|
මටත් මගේම නොවන ආදරයක් තිබුණා
- ජයන්ත චන්ද්‍රසිරි
ඉකිගසා හඬන අතීතයක ගීතයේ දෝංකාරය මා වටා සැරිසරන බව හැෙඟ්.
මිනිස් ජීවිතයේ අප ආදරය කරන බොහෝ දේ එකිනෙකාට වෙනස් පෞද්ගලික අත්දැකීම් මත ගොඩ නැඟෙන බව මගේ වැටහීමයි. බොහෝ කලකට ඉහත මේ බව මට කියා දුන්නේ එක් අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. එය ඕසන් වේල්ස් නිර්මාණය කළ සිටිසන් කේන් චිත්‍රපටය යි. එහි චාල්ස් කේන් නම් ප්‍රකෝටිපතියාට ජිවිතයෙහි ලබාගත නොහැකි කිසිදු සැප සම්පතක් නොවීය. ධනයද බලයද ගැහැණුද ඔහු වටා සැරිසරයි.
අද මා සිටින්නේ සමනල සංධ්වනියෙන් මත්වය. එය කේන්ගේ රෝස කැකුළකට සම කරන්නට මට වුවමනා නැත. එහෙත් මිනිස් සිතුවිලි හා බැඳුන අප්‍රමාණ ආදර කතාවක් ජයන්ත චන්ද්‍රසිරි නම් මා සහෘදයා මට තිළිණ කර ඇත්තේය. බොහෝ කලකට ඉහත සිනමා අතිරේකයක් සංස්කරණය කළ ඔහු අපට ලෝක සිනමාවේ අලුත් මාවත් ගැන කියා දුන්නේය. ටර්මිනේටර් ට්ත්‍රපටයේ ප්‍රබන්ධය වටා තිබූ අනාගත දේශපාලන යථාර්තය හා මානව සබඳතා අපි ඉගෙන ගත්තේ ජයන්තගේ අතිරේකයට පිං සිද්ධ වෙන්නටය. චිත්‍ර කතාවෙන් වේදිකාවටත් වේදිකාවෙන් ටෙලිවිශනයටත් පැමිණි ඔහු සිනමාකරුවෙකු බවට පත් වූයේය. ඔහු පසුගිය වසරේ නවකතාකරුවෙකු වූයේ ඉටු නොවු සිහිනයක් නිසාය. ‘මහරජ ගැමුණු’ නම් එය මතු යම් දිනෙක හෝ සිනමා කෘතියක් වන්නේ නම් එය අපේ සිනමාවේ අපූර්ව ආශ්වාදජනක ස්මරණයක් වනු ඇතැයි එකී සාහිත්‍ය කෘතියද ජයන්තගේ රූපශක්‍යතාවද කිරා බලන්නෙකුට විශ්වාස කළ හැක්කේය. සමනල සංධ්වනිය ප්‍රේම වෘත්තාන්තයකි. ගැටවර වියට එළැඹෙමින් පවතින කොලු ගැටයෙකුගේ අතට අහම්බයක් සේ ලැබෙන ලියුම් කරදහිය ඔහුගේ ජීවිත ගමනේ හැරවුම් ලක්ෂයක් වන්නේය. සාමාන්‍ය මනුෂ්‍ය ජීවිත ප්ලෑන් ගසා ඉලක්ක කරා යන්නේ නැත. බොහෝවිට බොහෝ ජීවිත අප නොසිතන තැනකදී වෙනත් මානයකට ගෙන යයි. වාදිශ දේවම්න්ද වික්‍රමනායකගේ ජීවිතය තීන්දු වන්නේ ඒ ආකාරයටය.
