වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

එදා අපේ නළුවන්ට ලස්සන රූපකායත්, එයටම සරිලන කැරලි කොණ්ඩයකුත් තිබුණා. නමුත් කෝ අද නළුවන්ට ඒ කිසිම දෙයක් තියෙනවද?

සරත් රණසිංහ – මාළිඳ

සරත්, අද එදා වගේ නෙවෙයි. දැන් බොහෝ නළුවන්ට රඟපෑමේ හැකියාව තිබෙනවා.

වසර තිහක්ම බිම ඇද වැටී, ඔත්පළව තිබෙන ගාමිණී සිනමාහල දෙසට කාගේ හෝ අවධානය යොමු නොවන්නේ ඇයි?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ඔබ ඔය කියන කාරණය එතැනින් ගමන් කරන මටත් පෙනෙනවා. නමුත් මගේ නම් කල්පනාව ඔය වගේ පරණ සිනමාහල් ඔක්කොම වෙනස් වී වෙනත් සිනමාහල් ගොඩ නැඟිය යුතු බවයි. එදා ගාමිණී සිනමා ශාලාව ඒ විදියට තවමත් තිබුණා නම් අද අපි කවුරුත් එහි නොයන බව සක් සුදක් සේ පැහැදිලියි. මේ තරම් නව සිනමාහල් බිහි වී ඇති වර්තමාන යුගයේදී ඔබත්, මමත් එබඳු සිනමා ශාලාවල චිත්‍රපට නැරැඹීමට නොයන වග මට හොඳටම විශ්වාසයි.

සිරස නාලිකාවේ රාත්‍රී 8.00 ට විකාශය වන ‘ස්වප්නා’ ටෙලි සිත්තමේ ප්‍රධාන චරිත නිරූපණය කරන ස්වප්නා සහ සුරාජ් යන නළු නිළි දෙපළගේ නම කුමක්ද?

එල්. කේ. චලනි – අවිස්සාවේල්ල

චලනි, ඒ ටෙලි නාට්‍යයේ ස්වප්නා ලෙස රඟපාන්නේ දීපිකා සිංහයි. විසිතුන් හැවිරිදි ඇය මේ වනවිට රඟපා ඇත්තේ ‘දියා ඕර් තාති හම්’ ටෙලි නාට්‍යයේ පමණි. ස්වප්නා හි සුරාජ් ලෙස චරිතයට පණ පොවන්නේ අනාස් රෂීඩ් ය. පුංචි තිරයේ දිදුලන තරුවක් වන ඔහු තිස් දෙහැවිරිදි වියේ පසුවෙයි.

‘ගාන්ධි’ සහ ‘කොමන් මෑන්’ යන චිත්‍රපටවල රඟපෑ බෙන් කිංස්ලි නම් නළුවා රංගනයෙහි යෙදුණු චිත්‍රපට මොනවාද?

තිලකරත්න විල්වල හා මැණිකේ විල්වල – කෑගල්ල

ඒ ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’, ‘ඩෙත් ඇන්ඩ් ද මේඩ්න්’, ‘ඇලිස් ඉන්වොන්ඩලන්ඩ්’, ’රූල්ෆ් ඔෆ් එන්ගේජ්මන්ට්’, ‘හියුගෝ’, ‘අයන් මෑන්’, ‘සයිලස් මානර්’ බෙන් කිංස්ලි රඟපෑ චිත්‍රපට කිහිපයකි.

කළුවට හිටිය නිළියෝ බොහෝ දෙනෙක් හිටපු ගමන් සුදු වෙලා තියෙන්නේ කොහොමද කියලා ආරංචියක් නැද්ද?

සුජාතා ගුණවර්ධන – කඩවත

වෙදර්ෂීල්ඩ් ගාලා වෙන් ඇති කියලයි හිතෙන්නේ.

පසුගිය අගෝස්තු 08 වැනිදා සරසවියේ පාඨකයකු අර්ජුනගේ තීරයෙන් අසා සිටියේ කිශෝර් කුමාර් චිත්‍රපටවලට සංගීතය සපයා තිබේද යන්නයි. එහෙත් එයට මා දන්නා තරමින් ඔබ පිළිතුරු දී තිබුණේ ‘නෑ’ යනුවෙන්. එය නිවැරැදි විය යුත්තේ මධුබාලා රඟපෑ ‘ජුම් රූ’ චිත්‍රපටයට කිශෝර් සංගීතය සැපයූ බව යන වශයෙනි.

ජානක ඉලුක්කුඹුර – කඩවත

ඔබ නිවැරැදියි.

මෑතකදී ‘නෙත් මා දකිනු පිණිසය’ කෙටි කතා පොත රචනා කළ හෙන්රි වර්ණකුලසූරියම ද මීට පෙර චිත්‍රපට විචාරකයෙකු ලෙස කටයුතු කරමින් ‘නොනිමි ගමන’ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ? ඔහුගේ තොරතුරු සඳහන් කරන්න.

ශ්‍රියානි - කොට්ටාව

ඔව්. ‘නොනිමි ගමන’ ඔහුගේ ප්‍රථම කෙටි චිත්‍රපටයයි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවකු වුවත්, කාලයක් ස්වර්ණවාහිනියේ හා වී. එෆ්. එම්. සේවාවල රැකියාව කළා. එහෙත් දැන් ඔහු වාසය කරන්නේ විදේශ රටකයි.

