|
අමිල මතක රැසක් ගෙන අමිලා තරු මිහිරට ඇවිත්
අජිත් වසන්ත කුමාර – කිරිඳිවැල, සජිත් ජෝයි – කළුතර, නිමල් ඒකනායක – පල්ලෙමරාකඩ, කුසුම් සෙනෙවිරත්න – දඩහේන මේ අප සරසවිය පුවත්පතට ළෙංගතු, හිතෛෂිවන්ත පාඨකයින් කිහිපදෙනෙක්. ඔවුන් බොහෝ කාලයක් තිස්සේ සරසවිය හා බැඳුනේ කලාවට ඇති දැඩි මිත්‍රත්වය හින්දමයි. වෙලාවකට මේ අය ‘සරසවිය’ ට ලේ නෑකමක් දක්වනවාදෝ කියලත් හිතෙනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. එතරම්ම සරසවියට ඔවුන් ආදරෙයි. ඒක නිබඳවම අපට දැනෙන කරුණක්. සජිත්, අජිත්, කුසුම්, නිමල්.... අද අපේ සරසවියට පැමිණියේ ඒ ළෙංගතු කම දෝත දරාගෙන.
කෝ අපේ තාරකාව ඇවිල්ලද? නිමල් එහෙම අහද්දී මටත් ඇය මේ වෙලාවේ කොහෙද කියලා අහන්න හිතුණා. අයියේ අමිලා අක්කව දකිනකම් මට ඉසිල්ලක් නැහැ. සජිත් කිව්වෙ වටපිට බලන ගමන්මයි. ඔහුත් එක්ක ඔහුගේ නැගණිය උපුලි සහ මවද ඇවිත් හිටියා. ඇත්තටම අද මේ අයට නිසැකවම අමිල දවසක් වේවි. ඒ නොඉවසිලිමත් මුහුණු දකින මට එහෙම හිතුණා. අද අපේ තරු හමුවට එන්නේ ඇයයි. ඔබ මේ සටහන කියවාගෙන එද්දී සජිත් කලින්ම නම කියූ නිසා ඒ තාරකාව කවුද කියලා හොඳාකාරවම දන්නවා. ඒත් මගේ යුතුකමක් තියෙනවානේ, ඒ හින්දා අද තරු හමුවට එන්නේ අමිලා නදීශානී බව නමින් ඇයව ඔන්න හඳුන්වලා දුන්නා. අමිලා එනවා කිව්වේ හරියටම දහය වෙද්දී. වචනෙ වගේම ඇය තිතට වැඩ.
අමිලා නංගී ආවා නේද? මං දුරකථනය විසන්ධි කරද්දී කුසුම් ඇහැව්වේ මගෙන් ඔව් යන පිළිතුර බලාපොරොත්තුවෙන්. ඒ වෙනකොටත් අප පාඨකයන් හතරදෙනා සුවපහසු පරිදි ‘සරසවිය’ ඡායාරූපගාරයට වී ඈඳිගෙන සිටියා. ඔව්, අමිලා දැන් එනවලු. මං එහෙම කියද්දී හැමෝගෙම මුහුණේ සිනාහවක් ඇඳුණේ පස්වනක් ප්‍රීතියෙන්. මං දවසට පත්තර විස්සක් අරගෙන කූපන් දැම්මා අමිලා අක්කව බලාගන්න. සජිත් එහෙම කියන විටම ඡායාරූපාගාරයේ දොර විවර වුණා. මොකක්ද මොකක්ද පත්තර විස්සක කතාව? මට යන්තම් ඇහුනේ. අමිලා ඇතුළට ආවේ එහෙම කියාගෙන. ඇය අද හරිම ලස්සනයි. නිල්පැහැ සාරියකින් හැඩගැන්වුණු අමිලා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියේ කුසුම්, මන්ද ඇය රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන හින්දා. අද ඇත්තටම අමිලා පිල් විදහාගත් මොනරෙක් වගේ චමත්කාරයි. අමිලා නංගී සාරිය පොඩ්ඩක් අවුල් වෙලා. ඉන්න මම හදන්නම්. කුසුම්, අමිලා හා කියන්නටත් කලින් ඇය ළඟට කිට්ටු වෙලා හරි අපූරුවට සාරිය හැදුවා. ඒ සොඳුරු දසුන අපේ ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න සිය කැමරාවෙහි සටහන් කර ගත්තා.
