වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන් තැනූ නිර්මාණශීලී නාට්‍යකරුවා

නළුවන් තැනූ නිර්මාණශීලී නාට්‍යකරුවා

වේදිකාව තම ආත්මය කරගත් අතිශය නිර්මාණශීලී නාට්‍යකරුවකු පසුගියදා අපෙන් සමු ගත්තා. ඒ 2013 වසරේ හොඳම නාට්‍යකරුවා ලෙස රාජ්‍ය සම්මාන 6 කින් පිදුම් ලැබූ සුනිල් චන්ද්‍රසිරි.

සුනිල් 80 දශකයේ මැද භාගයේදී වේදිකාවට අවතීරණය වුණේ වේදිකාව පිළිබඳව හසරක් නොදැන, එහෙත් තදබල ඇල්මක් ඇතුවය. නාට්‍යයක් නිෂ්පාදනය කිරිම සඳහා අර්ථපතීත්වයෙන් දායක වුණු සුනිල්ට ඒ සඳහා ලැබුණු ප්‍රතිලාභ වුණේ, නින්දා – අපහාස - උපහාස වගේ කටුක අත්දැකීම්. වේදිකාවේදී ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ කුඩුකේඩුකම්වලින්, කුහකකම්වලින් සහ පලවා හැරීම්වලින් පසුබැස්සෙ සුනිල් නෙවෙයි.

ඔහු පත පොත ඇසුරෙන් නාට්‍ය කලාව තනිවම හැදෑරුවා. බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලය වගේ තැන්වලින් තම දැනුම පෝෂණය කර ගත්තා. නිර්ාණශීලී නාට්‍යකරුවෙක්, දෙන්නෙක් දැන හඳුනාගෙන ඔවුන් සමීපයේ ඔවුන්ගේ සාර්ථක නිර්මාණ ඇසුරේ නිබඳ ආභාසය ලැබුවා. ඒ විදියට දැනුමෙන් සන්නද්ධ වෙලා සුනිල් 1998 දී නැවත වේදිකාවට එන්නෙ. නාට්‍ය නිර්මාපකයකු විදියට යෝධ පියවරක් ඉදිරියට තබමින් ඒ ‘ගිනි දඬු හෙවණ’ නම් වූ පරිවර්තනය තුළින් ඩබ්ලිව්. ජයසිරි හොඳම සහාය නළුවාට හිමි රාජ්‍ය සම්මානය ලබන්නෙත් එම නාට්‍යයෙන්.

සුනිල්ගේ ඊළඟ පියවර තවත් දැවැන්ත නාට්‍යයක්. ඒ ඉන්දියානු ජාතික ගිරිෂ් කර්නාඩ්ගේ ‘තුග්ලක්’ ඇසුරෙන් කළ ‘භීමභූමි’. එම නාට්‍යය සිංහල වේදිකාවට ගෙන එන්නට සැන්ටින් ගුණවර්ධනත්, නිහාල් ප්‍රනාන්දුත් සිහින දකිමින් සිටි බව අප පෞද්ගලිකව දන්නවා. ඒත් ඒ සිහිනය වේදිකාවේදී සාර්ථකව මල්ඵල ගැන්වුණේ සුනිල් අතින්. ජනක කුඹුකගේ මුල් වරට රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මානනීය හොඳම නළුවා වුණේ ‘භීමභූමි’ ප්‍රධාන භූමිකාව තුළින්.

සෑම වසරකම නාට්‍ය උළෙල අරමුණු කරගෙන නාට්‍ය තනන්නෙකැයි සුනිල් නාට්‍ය ක්ෂේත්‍රයේම ඇතැම් කුහකයන් ගේ ගර්හාවට ලක්වුණත් එසේ සුනිල් බොහෝ විට වසරක් පාසා කළ නාට්‍ය නිර්මාණ අතරින් එකක් දෙකක් හැරුණු කොට අනෙක් සියල්ලම සාර්ථක නිර්මාණවීමයි වැදගත්.

2005 දී සුනිල්, කේ. බී. හේරත්ගේ ‘දොන් ජුවන්’ නාට්‍යයේ ප්‍රතිනිෂ්පාදනයක් වේදිකාවට ගෙනාවා. එහි ප්‍රධාන භූමිකාව රඟපෑ ජගත් චමිල එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නළුවා වුණා. ඉන් වසර 8 කට පසු මෑතකදී ජගත් චමිල ‘දොන් ජුවන්’ චරිතයට එක ආකාරයකින් දක්වන චරිතයකින් ජගත් සම්මානයක් ලබද්දී සුනිල් ඉතා නිහතමානීව හුදෙකලාව ඒ සතුට භුක්ති වින්ඳා. ජගත් චමිල විශිෂ්ට නළුවකු ලෙස තනන්නට සුනිල් චන්ද්‍රසිරිගෙන් ලද දායකත්වය, ජගත්ගේ ජයග්‍රහණයේදී හෝ ඉන් පසුව හෝ කිසිදු තැනක කිසිවකු අතින් සඳහන් වුණේ නැහැ.

2007 හෙන්රික් ඉබ්සන් ශත සංවත්සරය වෙනුවෙන් මෝර්වේ මූල්‍යාධාර මඟින් ඉබ්සන් නාට්‍ය හත අටක් සිංහල වේදිකාවට ආවා. ඉන් විශිෂ්ටම නිර්මාණය කළේ සුනිල්. ඒ ඉබ්සන්ගේ ‘පබ්ලික් එනමි’ ඇසුරෙන් සුනිල් කළ ‘ජන මිතුරා’. සුනිල් විවිධ බාධා කිරීම්, කකුලෙන් ඇදීම් මැද්දේ නළුවන් තැනූ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ජනක කුඹුකගේ, ජගත් චමිල, සාරංග දිසාසේකර, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර ඔහුගේ නිර්මාණ තුළින් සම්මානනීය වූ නළුවන්. ගොඩනැ¼ගුණු රංගධරයන්. සුනිල් චන්ද්‍රසිරිගේ නාට්‍ය නිර්රමාණ ජනතාව අතරට ගෙන යෑම ඔහුට කළ හැකි ලොකුම උපහාරයයි!