වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




HOLLYWOOD Gossip

ජැක්සන් ගැන නොකී කතා

ලොවම සතුටු කරන පුද්ගලයන් බොහෝ විට හුදෙකලා වී සුසුම් හෙළනන්ය. මයිකල් ජැක්සන් ද එවැන්නෙකි. ඔහුගේ හිටපු බිරියක වූ ඩෙබී රෝව් නම් ඔහු සිතින් හඬද්දී විසි වසරක්ම ඔහුට සමීප වී සිටියාය.

ඇය පවසන අන්දමට 1994 දී පෙප්සි වෙළෙඳ දැන්වීම රූගත කරද්දී ඔහුගේ හිස්කබල පිලිස්සීමෙන් පසු බොහෝ වේදනා වින්දේය. ඔහුගේ කුරුලෑවලට, සම සුදුවීමට, පිලිස්සීමට ප්‍රතිකාර ගැනීම සඳහා චර්ම රෝග වෛද්‍යවරු නිරන්තරයෙන්ම හමු වුණේය.

මයිකල්ට ඇතිවුණු වේදනාවට වෛද්‍යවරු තරගෙට ප්‍රතිකාර කළා. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සහ චර්ම රෝග වෛද්‍යවරු මම තමයි හොඳම බේත දෙන්නේ කියද්දී මයිකල් ඔවුන් විශ්වාස කළා.

ඔහුගේ තිබුණු ලොකුම මෝඩකම මිනිසුන් ප්‍රමාණයටත් වඩා විශ්වාස කිරීමයි.

කවදත් මං මයිකල්ට ආදරය කළා. ඔහු පියෙක් කරන්න බලාපොරොත්තු වුණා. අංග සම්පූර්ණ මිනිසකු බවට පත් කරන්න උත්සාහ කළා.’ විසි වසරකට ආසන්න කාලයක් පුරා ඔහු ගැන සොයා බැලූ, ඔහුගේ සමීපතම මිතුරියක වූ ඩෙබී මෙසේ පැවසුවේ පැරිස් ජැක්සන් සිය දිවි නසා ගැනීමට ගත් උත්සාහය සම්බන්ධව පැවැති නඩුවේදීයි.

මේ හොඳම දවස

මේ ජීවිතයේ හොඳම කාලයයි කීමට තරුවකට හෝ තාරකාවකට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. ඒ වෘත්තීය ජීවිතය සාර්ථක වුණත් පෞද්ගලික ජීවිතය අසාර්ථක වන නිසයි. නිකොල් කිඩ්මන් නම් මේ ගෙවන්නේ සොඳුරුම කාල පරිච්ඡේදයයි. ඒ ග්‍රේස් කෙලීගේ චරිතය, ‘ග්‍රේස් ඔෆ් මොනැකෝ’ සිනමාපටයේ නිරූපණය කිරීමට වරම් ලැබීම නිසා නොවෙයි. සාර්ථක යුග ජීවිතය නිසයි. ඇය තමන්ට මෙසේ හිත පුරා, මුව පුරා සිනාසීමට අවස්ථාව උදාකර දුන් සැමියා කීත් අර්බන්ට සහ දරුවන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නීය.

හතළිස් හය හැවිරිදි නිකොල් කලින් විවාහ වී සිටියේ සුපිරි නළු ටොම් කෲස් සමඟයි.

2001 දී ඔහුගෙන් වෙන් වූ ඇය 2006 දී ගායකයකු වූ අර්බන්ගේ අත ගත්තාය. සන්ඩේ හා ෆෙයිත් ඔවුනගේ දියණිවරුන්ය.

නිකොල් ‘ද අවර්ස්, මෝලින් රෝගල්, ටු ඩයි ෆෝ, අයිස් වයිඩ් ෂට්, දි අදර්ස්, කෝල් ඩි මවුන්ටන්, දි ඉන්ටර්ප්‍රීටර්, ඔස්ට්‍රේලියා, රැබිට් හෝල්’, වැනි සිනමාපට ගණනාවකම රඟපෑ නිළියකි. ඇය තෙවරක්ම ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ අතර 2002 දී ‘ද අවර්ස්’ රංගනයට හොඳම නිළිය ලෙස ඔස්කා සම්මානයට පාත්‍ර වූවාය.

බැට්මෑන්ට බෙන් එපාලු

‘මෑන් ඔෆ් ස්ටීල්’ දෙවැන්නට මේ දිනවල බැට්මෑන් ලෙස රඟන බෙන් අෆ්ලෙක් හොඳින් පුහුණු වෙමින් සිටියි. ඔහු දිනකට පැය දෙකක් ඒ සඳහා කායික පුහුණුවීම්වල යෙදෙන්නේය.

අෆ්ලෙක්ට, ක්‍රිස්ටියන් බේල්, වාල් කිල්මර්, ජෝර්ජ් ක්ලුනි, මයිකල් කීට්න් වැනි පෙර බැට්මෑන්ලාගේ අනුගාමිකයකු වීමට සිදු වී තිබේ.

ඔස්කාර් සම්මානලාභී හතළිස් එක් හැවිරිදි බෙන් අෆ්ලෙක් මේ චරිතය නිරූපණය කරනවාට එරෙහිව ඔහුගේ රසිකයන් 51,000 ක් අන්තර්ජාල පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. බෙන් සුපිරි වීරයකුගේ චරිතය රඟන්නේ සිව්වැනි වරටයි.

බෙන් නිසාම බැට්මෑන්ගේ මුහුණුවර වෙනස් කරන බවට සිනමා අධ්‍යක්ෂවරයා පොරොන්දු වී තිබේ. මේ සිනමාපටය 2015 දී තිරගතවීමට නියමිතයි.

ඔහු ගුඩ් විල් හන්ටිං (1997) සඳහා ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනා ගත්තේය.

උපන් ඇඳුමින් අවවාද

උපන් ඇඳුමින් රඟන සරාගී දසුන් හොලිවුඩයට නිතර දකින කුකුළගේ කරමලය වගෙයි. එහෙත් නවක නිළියන්ට ජ්‍යෙෂ්ඨ නිළියක් එසේ කරන ලෙස ඔවදන් දීම කෙතරම් සුදුසු ද? ෂැරොන් ස්ටෝන් මෙසේ අවවාද දෙන නිළියයි. එලෙස රඟන්නේ නැති කිසිදු නිළියකට තමන් කැමැති නැති බව ද ඇය පවසන්නීය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරුවතින් රඟන්න ෂැරොන් සුදානම්ය. ඇය රංගනයට පිවිසි අලුත ඇයගේ පියා ඔබ සැම විටම රඟන්නේ නිරුවතින් ද කියා විමසා ඇත. එවිට ෂැරොන්ට සිනමාපටයක නිරුවත්වීම ගැන පියාට කරුණු පැහැදිලිකර දීමට සිදු වී තිබේ. පනස් පස් හැවිරිදි ෂැරොන් ඒක් බේසික් ඉන්ස්ටින්ක්ට් රඟපා අන්තර්ජාතික අවධානය දිනා ගත්තාය. ඇය හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මානයට ද නිර්දේශ වී තිබේ. දෙවරක්ම දික්කසාද වූ ඇය තමන්ට වඩා බෙහෙවින්ම බාල ජෝර්ජ් හෝවි සහ මාටින් මිකා සමඟ සබඳතා පැවැත් වුව ද ඒවා ලත් තැනම ලොප් විය.