මේ කාගෙද පුංචි බබා? අමිලා පැත්තකට වී සිටි චූටි දුවක් ළඟට ගත්තා. මේ මගේ දුව. අජිත් එහෙම කියද්දී අමිලා ඇයගේ ඔළුව අතගෑවේ හරිම ආදරෙන්. මගෙ දුව ටිකක් වසයි. හැබැයි පුතා නම් නිහඬ කෙනෙක්. අමිලා ඇයට වෙන්කොට තිබුණු ආසනයෙහි හරිබරි ගැසී වාඩි වුනේ එහෙම කියන ගමන්.
කෝ ඉතින් අර පත්තර විස්සෙ කතාව අහගන්න බැරි වුණානේ? අමිලා මතු සම්බන්ධ වෙච්ච කතාවේ ඉතිරිය විමසුවා. නෑ අක්කේ, මං ඔයාට හරිම ආසයි. ඒක නිසා සතියකට පත්තර විස්සක් අරගෙන ඔයාව බලන්න කූපන් යැව්වා. කොහොම හරි චාන්ස් එකක් ලැබුණා. සජිත් හිනා වෙමින් කිව්වා. දැන් පිරිස අමිලා එක්ක ගජරාමෙට කතාවට වැටිලා. ගායන වැඩ ගැනයි, රඟපෑම් කටයුතුයි ඇගෙන් අහනවා. මේ අහගන්නකෝ මගේ අලුත්ම විස්තරේ. මං ළඟදීම නවල් එකක් අවුට් කරනවා. අමිලා කතාව වෙනත් මානයකට ගෙන ගියා.
ඒ මොකක්ද? හතර දෙනාගෙන් තුන් දෙනකුගේ මුවින් එවදන් එළියට ආවේ ඉබේමයි. ඒකට නමක් දාලා නම් නෑ. දිළිඳු චරිතයක් වටා තමා කතාව දිගහැරෙන්නේ. ඒක තව ටික කාලෙකින් චිත්‍රපටයකට නගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඔයාද ඩිරෙක්ටර්? මරුනේ අපි ඔයාට ඕන සපෝට් එක්ක දෙන්නම්. මෙතෙක් වෙලා නිහඬව සිටි නිමල් ඔල්වරසන් දෙන්නාක් මෙන් වදනින් අමිලාට සහයෝගයක් දුන්නා. බලමු බලමු මං තවම ඉගෙන ගන්නවනේ. අමිලා නිර්වාජ ස්වරයෙන් එහෙම කියද්දී කුසුම්ද අතට අත දී ඇයට සුබ පැතුවා.
කෝ තවම ඔයාලා අමිලාගෙන් සින්දුවක් ඉල්ලුවෙ නැද්ද? මං එහෙම අහද්දියි අමිලා තවම සින්දුවක් කිව්වේ නැහැ නේද කියලා හැමෝටම මතක් වුෙණ්.
අමිලාගෙන් පරණ සින්දුවක් අහන්න තමයි මම නම් ආස.
අජිත්ගෙ අදහස අනිත් අයත් අනුමත කළා. රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම් ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී මා වෙත ළංවී ඔබටයි මා....ආදරේ.... තාලෙට වැදුණු අත්පොලසන් නාදයෙන් ඡායාරූපාගාරයම පිරී ඉතිරී ගියා. කුසුම් නිකම් හිටියෙ නැහැ. අජිත්ගෙ දියණියද කැටුව මනහර රැඟුමකින් සභාව කුල්මත් කළා. සිංදුව ඉවරවෙද්දී කුසුම්ට හති. ඔන්න ඉතින් මං සින්දුවක් කිව්වා. මෙතන කාටද තව සින්දුවක් කියන්න පුළුවන්.
