වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




අමරසිරි පීරිස්ට ඕස්ට්‍රේලියාවේදී තර්ජනයක්

අමරසිරි පීරිස්ට ඕස්ට්‍රේලියාවේදී තර්ජනයක්

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ ගී ප්‍රසංගයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේදී පැවැත්විණ. මෙරට ගායකයකුගේ ප්‍රසංගයක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම අමුත්තක් නොවුණත්, අමරසිරි පීරිස්ගේ ඒ ප්‍රසංගය මරණ තර්ජන හා ගර්ජන මැද පැවැත්වීමට සිදු වූ බවට ආරංචි පැතිර ගියා. මේ එම සිදුවීම පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවේදී පැවති ප්‍රසංගයකට සහභාගිවන්න ගිහිල්ලා ඔබ කිසියම් අපහසුතාවකට මුහුණ දුන්නා කියා ආරංචියි?

ඔව්. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුප්‍රිම් කෝට් එකෙයි ප්‍රසංගය තිබ්බේ. ඒක සංවිධානය කරපු උදවිය පුද්ගලික කෝන්තරයක් මත දෙපිළකට බෙදිලා. කොටසක් මට එන්න එපා කිය කියා තර්ජනය කරනවා. මට සැරින් සැරේ එස්. එම්. එස්. එවනවා. ඒත් මං අත්සන් කරලා බාරගත්තු වැඩකට මං ගියේ නැත්නම් හරි නැහැනේ. ඕන දෙයක් වෙද්දෙන් කියලා මං ගියා.

මෙබඳු තත්ත්වයක් යටතේ ඔබේ ගමනට හිතවතුන් විරුද්ධ වුණේ නැද්ද?

මොකද නැත්තේ මගේ දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය මට එන්නම එපා කිව්වා. මං ප්‍රසංගයට ගියේ මොන ගැටලු තිබුණත් මගේ රසිකයන් අමාරුවෙ වැටෙන හින්දා.

ප්‍රසංගය අතරතුර ඔබට යම් තර්ජනයක් වූවා නම් ඔබ ඒ සඳහා සූදානමින් ද හිටියේ?

මේ ප්‍රසංගය පෞද්ගලික ආරක්ෂක භටයන් කිහිප දෙනෙකු ද ඒ රටේ ආරක්ෂක අංශ මඟින් යොදලා තිබුණා. මෙච්චර රැකවල් මධ්‍යයේ මං ගී ගයපු පළමු අවස්ථාවයි මේ.

තර්ජන ගර්ජන මැද්දේ කොහොමද භාවාත්මකව සිංදු කිව්වේ?

මං දන්නවා චණ්ඩිකම් කරන අයට එහෙ සෙල්ලම් දාන්න බැහැ කියලා. ඒක නිසා ඒ ගැන වැඩිය තැකුවේ නැහැ. මේ වෙලාවේ මං තව දෙයක් කියන්න ඕනේ. එහෙ ඉන්න සිංහලයන් මීට වඩා වගකීමකින් හැසිරෙන්න ඕන. මොකද මේ වගේ සිද්ධිවලින් හානි වන්නේ අපේ රටේ කීර්ති නාමය.

ඔබේ ගීත කිහිපයක්ම රිඟිංටෝන් සඳහා යොදාගෙන තියෙනවා නේද? මේ පිළිබඳ ඔබ දැනුවත්ද?

මේ වන විට මගේ ගීත පහළොවක් පමණ රිඟිං ටෝන්වලට දාලා. මම මේ හාංකවිසියක්වත් දන්නේ නැහැ. අඩුම ගානේ ඒ කම්පැනියක්වත් මගෙන් ඇහැව්වේ නැහැ. මට ඒ ගැන හරිම කනගාටුවක් තියෙන්නේ. මට මගේ හිතවත් කිහිප දෙනෙක්ම අදාළ ලියකියවිලි දීලා නඩු මඟට බහින්න කිව්වා. මං එහෙම කළේ නැහැ.

ඒ මොකද?

