකට සම්බන්ධ නැත. එසේ වුවත් අලුත්ම යුද්ධය පවතින්නේ දීපිකා හා කන්ගනා රනවුත් අතරය. යුද්ධය සිනමාපට යුද්ධයකි. විසි හය හැවිරිදි කන්ගනා රැගූ නවතම සිනමාපටය ‘රජ්ජෝ’ තිරගත වන්නේ හරියටම දීපිකා රැගූ ‘රාම්ලීලා’ තිරගත වෙන නොවැම්බර් 15 වැනි දිනටය. දීපිකාට හොඳ තරගයක් දීමට එදිනටම සිනමාපටය තිරගත කළ යුතු බවට අධ්යක්ෂ පොලඹවා ඇත්තේ කන්ගනා රනවුත්ය. 2012 වසරටම තිරගත වූයේ කන්ගනා රැඟූ එක් සිනමාපටයක් පමණි. ඒ ‘තේස්’ සිනමාපටයයි. එහෙත් 2013 වසරේදී ඇය සිනමාපට හතරක රඟපා තිබේ. කන්ගනා රැගූ ක්‍රිෂ් 3, රජ්ජෝ තිරගතවීමට දින 11 කට පෙර තිරගත වේ. ඒ අතරින් රජ්ජෝ ගැන ඇය අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින්නීය. ඇය ‘රජ්ජෝ’ රංගනයට එපමණටම ඇලුම් කරන්නීය.
සතුරු මිතුරු
පල ඇති රුකට ගල් වැදීම අලුත් දෙයක් නොවෙයි. සාර්ථකත්වය, සුපිරි තරුවකට පවා මිතුරන් සතුරන් කරන කරුණකි. පසුගියදා සමස්ත ඉන්දීය කළමනාකරණ ශිෂ්‍ය සංගමයේ ආරාධනාවකට අනුව දේශනයක් පැවැත්වීමට ගිය ෂාරුක් පැවසුවේ තම සාර්ථකත්වයේ රහස අසාර්ථකත්වය බවයි. සිනමාපට අසාර්ථක වන්නට ගත් පසු මං දිනකට පැය 18 – 20 ක් වැඩ කළා. සාර්ථකත්වයට පත් වූ පසු තේරුම් ගත්තා සාර්ථකත්වය සහ මිතුරන් දිනා ගැනීම අතර කිසිදු සබඳතාවක් නැති බව. ‘රා.වන්’ට පසු බොහෝ මිතුරක් නැති වුණා. ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ට පසුව තවත් මිතුරන් සතුරන් වුණා. සතුටුයි කියන්න මට එක අලුත් මිතුරෙක් නැහැ. ඒත් සතුරන් නම් ඕන තරම්.’ මේ දිනවල ෂාරුක් කාර්යයබහුල වී සිටින්නේ ඔහුගේ ඊළඟ සිනමා අභියෝගය වන ‘හැපි නිව් ඉයර්’ සමඟයි. එහි ද ඔහුගේ තාරකාව දීපිකායි. ‘හැපි නිව් ඉයර්’ ෂාරුක්ට සිටින සතුරන් ගණන තවත් වැඩි කරාවිද? ඊළඟ සතුරා අලුත්ම සුපිරි තරුව රන්බීර් කපූර් වීමට ද ඉඩ තිබේ. ෂාරුක්ගේ චෙන්නායි එක්ස්ප්‍රස් ඉන්දියාවේ පමණක් ශාලා 3600 ක තිරගතකර ඇති අතර රන්බීර්ගේ ‘බේෂරාම්’ ශාලා හාරදහසක පමණ තිරගත කිරීමට බලාපොරොත්තු වේ. රන්බීර්ගේ තිස් එක් වැනි උපන් දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 28 වැනි දිනටයි. හරියටම භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ උපන් දිනය යෙදී තිබූ දිනයටයි.
අඳුරු වීදුරු මැද
වාහනයේ යන්නේ තමන් බව සැඟවීමටට සුපිරි තරු වාහනවල වීදුරු අඳුරු කරගෙන යන බව මේ පුවත කන වැකුණු පසු රසිකයන්ට සිතෙනු ඇත. එහෙත් සත්‍යය එය නොවෙයි. විද්‍යා බාලන්ට එසේ වාහනය රැගෙන යාමෙන් නිතර රථවාහන පොලීසියෙන් දඩ කෑමට සිදු වී ඇත. එහෙත් ඇය සැමවිටම ගමන් කරන්නේ එවැනි වාහනයකමය. හේතුව ඇයට හිරු එළිය දරා ගැනීමට ඇති නොහැකියාවයි. අජේ දේව්ගන් ද අයත් වන්නේ මේ කාණ්ඩයටමය. එහෙත් අජේ දැන් පදවන්නේ ටින්ට් නොකළ වීදුරු සහිත වාහනයකි. අලුතින්ම මේ නාම ලේඛනයට එක් වූයේ සල්මන් ඛාන්ය. පොලීසිය සල්මන්ට නම් දඩ පනවා නැත. ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ ඔහු සමඟ සිට ඡායාරූපයක් ගැනීමයි.
|