වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිසු රැසකගේ දැස් පාදන්න මං ගොඩක් ආසයි

සිසු රැසකගේ දැස් පාදන්න මං ගොඩක් ආසයි

නිල්කා අනුරාධනි

අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.

ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.

මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.

යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ රන්දුනු යෞවන සමාජයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, සබරගමුව පළාතෙන්, සබරගමු කදම්භ පක්ෂි වන්නම ඉදිරිපත් කරමින් සබරගමු නැටුම් සමූහ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායමේ නායිකා හිදැල්ලන පදිංචි එස්.එච්.නිල්කා අනුරාධනි නන්දරත්න පිළිබදවයි.

රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයෙ උපාධි දෙවන වසර ශිෂ්‍යාවක් ලෙස පුධාන විෂය වශයෙන් සබරගමු නර්තනය හදාරමින් සිටියි.

කුඩා කල පටන් නර්තනයට පෙම් බැදි නිල්කා, සබරගමු රංගායතනයට බැදී ඩී.වී.යොහාන් පුංචිනිලමේ ගුරුවරයා යටතේ සබරගමු නර්තනයට මුල් අත්පොත් තබමින්, පාසලේදී සබරගමු නර්තනය සේම උඩරට නර්තනය ද හැදෑරීය.

විශ්වවිද්‍යාලයේදී පහතරට, කථක් නර්තනයන් හදාරන්නටද ඇයට අවස්තාව උදාවී තිබේ.

පාසල් සමස්ත ලංකා තරග, අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන තරග, ප්‍රවේණි නර්තන තරගාවලිය ආදී නැටුම් තරග යන්ට සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගැනීමට හැකි වී තිබේ.

ඇය ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස හදුන්වනු ලබන්නේ 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා යූත් ජාතික යෞවන සම්මාන තරගයෙන් සබරගමු නැටුම් සමූහ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි.

මේ ජයග්‍රහණය ලබන්නට එකසේ දක්ෂතා පෙන්නූ චතුරානි ලක්මිණි, ධනුෂිකා දුලංජලී, සාරංගා ශෂිමිණි, නයනි පුන්සරා, ගයාත්‍රි මධුෂිකා, තිළිණි ශ්‍යාමලී, කල්පනා අනුරාධා, ලක්මා රසාංජලි, දිලිනි සමන්තිකා, ශෂිකලා චතුරානි, නර්තනි දිසානායක, බෙරවාදනයෙන් සහය වු ප්‍රියන්ත ගුරුතුමා, රමිත් ට, ගායනයෙන් සහය වු ඉනුෂි ගුරුතුමියට, ඩිලානි ට, නර්තනය පුහුණු කළ යොහාන් ගුරුතුමාට හා චන්ද්‍රිකා ගුරුතුමියට, තම අනාගතය සාර්ථක කරගැනීමට අත දෙනසියලු ගුරුභවතුන්ට, එස්. එච්.නන්දරත්න පියා , අවුරුදු 13 කට පෙර මිය ගිය මව, සහොදරියන් වන උදේශිකා, කනිෂ්කා, හිත මිතුරන්ට, ගෞරවනීය ස්තුතිය පුද කරන්නට ඇය අමතක නොකළාය.

සම්ප්‍රදායයන් රැකගෙන නව නිර්මාන බිහි කරමින් නර්තන ගුරුවරියක් වී තම ගුරුවරයා මෙන් සිසුන් රැසකගේ දෑස් පාදන්නට නිල්කා ගේ අනාගත බලාපොරොත්තුවයි.