‘ද ග්‍රේට් ට්‍රේන් රොබරි’ චිත්‍රපටය පිළිබඳ සවිස්තර හැඳින්වීමක් කරන්න. හැකි නම් එහි ඡායාරූපයක් පළ කරන්න.

විමලසේන හපුතන්ත්‍රි - අත්තනගල්ල

ලෝක සිනමාවේ ‘ද ග්‍රේට් ට්‍රේන් රොබරි’ නමින් චිත්‍රපට කිහිපයක් බිහි වී තිබෙනවා. ඉන් සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමි වන්නේ 1903 දී එඩ්වින් එස්. ෆෝටර් මිනිත්තු 12 ක ධාවන කාලයකින් යුතුව නිර්මාණය කළ චිත්‍රපටයයි. ෆෝටර්ගේ මේ චිත්‍රපටයෙන් සිනමා කතා කලාවේ ආරම්භය සනිටුහන් වූ බව කිව යුතුයි. ත්‍රාසයත්, භීතියත්, සංස්කරණ රීතියත්, එයට ගැළපෙන රූප රාමු පද්ධතියක් හරහා රූපයෙන් කතා කියන්නට ෆෝටර් එහිදී සමත් වුණා. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 01 වැනිදාට ලෝක සිනමාවේ කතා කලාවට ශතකයක් පිරෙනවා. 1978 වසරේදී ලන්ඩනයේ තැනූ ‘ද ග්‍රේට් ට්‍රේන් රොබරි’ චිත්‍රපටය මුල් චිත්‍රපටයට වඩා වෙනස් කතාවක් රැගත් චිත්‍රපටයකි. ‘ද ග්‍රේට් ට්‍රේන් රොබරි’ චිත්‍රපටය නිර්මාණය වන්නේ 1975 වසරේ ලන්ඩනයේ සිදු කළ මහා දුම්රිය මංකොල්ලය පිළිබඳ කතාව ආශ්‍රයෙනි.

ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරියගේ ලිපිනය පළ කරන්න. ඇය දැනට සිටින්නේ ලංකාවේද? නැතිනම් විදේශ රටකද?

එම්. අමා නෙත්මි පනාගොඩ – හෝමාගම

ඇය මීට සති දෙකකට පමණදී විදේශ ගත විය. එහෙත් නිල්වලා ආයතනයෙහි ටෙලි නාට්‍යයක් රඟපෑම සඳහා උදාරි වර්ණකුලසූරිය නැවත සති දෙකකට පසුව ලංකාවට පැමිණීමට නියමිතයි.

එදා සිනමාහලේ තිරගත වූ රොබින් තම්පෝගේ ‘පික්පොකට්’ ‘අද මෙහෙමයි’ චිත්‍රපට නරඹන සිනමා රසිකයන් ඉන් එළියට පැමිණෙන්නේ කඳුළු සලමිනි. ඊට පසුව තිරගත වූ අයි. එන්. හේවාවසම්ගේ ‘සුරබිදෙන’ චිත්‍රපටය නැරැඹූ අවස්ථාවේ ද එසේමය. එවැනි චිත්‍රපට අද නිර්මාණය නොවන්නේ ඇයි?

ඊ. දයානන්ද සිල්වා - හික්කඩුව

සුරබිදෙන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රරත්න මාපිටිගමයි. එදා වගේ කදුළු හලන්නා වූ චිත්‍රපට අද නිර්මාණය වන්නේ නැතුවා නෙවෙයි. එදා වගේ දැන් සිනමා ශාලාවලදී සිනමා රසිකයාට කඳුළු නොඑන්නේ සිනමාහල් සිගරට් දුම මගින් වැසෙන්නේ නැති නිසයි.

හොලිවුඩ් නිළි සින්තියා රොත් රොක් පිළිබඳව විස්තරයක් සපයන්න. ඇය රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද?

චතුරංග සම්පත් – තුන්තාන

ඇගේ නියම නම සින්තියා ඈන් ක්‍රිස්ටීන් රොත් රොක් යන්නයි. නිළියකට වඩා ඈ පිළිබඳව මා දන්නේ දක්ෂ කරාටේ ශිල්පිනියක් විදියටයි. ටයිකොන්ඩෝ, වූෂු ඇතුළු සටන් ක්‍රම හයක් වෙනුවෙන් ඇය කළුපටි ධාරිනියකි. 1981 දී ‘ටුවෙන්ටි ෆෝ අවස් ටු මිඩ් නයිට්’ චිත්‍රපටයේ රඟපාමින් රංගනයට පිවිසෙන ඈ ‘ඉන්ද ලයින් ඔෆ් ඩියුටි’, චයිනා ඕ බ්‍රයන්’ හා ‘නෝ රීට්‍රීට් නෝ සරෙන්ඩර්’ ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවා. කලක් හොංකොංවල පදිංචිව සිටි ඇය දැන් පදිංචිව සිටින්නේ ඇයගේ දුවත් සමඟ ඇමරිකාවේයි.

සිනමාස් සමාගම නිපද වූයේ අතිශය වාණිජ චිත්‍රපට වුවත්, සිනමා ශාලාව කරා නරඹන්නන් ගෙන්වා ගැනීමේ ශක්තියක් මෙන්ම ළයාන්විත මධුර ගතියක් එම චිත්‍රපටවලට තිබුණා නේද?

කරූ මන්දාවල – නාත්තණ්ඩිය

හොඳ වාණිජ චිත්‍රපට කියන්නේ ඉතා මහන්සි වී අංග සම්පූර්ණව නිර්මාණය වූ චිත්‍රපටවලටයි.