වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව, රංගනය, නර්තනය, ලේඛනය, සංගීතය එක්තැන් වූ කලාපුරයේ විසීම වාසනාවක්

සිනමාව, රංගනය, නර්තනය, ලේඛනය, සංගීතය එක්තැන් වූ කලාපුරයේ විසීම වාසනාවක්

ප්‍රවීණ රංගවේදී

නිශ්ශංක දිද්දෙණිය

අදත් කලාපුර සවාරිය ආරම්භ කරන්නයි මේ සූදානම. පසුගිය දින කිහිපයේම පැවැති වර්ෂාවට විරාමයක් තියමින් පැහැබර කාලගුණයක් සමඟින් ඇරැඹි අද දවසේ අපි පැමිණියේ ඔබට ළෙංගතු හිතවතකුගේ නිවසකට. ඔහුට වේදිකාවේ හිමි වෙන්නේ සුවිශේෂ ස්ථානයක්. නූර්ති සම්ප්‍රදාය තාත්ත්වික වේදිකාවට රැගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුටයි. අඩ සියවසක් වූ ඔහුගේ කලා දිවිය තුළ ඔහු ඉදිරිපත් කළ දේ බොහෝය. සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාට පණ දෙන ඔහු වරෙක මනමේ නාට්‍යයේ වැදි රජු වන්නේය. ගජමන් පුවතේ ඇළපාත මුදලි වන්නේ ද ඔහුයි. ඔහු නිශ්ශංක දිද්දෙණිය.

සරසවියේ අපි පිළිගන්න ආවේ පුංචි පුතෙක්. මේ කවුද? පිළිතුර වුණේ පුංචි සිනහවක්. ‘මේ මගේ පුංචි මුනුපුරා’ යැයි පවසමින් අප අතරට පැමිණියේ ඒ සොඳුරු කලාකරුවා නිශ්ශංක දිද්දෙණියයි.

‘දැන් මේ සාලය මෙයාගෙ විතරමයි’. ඔහු එලෙස පැවසුවේ, චූටි පුතාගේ දඟකාරකම් අප ඡායාරූප ශිල්පි මාලන්ගේ කැමරා කාචයට හසු කර ගත් අවස්ථාවේදීයි. හැමෝගෙම අවධානය චුටි පුතා දෙසට යොමුවෙලා. දිද්දෙණිය යළිත් හඬ අවදි කළේ ආදරණීය මුනුපුරා දෙස බලාගෙනමයි. ‘මේ මගේ පුතාගේ පුතා. අකිදු ඉඳුවර දිද්දෙණිය. මෙයාට දැන් අවුරුදු තුනයි. හරිම දඟකාරයෙක් තමා. පුංචි මුනුපුරා එක්ක ඉන්න කොට වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැහැ.’

එතකොට කලාපුර ගෙවන ජීවිතේ?

හරිම නිස්කලංකයි. අපි කලාපුරයට ආවේ 2004 වසරේදියි. ඊට කලින් පදිංචි වෙලා හිටියේ සොයිසා පුර මහල් නිවාසවල. අවුරුදු විසි එකක් විතර එහේ පදිංචි වෙලා හිටියා. කලාපුර පදිංචියට එන්න ලැබීම ඇත්තටම පහසුවක් වුණා. ඊටත් වඩා මෙහේ තියෙන සාමකාමී පරිසරය තමයි ගොඩක් වටින්නේ. ඒ වගේම අහුබුදු සූරීන් වැනි උගතුන් ඇසුරු කරන්නට ලැබීමත් විශාල ආශිර්වාදයක් වුණා.

මගේ බිරිඳ විනීතා නන්දනි. පුතා මනුජ මේධංකර. දුව පබසරා මේධාවනි. අපි හැමෝම ජීවත් වෙන්නේ මේ ගෙදර. පුතා දැන් විවාහකයි. පුතාගේ බිරිය වෛද්‍යවරියක්. පුතත් බහුජාතික සමාගමක රැකියාවක නිරත වෙලා සිටින්නේ. හවසට තමයි අපි හැමෝම ගෙදර ඉන්නේ. ඒ කාලය මට ගොඩක් වටිනවා.

දරුවන් කලා කටයුතුවලට දායක වෙන්නේ නැද්ද?

දෙන්නාටම කලා හැකියාවන් පිහිටලා තියෙනවා. පුතා පාසල් කාලයේදී නාට්‍ය කටයුතුවල නිරත වුණා. නාට්‍ය තරගවලින් පවා ජයග්‍රහණය ලබා තියෙනවා. ඒ වගේම ඔහුට හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. පියසාර ශිල්පාධිපති ළඟ නර්තනයත් හැදෑරුවා. ඒ වුණාට රැකියාවේ කාර්යබහුලකම නිසා දැන් පුතාට කලා කටයුතුවලට දායක වෙන්න නොහැකි වෙලා තියෙනවා.

දුව නම් දැන් කලා කටයුතු සඳහා දායක වෙනවා. මේ දවස්වල ඇය ඉන්ද්‍රා වීරසේකරගේ දුවන මුවන් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. අදත් ඇය රූගත කිරීම්වලට ගියා. මමත් එහි රංගනයෙන් දායක වෙනවා. ඒ චිත්‍රපටයේදිත් අපි දෙන්නා තාත්තයි දුවයි විදියට රඟපාන්නේ. අද නම් දුව ෂූටිං ගියේ අම්මත් එක්ක.

විවිධ ක්ෂේත්‍රවල නියුතු කලාකරුවන් රැසක් සමඟින් එකම ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබීම ඔබ දකින්නේ?

ඒ පිළිබඳව ලොකු සතුටක් හිතේ තියෙනවා. අපි හැමෝගෙම එකමුතුවෙන් හැම මාසෙකම පින්කමක් පැවැත්වෙනවා. එතැනදි හැමෝම සහයෝගයෙන් කටයුතු කරනවා. මෙහි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කලාකරුවන් රාශියක් ජීවත් වෙනවා. සිනමාව, රංගනය, නර්තනය, ලේඛන කලාව, මූර්ති වගේම මැජික් කලා ශිල්පියෙකුත් මෙහි ජීවත් වෙනවා.

මෙහිදී අපට විවිධ කලා අංග ඇසුරෙන් ප්‍රසංග වැනි දේ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා සුදුසු රංග කලා මධ්‍යස්ථානයක අවශ්‍යතාව තියෙනවා. වරින්වර ඒ සඳහා යෝජනා ඉදිරිපත් වුණත් කලාපුර තුළ ස්ථානයක් ලැබෙනවා නම් වඩා අගනා බව මම යෝජනා කරනවා. ඒ තුළින් අපේ වටිනා කලා ශිල්ප ඇසුරෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වන බව මගේ හැඟීමයි. එය මෙරට කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් වගේම කලාපුරටත් ඉතා වැදගත් බව කියන්න කැමැතියි.