වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ නාට්‍ය බලන්න මට වෙලාවක් නැහැ

මගේ නාට්‍ය බලන්න මට වෙලාවක් නැහැ

මනීෂා නාමල්ගමට සෘජු ප්‍රශ්න පත්තරයක්

* මනීෂා මොකද මේ දවස්වල නිහඬ?

ඒ පේන හැටි වෙන්න ඇති. මං කොහොමත් සද්ද බද්ද දාන කෙනෙක් නෙවෙයිනේ. පහුගිය කාලේ ටැමිල් ෆිල්ම් එකකත් රඟපෑවා.

* මොකක්ද ඒකේ නම?

ඒකේ නම තවම කියන්න එපා කිව්වා.

* කවුද?

ෆිල්ම් ටීම් එකේ අය තමයි.

* ඒත් ඔයාට ඒකෙ නම මාධ්‍යයට පවසන්න තිබුණා නම් වටිනවා නේද?

ඒක මං වෙලාවට කියන්නම්.

* ඔබ ඉන්න නාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවාද?

ඔව්. අමුතු මිනිස්සු.

* අමුත මිනිස්සු නාට්‍යය දැන් ඉවර වෙලා ගොඩක් කල්නේ?

අහ් . . . ඒක ඉවරද?

* ඒ කියන්නේ මනීෂා තමන් රඟපාන නාට්‍යක්වත් නරඹන්නේ නැහැ?

නාට්‍ය බලන්න තියා ටී. වී. එක දාන්නවත් කෝ වෙලාවක්.

* තමන්ගේ නාට්‍යයක් බැලුවොත් නේද තමන්ගේ අඩුපාඩු බලාගන්න පුළුවන් වෙන්නේ?

ඒක නම් එහෙම තමයි.

* එහෙනම් නාට්‍ය බලන්නේ නැත්තේ මනීෂාගේ රංගනයේ හදාගන්න තරම් අඩුපාඩු නැහැ කියන එකද?

අයියෝ මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කළේ . මං හිතන්නේ අපි හැමදාමත් ඉගෙන ගන්නවා. මැරෙනකම් අපේ අඩුපාඩු හදාගෙන ඉවර කරගන්න බැහැ. මං මගේ නාට්‍ය ඉන්ටර්නෙට් එකෙන් බලනවා. ටී. වී. එකේ නොබැලුවත්.

* මනීෂා ගැන දූෂමාන ආරංචියක් පසුගියදා පැතිර ගියා?

අනේ අපි ඒ ගැන කතා නොකර ඉමු.

* මං ඇහැව්වේ එහි සත්‍ය අසත්‍යතාවය?

මං ඒක සුදුසු වෙලාවට කියන්නම්. ඔයා දැන් වෙන ප්‍රශ්නයක් අහන්න.

* හරි එහෙනම් කියන්නකෝ බම්බලපිටියේ තිබුණු ඔයාගේ සැලුන් එකට මොකද වුණේ කියලා?

ඒක වෙන තැනකට මාරු කළා.

* ගොඩක් අය හිතාගෙන ඉන්නේ සැලුන් එක වැහැව්වා කියලයි?

එතන පාර්කිං ප්‍රශ්නයක් තිබුණා. සැලුන් එකට එන අයට තියා මගේ වාහනේ පාක්කර ගන්නවත් එතන ඉඩක් තිබුණේ නැහැ. ඒකයි තැන මාරු කළේ.

* කලාවයි ව්‍යාපාරයයි සමබරව කරගෙන යන්න පුළුවන්ද?

අපෝ පුළුවන්. මං ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගෙන තියෙන නිසා හොඳටම ව්‍යාපාර කරන්න පුළුවන්.

* කලාකාරියක් නොවී ව්‍යාපාරිකාවක් වුණා නම් අද ඔබ මීට වඩා සැප සම්පත් ලබාගන්න තිබුණා නේද?

සල්ලිම නෙවෙයි ජීවිතේ. මට මුදල් හෙවීමේ අවශ්‍යතාවයම නෙවෙයි තිබුණේ. කලාවට ඇවිත් මුදල් පසෙකලා මගේ හැකියාව එළියට දාන්නයි මට ඕනෑ වුණේ. මට මුදල් අඩුපාඩු තිබුණේ නැහැ.

* එහෙනම් ඔබට නිෂ්පාදිකාවක් වෙන්න තිබුණනේ?

නිෂ්පාදිකාවක් වන්නටත් ක්ෂේත්‍රයේ දෙයක් දැනගෙන ඉන්න ඕනේනේ. ඉදිරියේදී නිෂ්පාදිකාවක් වෙන්නටත් හිතාගෙන ඉන්නවා. මගේ සැමියාත් නිෂ්පාදකවරයෙක් නිසා දැන් බය නැහැ.

* කලාකාරිණියකගේ පුද්ගලික තොරතුරු රසික රසිකාවන්ට වැදගත් නැතිද?

ඇයි ඔයා මේ ප්‍ර‍්‍රශ්න අහගෙන එන ගමන් ඕක ඇහැව්වේ?

* මනීෂා මං කලින් අහපු ප්‍රශ්නයෙදී ආඳෙක් වගේ ලිස්සලා ගිය හින්දා?

මෙහෙමයි, අනවශ්‍ය දේවල් ගැන හාර අවුස්සනවට මං ආස නැහැ. කලාවේ යෙදුණත් අපිත් සාමාන්‍ය මනුස්සයෝ. ඒක නිසා අපට එන ප්‍රශ්නත් වෙලාවකට දරාගන්න අමාරුයි. පොදුවේ ගත්තොත් කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතයට වඩා ඔවුන්ගේ කලා තොරතුරු ගැන මිනිස්සු දැනුවත් කළොත් හොඳයි. මොකද කලාව වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. ඒ මහන්සිය ගැන මාධ්‍යයන් කතා කරනවා නම් සතුටුයි.

* අමුතු මිනිස්සු හි චරිතයට ලැබුන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ඉහළයි. මට සතුටුයි. මං එහි සිල්ලර වෙළෙන්දිය විදියට හිටියේ. සැබෑ වෙනසක් මගේ.

* කොහොමද මනීෂාගේ ඉදිරිය ගෙවෙන්නේ?

අර මං මුලදි කතා කරපු ටැමිල් ෆිල්ම් එක ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒක ආවට පස්සේ මං ගැන වැඩිපුර මිනිස්සු කතා කරාවි.