එය පමණක්ද නොව මට ජනප්‍රිය හින්දි චිත්‍රපට දෙකක්ද සිහියට නැෙඟයි. මධුමතී චිත්‍රපටයේ පෙම්වතා සහ පෙම්වතිය මුණගැසෙන්නේ පළමු විනාඩි හතළිස් පහත් ගෙවුන පසුවයි. මුල් චරිත දෙක කොයි මොහොතක හෝ එකට හමු වී ප්‍රේම කතාව ඇරඹෙනු ඇතැයි අපි විශ්වාස කරමු. දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ චිත්‍රපටයේ ප්‍රේම කතාව ආරම්භ කරන්නට පෙර ඒ චරිත එකිනෙකා හමු නොවී අපි පමණක් හඳුනා ගෙන සිටියෙමු. එහෙත් සමනල සංධ්වනිය එයට වඩා වෙනස්ය. එය හින්දි චිත්‍රපටයක් නොවේ. ඔවුන් එකිනෙක හඳුනා ගන්නේද නැත. ආදරය යනු ගනුදෙනුවක් නොවන වග ජයන්ත චන්ද්‍රසිරි කියා දෙන්නේ එලෙසිනි. ආදරය යනු එක්තරා ආකාරයක සංකීර්ණ මනෝභාවයක් ලෙස ඔහු අපට කියා දෙන්නේය. අපට අසන්නට ලැබෙන අප්‍රමාණ ආදර ප්‍රබන්ධ මේ දවස්වල දැකබලා ගත හැක්කේය. ටෙලිවිෂන මාලා නාටක ඔස්සේ දිවෙන ප්‍රේම විලාපයන්, ගස්වැල් වටා නටන සිනමා කෘතියක ප්‍රේම වෘත්තාන්තයකින් හෝ බැහැරව එක් අතකින් හිතටත් අනෙක් අතින් ඇසටත් දැනෙන සුළු ජීවන වෘත්තාන්තයක් ජයන්ත කියා දෙන්නේය. එහි වෙසෙන්නේ බැලූ බැල්මට සියලු යස ඉසුරින් පිරුණු පුද්ගලයෝ වෙති.
ලොවෙහි ප්‍රේමය පිළිබඳ කවර නම් නිර්වචනයක් ඇත්තේද? ජයන්ත එයට තවත් මානයක් දෙන්නේය. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයයි කියන විට නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා යැයි පවසයි. සමහරවිට ප්‍රේමය නිසා පීඩිත වන තුන්වන පාර්ශවයෝද වෙති. එයින් අසරණ වන්නෝද වෙති. එහෙත් ඔවුන් ජීවිතයේ දුකත් සැපත් එකිනෙක බෙදා ගනිති. ඒ බෙදා ගැනීම ගනුදෙනුවක් වන්නේ නැත. ජයන්ත දවසක මා සමඟ පැවැසූ පරිද්දෙන් ඔහු ජිවිතයේ හැමවිටම ආදරය ලැබූවෙක් විය. කුඩා කල මාපියන්ගේද සොයුරු සොයුරියන්ගේද නෑදෑයන්ගේද ආදරය නොඅඩුව ලැබිය. ඒ ආදරය නිසාම ඔහුද පෙරළා සියල්ලන්ටම ආදරය දැක්වූයේය. ගහට මලටද සතා සීපාවාටද ඒ ආදරය පොදු විය. පාසල් වියේ ආදරයෙන් පැරදුනද ජීවිතයේ හොඳම ප්‍රේමයක් ලබා ගන්නට ඔහු වාසනාවන්ත වූයේය. ඒ ප්‍රේමය වසර ගණනක අපූරු කුටුම්බයක් බවට පරිවර්තනය වී ඇත්තේය. එහෙත් ඔහු පවසන පරිද්දෙන් “මටත් මගේම නොවන ආදරයක් තිබිණ.”
මේ කතාන්දරයේ එක් පුරුකක් හෝ බිඳ වැටුනහොත් මුළු පුවතම ව්‍යාජ බොල් එකක් වනු ඇත. එවිට මුළු චිත්‍රපටයම ව්‍යාජ අත්දැකීමක් වන්නේය. එය එසේ නොවන්නේ පෙර කී නාට්‍යකරුවාද සිනමාකරුවාටද දැවැන්ත තිර නාට්‍ය රචකයෙකුද එක් වූ බැවිනි. මේ තිදෙනාම ජයන්ත චන්ද්‍රසිරි නම් වන්නේය. නාට්‍යකරුවෙකු ලෙස රංගන ශිල්පීන්ගේ රංග ප්‍රතිභාව ඔහු ඉස්මතු කර ගත්තේ අපූරු ලෙසිනි. කබල් ටෙලි නාට්‍ය රැසක ඇට්ටකුණා විය හැකිව තිබූ උද්දික ප්‍රේමරත්නගේ රංගනය මෙන්ම ඔහුගේ ළමාවිය සඳහා තෝරා ගන්නා ලද සූර්යා ගයාරුවන් ද ජයන්තගේ සිනමා සිතුවිල්ලට යෝධ හයියක් විය. මේ අපුරු චරිත දෙක සොයා ගැනීම පසුපස සිටිනුයේ දර්ශන රුවන් දිසානායක යැයි ජයන්ත කියන්නේ කෘතවේදිත්වයෙනි. අනුරාධපුරයෙන් හමු වූ උද්දිකත් පොළොන්නරුවෙන් සොයාගත් සූර්යාත් යන දෙදෙනාටම එකම මුහුණුවරක් ඇත්තේය. මුලින් රූගත කළේ සූර්යාගේ දර්ශන පෙළ යැයි ජයන්ත මට කීවේය. ඇත්ත ජීවිතයේද සංගීතය හදාරණ සූර්යා මෙන්ම උද්දිකත් ගායනයෙහි හපනුන්ය. සූර්යාගේ රඟපෑමේ ඉදිරි කොටස ගෙන යන උද්දික දර්ශන තලයට වී සිය රඟපෑම සොයා බැලූ අන්දම ජයන්ත මට පැවැසුයේ, කලකට ඉහත මෙන්ම මෙවර චිත්‍රපට යනු සාමුහික කටයුත්තක් යැයි තම කණ්ඩායම විශ්වාස කරමින් කටයුතු කළ ආකාරය පිළිබඳ තෘප්තිමත් වෙමිනි. එපමණක්ද නොව වාදීශගේ සොහොයුරා ලෙස රඟන පුබුදු මෙන්ම සෙසු පාත්‍ර වර්ගයාද මෙම අපූරු වෘත්තාන්තයෙහි හුදකලා නොවී ජයන්තගේ නිර්මාණයට උර දෙති. මනෝභාවයන් හා බැඳෙමින් දීර්ඝ ජීවන වෘතාන්තයක් ගෙන එන පුණ්‍යා ලෙස යශෝධා විමලධර්ම තත්වානුරූපී රංගනයක යෙදෙන්නීය.