රිඟිං ටෝන් ආපු මුල් කාලේ එක්තරා ජනප්‍රිය සමාගමක් මගේ ගීත කිහිපයක්ම රිඟිං ටෝන්වලට ඉල්ලුවා. මං ඔවුන්ට කිව්වා මේ ගීත මට විතරක් නෙවෙයි සංගීත නිර්මාණකරුවාට සහ පද රචකයාටත් අයිතියි. ඔවුන්ගෙන් අහන්න කියලා. ඒ මගේ මනුස්සකමට. ඒත් ඔවුන් කිව්වේ ගයන්නේ ඔබ නම් ඔබේ අයිතිය විතරක් ඇති කියලයි. අන්න එතනින්ම තේරෙනවානේ ඔවුන්ගේ ඇති පහත්කම. එහෙම අයත් එක්ක නඩු හබවලට පැටෙලනවා කියන්නේ මාවත් ඒ තත්ත්වයට ඇද වැටෙන එකයි.

රියැලිටි වැඩසටහන්වල දක්ෂයක් බිහිවනවා. ඔවුන් කියන්නේ තමන්ගේ ගමනට එය අත්වැලක් වූ බව?

ඔව්. ඒක හරි. ගුවන් විදුලියේ තිබුණා ‘පිබිදෙන ගායක පරපුර’ කියලා වැඩසටහනක්. ඒක තමයි මෙරට පළමු රියැලිටි වැඩසටහන. ඒත් එය අවසන් වෙද්දී අනිවාර්යෙන්ම ස්වතන්ත්‍රක ගීතයක් කියන තත්ත්වයට නවකයා ගෙනල්ලා. අන්න එහෙමයි වෙන්න ඕනේ.

මෑතකාලිනව මුදල් දී ගීත ප්‍රචාරය වන තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඕක අලුත් තත්ත්වයක් නොවේ. ඉස්සරත් තිබුණා. ඉස්සර මෙහෙම දේකුත් වුණා. යම් ගායකයකු ජනප්‍රිය වෙද්දී වෙනත් ගායකයකු අර ගායකයගේ ගී තැටිය වෙනත් අය ලවා හූරන එක. මාධ්‍ය ඇතුළේ ඔවැනි තත්ත්වයක් තිබෙනවා. දක්ෂයාට තැනක් නැහැ. නමුත් කවදා හරි ඔවුන් මතු වෙනවා. ඔය පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය වන්නේ ටික කාලයයි. නැවතත් පැරැණි ගීත මතු වෙලා එනවා.

ඔබට ගායනය එපා වුණෙත් ඉහත කී දේවල් නිසා බැව් මං අසා තිබෙනවා?

ඇත්ත. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ඉඳලා මං විශ්‍රාම ගියේ ගුවන් විදුලියේ සංගීත තනතුරේ ඉන්දැද්දි. මුල් යුගයේ මේ කැපිලි දැකලා මට ගායනය එපා වුණා. කේමදාස මාස්ටර් හින්දනෙ මං ගායනයට ආවේ. මට ළඳුනේ ගීතය ගයන්න ආරාධනා කළේ නැතිනම් කිසි දවසක මං ගායකයකු වන එකක් නැහැ.

කොයි තරම් ගායකයෝ එනවා කිව්වත් යම් ප්‍රසංගයකට අමරසිරි පීරිස් එනවා කිව්වොත් මහා ජන ගංගාවක් ගලනවා?

කෙනෙකුව විධිමත්ව ස්වර හසුරවලා ගායනයේදී කම්පනයට පත්කරන්න පුළුවන් නම් අන්න ඒකයි ගායකයකු සතු වගකීම. මං එහෙම කරනවා. ඔබ ඇසූ පැනයට ඉහත අදහසේ උත්තරය තියෙනවා නේද.

ඔබ මේ වන කොට රසාලිප්ත අර්ථපූර්ණ ගීත රැසක් ගයා තිබෙනවා. ඒ අතරින් ඔබ ගැයූ ඔබේ වඩාත්ම සිත්ගත් ගීතය කුමක්ද?

කතා දෙකක් නැහැ ‘ළඳුනේ’. ඒක මම ගැයුවට මමම එහි රසිකයෙක් වෙලා විඳපු අවස්ථා අනන්තයි.

ඔබ අලුත් ගීතයක් එළි දක්වන්න අදහසක් නැද්ද?

මම මේ ප්‍රවෘත්තිය මුල් වරට රටට කියන්නෙ සරසවියෙන්. අප මෙතුවක් ගීත ගැයුවේ වෘත්තීමය රචකයන්ගේ ගීත. එහෙත් මෙවර මගේ ගීත එකතුවට වෙනත් වෘත්තිකයන් විසින් විවිධ අවස්ථාවල රචනා කළ ගී එකතුවක්. එහි සංගීතය දර්ශන රුවන් දිසානායකගෙන්. මේ ගීත එකතුව ළඟඳීම එළි දකියි.