වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මෙත්තසේනගේ ‘තරුව නම් මරු’ : ‘පැරගන්’ වැඩ නිමයි

මෙත්තසේනගේ ‘තරුව නම් මරු’ :
‘පැරගන්’ වැඩ නිමයි

පද්ම කුමාර මෙත්තසේන පිළිබඳ අලුත් ආරංචි කිහිපයකි. ඉන් එකක් ඔහු විසින් රචිත පළමු කවි පොත ගැනය. තරුව නම් මරු නම් වූ විශේෂ වූ කවි පොතක් ලෙස හැඳීන් වූවාට වරදක් නැත. ඒ ඊට අඩංගු වනුයේ මෙත්තසේන විසින් නිර්මාණය කොට අන් අයට යැවූ කවීත්වයෙන් යුතු කෙටි පණිවුඩ (එස්. එම්. එස්) ය.

ඒවා ලැබුවේ කවුද යන්න සඳහන් නොකර එස්. එම්. එස්. කවි පමණක් මෙහි අඩංගුව ඇත. තරුව නම් මරු එළි දැක්වූයේ පසුගියදා නිමාව දුටු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීය.

මෙත්තසේනගේ ඊළඟ කලා පුවත වනුයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ පළමු කෙටි චිත්‍රපටයය. පැරගන් නම් වූ එහි ප්‍රධාන නළු නිලි දෙපොළ මෙත්තසේන ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවෙන්ය.

ඕවේස් බක්ෂි සහ රංජනා මිෂ්රා වන ඔවුන් මෙරටට හඳුන්වා දෙන ගමන් ගිරිරාජ් කෞශල්‍ය, තිසුරි යුවනිකා, ජී. ආර්. පෙරේරා, තිලක් සෙනෙවිරත්න, නිලාන් මලිගැස්ප, සනත් වීරසූරිය, දුමින්ද කලංසූරිය, සමන්ති ලැනරෝල්, ජානක ජයකොඩි, පුණ්‍යා සිල්වා, රෝහණ පෙරේරා ඇතුළු පිරිස ද පැරගන් සඳහා රංගනයෙන් දායක කොටගෙන තිබේ.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද මෙත්තසේනගෙන්ය.

රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. කැමරාව අයේෂ්මන්ත හෙට්ටිආරච්චි මෙහෙයවා ඇත. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. සුරේෂ් ශ්‍යාමන් සහාය අධ්‍යක්ෂණයෙක් එක් වෙයි. ඩබ්ලිව්. එම්. එන්. කිත්සිරි නිෂ්පාදන කළමනාකරුය.

මේ වන විට සංස්කරණ අවධියේ පසුවන පැරගන් නිර්මාණය වූයේ ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කිරීමට බව මෙත්තසේන පවසයි.