එය අපට සිතන්නට තවත් බොහෝ දේ ඉතිරි කර තිබේ. ඒ සිනමාකරු අපිට නොකී ආදර කතාවක සිතා ගත නොහැකි අවසානය එයයි. මේ වෘත්තාන්තයේ පුදුමය නම් කිසි කලෙක සමීප විය නොහැකි ආදර කතාවක් ඔහු සියලුම ප්‍රේක්ෂකයන්ට බද්ධ කරන බැවිනි. එය සැමගේ ජිවිතයන්හි පොදු අත්දැකීමක් ලෙස දැනෙන බැවිනි. එසේ නම් හැම ජිවිතයකම කොහේ හෝ තැනක හුදකලා ආදරයක් ඇතැයි කාටනම් කිව හැකිද ? ජීවිතයේ රහස් අනාවරණය කර ගැනීම හරහා මිනිසුන් පිළිබඳ අපූරු වෘත්තාන්ත ගොඩනැඟිය හැකි බව මගේ විශ්වාසයයි. එය පොදු අත්දැකීමක් බවට පත් කිරීම විරළය. හැටහය වසරක සිංහල සිනමාවේ මා දුටු රමණීය ප්‍රේම කතාව සමනල සංධ්වනිය යැයි කීමට තරම් මම හැඟීම්බර වෙමි. මාර්තු 07 වැනිදාට කුමාරි උද්‍යානයට හුදකලාව එන යුවතිය ජීවිතය පුරා එදවසට එහි එන්නට සපථ කරන්නීය. ඇය එය කරන්නේ කා වෙනුවෙන්ද? ආදරය පරමාදර්ශී එකකි. අතීතයේ පටන් මහා කාව්‍ය රචනා වූයේත්, මමෝරම්‍ය සිනමා නිර්මාණ බිහි වූයේත් ප්‍රේමය කේන්ද්‍ර කොටගෙනය. ප්‍රේම කතා පාදක කොටගත් සිනමා කෘති අතර ගොළු හදවත යනු අපට පෙර පරම්පරාවේ සළකුණ වූයේය. සමනල සංධ්වනිය ඉදිරි පරම්පරාවේ ප්‍රේම වෘත්තාන්තය වන්නේය. තවදුරටත් ආදර හසුන් නොලියන පරම්පරාවක සමනල සංධ්වනිය බද්ධ වන්නේ මේ හැඟීම විශ්වයේ සදාකාලික උරුමයක් බැවිනි.
චිත්‍රපටය දකින්නට පෙරම එහි ගීතය අපට හුරුව ඇත්තේය. චිත්‍රපටය එකී ගීතය එයට බද්ධ කොට අලුත් අරුත් දහසක් ගෙන එයි. ගැටවර වියේ දඟකාරකම් නොසිතූ මොහොතක ජිවිත වෙනස් කළ බව අවබෝධ වෙද්දී එයට අපි ඉරණම යැයි කියන්නෙමු. ජයන්ත චන්ද්‍රසිරි සමඟ සංවාදයක යෙදී අවසානයේ එයට ඉරණම යැයි අර්ථ දක්වන්නට අපොහොසත් වීමි. අඳුර දැඩිව එනවිටදී සමනල සංධ්වනියෙන් මත් වූ මට මෙසේ ඇසෙයි.
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
|