වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




මම මේ ගෙවන්නේ ජීවිතයේ වසන්තම කාලයයි

මම මේ ගෙවන්නේ ජීවිතයේ වසන්තම කාලයයි

රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස්

පුංචි තිරයත්, රිදි තිරයත් ජය ගත් ඇය අද අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියක් බව නම් නොරහසකි. සුබ අනාගතයක් ටෙලි වෘතාන්තය තුළින් සිය රංගන චාරිකාව ඇරඹි ඇගේ රංගන ජීවිතයම සුබ අනාගතයක් වූයේ රංගනය උදෙසා හදවතින්ම ඈ ඉටු කළා වූ අනුපම කැප කිරිම නිසාය. සෙලෝලයිට් පටයට මිහිරෙන් මිහිර ගෙන ආ ඈ මීගමුවේ මිහිරාවියයි.

සිනමා වසන්තයේ අවසාන සමයේ තිරය මත සුපිපුණු ආදරණීය කංචි . . . සුවහසක් රසික ආදරය නොඅඩුව ලබන්නී . . . අද සරසවිය පිටු අතරට පැමිණෙන්නේ රංගන ජීවිතයේ විරාමයක් ලද . . . දිවි ගමනේ අතිශය කාර්යබහුල මොහොතකයි. රැගූ චරිත සියල්ලටම වඩා සෙනෙහෙබර මවකගේ චරිතයට ආත්මයෙන්ම පණ පොවනා මේ මිණිකැටය පෙරටත් වඩා ලස්සන වී ඇති බව නම් ඈ දුටු වහාම මට හැගුණා.

කාංචනා ජීවිතේ අලුත්ම වෙනස සමග ඔබ බොහෝම සතුටින්?

ඇත්තටම ගැහැනියක් ලෙස මම දැන් සම්පූර්ණයි. මම දැන් පුතෙකුගෙයි දුවකගෙයි ආදරණිය අම්මා කෙනෙක්. ඒ තරම් සතුටක් තවත් තිබෙනවාද . . . මේ මම හැමදාමත් ප්‍රාර්ථනා කළ ලෝකයයි. දෙවියන් වහන්සේ මට ඒ සතුට ලබා දුන්නා. අද දවස ගත වෙනවාත් මට දැනෙන්නේ නැති තරම්. උදේ ඉඳන් රෑ වෙනතුරු පුතාගෙයි දුවගෙයි වැඩ. කවුරු සහයෝගයට හිටියත් අම්මා කෙනෙක් හැටියට මම ආසයි මගේ දරු දෙන්නාගේ වැඩ මගේ අතින්ම කරන්න.ඒක වචනයෙන් කියන්න බැරි උත්තරීතර හැඟීමක්.

කාංචනා මේ ඔබේ ජීවිතයේ වසන්තම කාලයයි කියලා කිව්වොත්?

(සිනාසෙමින්) ඇත්තටම ඔව්. මගේ ජීවිතේම පිරුණා කියලා දැන් මට හිතෙනවා. ගෘහ ජීවිතයේත් – නිළි ජීවිතයේත් ලද හැකි ඉහළම සම්මාන දෙකෙන් පුද ලද වාසනාවන්තම වසරක් මේක. මුලින්ම මගේ ආදරණීය රසික රසිකාවන්ට හදවතින්ම ස්තුති කරන්න ඕනේ. කලා ක්ෂේත්‍රයේ සෙමින් ගමනක් ඇවිත් ඉවසීමෙන්, කැපවීමෙන් වැඩ කරපු නිසා තමයි තාමත් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ජනප්‍රිය නිළියක්ව වැජඹෙන්නේ. හොඳම නිළිය දක්වා ආ ගමන් මඟ ගැන ගොනු කරන්න බැරි සතුටක් මම වගේම මාව එතැනට ගෙනාපු හැමෝමත් ආදරණිය රසික කැලත් විඳීනවා. මේ වසන්තම කාලයක් තමා.

කාංචනා ක්ෂේත්‍රයේ දිගු කලක් රැඳී උන්නත් හොඳම නිළි සම්මාන ලැබුණේ ප්‍රමාද වෙලා?