අමිලා එහෙම අහන්නත් කලින් ඉදිරියට ආවේ සජිත්. සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා..... මර්වින් පෙරේරා මහතාගේ රසාලිප්ත ගීතයක් ඔහු යළිත් මෙතැන ජීවමාන කළා. හැමෝගෙන්ම ඊට පැසසුම්. මේ අතර වාරයේ අපේ තිලානි ශානිකා බන්දේසියක බිස්කට් වගයක් ගෙනත්.
බොන්නත් මොනවා හරි තිබුණානම් තමයි මරු. කටකාර කුසුම්ගෙන් තවත් පැනයක්. මේ තියනවා මේ තියනවා තිලානි ඔවුනට බීමෙන් ද සංග්‍රහ කළා. ටික වේලාවකින් කෑමෙන් සහ බීමෙන් සප්පායම් වුණු අප පාඨකයින් වහ වහා ඊළඟට සිය මලුවලින් එළියට ගත්තේ සමරු පොත්. අනේ මට සමරු පොතක් නම් නැහැ. මේං මේකෙ අත්සන් කරලා දෙන්නකො. නිමල් අතට ගත්තේ සාක්කුවේ තිබුණු බිල්පතක්. අමිලා ඊට අත්සනක් යෙදුවේ අන් ඒවාටත් වඩා ලොකුවටයි.
මේ ඉන්නේ මගේ බබාලා. අමිලා සිය ජංගම දුරකථනයේ තිබෙන ඇයගේ දුවා දරුවන්ගේ පින්තූර පෙන්නනවා. සජිත් කොහෙන්දෝ කැමරාවක් ගෙනත් මේ හැම සිද්ධියක්ම ෆොටෝ ගත්තේ මාලන් අයියාටත් වඩා වැඩියෙන්. මං පින්තූරයක් මදි වුණොත් කියන්නම්කෝ. ඔයා එවන්න. මාලන් එහෙම විහිළුවක් කළේ සජිත්ගේ ක්‍රියා කලාපය දැකලා. ඒ කටයුතු එලෙස අවසන් වෙද්දී අප කර්තෘ අරුණ ගුණරත්න මහතා ලක් සළුසලෙන් ලබාදෙන තෑගි වවුචර අරන් ඇවිත් ඒවා බෙදා දෙන්න නිල වශයෙන් අමිලාට බාර දුන්නා. ඇය එවා එකින් එක අප පාඨකයන්ට බෙදා දුන්නේ හදපිරි භක්තියෙන්. දැන් වෙලාව දහවල් දොළහට ආසන්නයි. ක්‍රම ක්‍රමයෙන් තරු මිහිරෙහි රශ්මිය අවසන් වේගෙන එන බව හැමෝටම දැනුණා. අපි ඉතින් ආයෙත් හමුවේවිනේ. මගේ නම්බරේ ගන්නකෝ හැමෝම මට කෝල් කරන්න ඕනේ. අමිලා එහෙම පවසන කොට අප පාඨකයන්ගේ ටිකක් දුක තුනී වුණා.
අක්කෙ කොහොමද තරු හමුව? පිරිසට සමු දුන් පසු මං අමිලාගෙන් එහෙම ඇහැව්වා. ආයෙ වචන දෙකක් නැහැ මරේ මරු. මං හිතුවෙ නැහැ මෙච්චර ප්‍රබෝධවත් වැඩසටහනක් කියලා මේක. මං හිතනවා ඒ අයට වගේම මටත් මේක සමරු සටහනක් වේවි කියලා.
|