හොඳ දේවල් කොහොමත් ලැබෙන්නේ ප්‍රමාද වෙලානේ. ඒ ගැන දුකක් මට නැහැ. අවුරුදු ගණනාවක්ම මෙම හොඳම නිළිය සඳහා නිර්දේශ වුණා. ක්ෂේත්‍රයට ආපු ගමන් හොඳම නිළිය සම්මානය ලැබෙන අයත් ඉන්නවා. හැබැයි මම කැමැති රංගනයෙන් ඉහළම තැනකට ආ පසු මේ සම්මානය ලැබුණාට. එවිට වටිනාකම වැඩියි කියලා හිතෙනවා. මම හරිම සරල ජීවිතයකට කැමැති ලද දෙයින් සතුටට පත්වන නිළියක්. අපේ බොහෝ අයට අද නැත්තේ එයයි. රත්තරං අම්මා හැමදාමත් මා පසු පසින් සිටියා.

අදටත් ඇය මට යෝධ ශක්තියක්. මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ ධර්මසේන පතිරාජ මහතා. එදා වයස අවුරුදු දොළහක දැරියක් මම. රඟපෑම ගැන මුකුත්ම නොදත් පුංචි කෙල්ල මහා නිළියක් බවට පත් කළේ පති අංකල්. එදා රයිගම් සම්මාන වේදිකාවේදී අප දෙන්නාම සම්මානයට පාත්‍ර වුණා. ඔහු ඉදිරියේම හොඳම නිළිය වෙන්නට ලැබීම භාග්‍යයක්.

ඔව්, කාංචනා මිල කරන්න බැරි ඔබේ ඒ වටිනා සම්මාන දෙක ගැනක් කියන්නකෝ?

අප්‍රේල් මාසේ තමා මම ලස්සන චූටි දුවෙකුට අම්මා කෙනෙක් වුණේ. බොහෝ අය කියනවා දුව මම වාගේ කියලා. රෝෂාන් වාගේම පුතා ඉන්නවානේ. දුවගේ නම කේෂා රයිලි රණවන. දැන් හොඳට හිනා වෙනවා. චූටි චුටි දඟ වැඩත් කරනවා. පුතා ඉන්නේ එයාට නංගියෙක් ලැබුණාට ලොකු සතුටකින්. චණ්ඩියා, ඒ වුණාට නංගිට ආදරෙයි. පුතාට තුන හමාරයි වයස දැන්. සෙනික රයන් රණවන කියලයි පුතාට නම තිබ්බේ. මොන්ටිසෝරි යනවා ලොක්කෙක් වගේ. මගේ ජීවිතය මේ පැටව් දෙන්නා ලස්සන හීනයක් කළා. අද මට හොඳටම දැනෙනවා දරුවන් ගැන අම්මලාගේ හිතේ තිබෙන ආදරය කොයි තරම් ද කියලා.

එතකොට කාංචනා කෝ රෝෂාන්?

දුව ලැබෙන්න ඔන්න මෙන්න කියලා එයා ලංකාවට ආවා. ඈත රටක රැකියාව කළත් හිතින් ඉන්නේ එයා අපි ළඟ. මාසයකින් රෝෂාන්ට ආපසු යන්න වුණා. එයාට හරිම සතුටුයි දුවෙක් ලැබුණාට. රෝෂාන් වාගේ හොඳ අවබෝධයක් තිබෙන සැමියෙක් ලැබුණාට මට හරිම සතුටුයි. ඇත්තටම පහසුවක් දැනෙනවා. ඔහු නීති රීති දාලා මාව ගෙදරට කොටු කරන්නේ නැහැ. රඟපානවාට හරිම කැමැතියි. හැකියාව තියාගෙන ගෙදර නිකං ඉන්න එපා කියනවා. කලාව ගැන තිබෙන අවබෝධයත් ඉහළයි. මගේ හොඳම විචාරකයා රෝෂාන්. ඔහු මම රඟපාන චරිතවල අඩු පාඩු පවා පෙන්වනවා. හැබැයි ගෙදරදී ඔහුට මම නිළියක් නෙමේ. මේ මම පරකාසේ ගහනවා නොවේ. රෝෂාන් මගේ ජීවිතය අලුත් කළා. අද මට හොඳ පවුලක් තිබෙනවා. මම මගේ පවුල් ජීවිතයට ආදරෙයි.

දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් නිසා රඟපෑම්වලින් ඉවත් වෙන්න වෙයිද කාංචනා?

දුව ලැබුණු පසු සෑහෙන කාලයකට යළි රඟපාන්නේ නැහැ කියලා හිතුවා. ඒත් හොඳම නිළිය සම්මානයට පසු කොහොම හරි කාලය හොයාගෙන රඟපානවා කියලා අදහස් කළා. ගෙදර අයගේ සහයෝගයත් ලැබෙනවානේ. හැබැයි හොඳ නිර්මාණයක් නම් විතරයි කාලය මිඩංගු කරන්නේ. ඈත ගම් දනව්වල මිනිස්සු මට හරිම ආදරෙයි. ෂූටිං ගියත් ඔවුන් ඇවිත් මා වට කර ගන්නවා. කෑම ජාති ගෙනත් දෙනවා. ඉතිං මේ රසික ආදරයට පිටුපාන්න මට බැරි වේවි.

දැන් කලා ලොවේ මිතුරු - මිතුරියන් මුණ ගැසෙන්නේ නැද්ද?

විශේෂ අවස්ථාවලදී මුණ ගැහෙනවා. මම කා එක්කත් සුහදව ඉන්න නිළියක්. දුව ලැබුණු පසු කතා කරලා බොහෝ දෙනා සුභ පැතුවා. ගෙදරට බලන්නත් ආවා. මම ප්‍රවීණයින්ට හදවතින්ම ගරු කරන නිළියක්. කා සමගවත් වාද – විවාද මගේ ජීවිතයේ නැහැ. ජනප්‍රියත්වය - සම්මාන මිල මුදල් මේ කිසිවක් අපි රැගෙන යන දේවල් නෙවේ. මනුස්සකම රැකගෙන ඉදිරියටත් කලා කටයුතුවල නියැළී ඉන්නවා.

චම්පා ශ්‍රියාණි කියන ප්‍රවීණ රංගන ශිල්පිනිය ඉදිරියට එන්න තිබෙන ‘ගිරිකුළ’ නාට්‍යයේ ඔබේ රංගනය ගැන ප්‍රශංසාවෙන් කතා කළා?

අනේ ඇත්තද . . . ඇයත් බොහෝම දක්ෂ, පාඩුවේ ඉන්න හිත හොද ප්‍රවීණ ශිල්පිනියක්නේ. අපේ රඟපෑම් ගැන ඇයට කියන්න පුළුවන්. ඇයගෙත් හොඳම රඟපෑම් සුදත් රෝහණගේ නිර්මාණවලින් මා දැක තිබෙනවා. ඉතිං මටත් ඔහුගේම හොඳ නිර්මාණයකට සම්බන්ධවීමට ලැබීම භාග්‍යයක්. ‘ගිරිගුළ’ ටෙලි නාට්‍යය ගැන බලාපොරොත්තු රාශියකින් මම ඉන්නේ.

තව මොනවද කාංචනා එන්න තිබෙන ඔබේ නිර්මාණ?

‘තුලා දහර’ කියලා නාට්‍යයක් හා ‘පරපුර’ ෆිල්ම් එකත්, ‘වස්දඬු රාවය’ ෆිල්ම් එකත් ඉදිරියට එන්න තිබෙනවා. මගේ ආදරණීය රසිත – රසිකාවන්ට කියන්න මේ පැටව් දෙන්නා චුට්ටක් ලොකු වුණ ගමන් යළිත් රංගනයට මම එනවා කියලා.

යළිත් ආදරණීය පෙම්වතිය වෙන්න බැරි වේවිද?

අධ්‍යක්ෂ – නිෂ්පාදකවරුන්ට හැගුණොත් මම තවම පෙම්වතියගේ චරිතයට සුදුසුයි කියලා මම ඒ වගකීම ඉටු කරනවා. හැබැයි ළඳ බොළද පෙම්වතිය නම් නොවේ හොඳේ’.