වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




බිඳෙන වාර්තා

බිඳෙන වාර්තා

බොලිවුඩ් සිනමා වාර්තාවකට ඇත්තේ අඩු ආයු කාලයකි. ‘ත්‍රී ඉඩියට්ස්’ වාර්තා ලොව අසමසම වීරයා වී සිටි කාලය නිමා විය. ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ඉතා කෙටි කාලයකදී රුපියල් කෝටි හයකට වැඩි ආදායමක් ඉපයීමට සමත් වී ඇත. මේ අනුව හින්දි සිනමාවේ සාර්ථකම අධ්‍යක්ෂවරයා වී සිටින්නේ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිය.

කෝටි සිියයයේ සමාජයට ඇතුළුවීමට ‘චෙන්නායි එක්ස්ප්‍රස්ට’ ගත වුණේ දින හතරකි. 3 ඉඩියට්ස් එම ආදායම ලැබුවේ දින නවයකදීය. ඒක් තා ටයිගර්ට කෝටි සියයක් ඉපයීමට පස් දිනක් ගත විය. ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සති දෙකකදී රුපියල් කෝටි 200 ක අදායමක් ඉපයූ අතර දැන් අංක එකේ ආදායම්ලාභියා වී අවසානය.

අක්ෂේ මහ ගෙදරට ගිහින්

රංගන චාරිකාවේදී කෙනකුට ජීවිතය පටන් ගත් තැනටම ගොස් රූගත කිරීමකට සහභාගිවීමට සිදු වුණොත් එය සතුටක් ද? දුකක් ද? අක්ෂේ කුමාර් පසුගිය දා දුක, සතුට යන ලෝක දෙක අතර නතර වූයේ ‘බොස්’ දර්ශන තලයේදීයි.

සිනමාපටයේ වැඩි කොටසක් රූගත කෙරුණේ දිල්ලියේ චාන්ද්නී චොව්ක් සහ බැංකොක් අතරය.

අක්ෂේ සිය ළමා කාලය චාන්ද්නී චොව්කි ගත කළේය.

බැංකොක්හි දී සුපවේදියකු ලෙස සේවය කළ අතර සටන් කලාව ඉගෙන ගත්තේ ද එහිදීය. ඒ ප්‍රීතිමත් අත්දැකීම්වලින් අක්ෂේගේ හදවතට දැනුණු බර කඳුළු ලෙසින් දෙනෙතින් පිට වූයේය.

ඔහු රූගත කිරීම් කළේ මහ ගෙදරට මීටර් 200 ක් පමණ මෙහා සිටය. වසර ගණනකින් ඔහුට මහ ගෙදරට යාමට නොහැකි විය. එහෙත් සෙනඟ ගැවසෙන වේලාවේ එහි යාමට නොහැකි නිසා පාන්දර හතරට නැගිට තමන්ම කාරය පදවාගෙන නිවෙසේ දොරකඩට ගොස් තිබේ. මිනිත්තු 30 ක් පමණ ඔහු අතීතයේ මිහිරි අත්දැකීම්වලින් මතකය අවදිකර ගත්තේය.

‘බොස්’ සිනමා රංගනයත් සමඟ අක්ෂේ යළි සටන් නළුවකු බවට පත් වේ. මෙහි සෝනක්ෂි සිංහගේ විශේෂ අයිටම් ගීතයක් ද ඇතුළත්ය. ඒ ගීතමය රංගනයට සෝනම්ට රුපියල් කෝටි 6 ක් ගෙවා තිබේ.

කත්‍රිනා - රන්බීර් ලංකාවේදී හොරෙන්ම හමුවෙලා

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිමහනෙයි. කත්‍රිනා කායිෆ් – රන්බීර් කපූර් ප්‍රේමය ඉන්දියානු මාධ්‍යවේදීන් බොලිවුඩ් රසිකයන්ට අරුත් ගන්වන්නේ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමක් ලෙසයි. දැන් දෙදෙනා සිය ප්‍රේමය ‘බිකිනි ප්‍රවෘත්තිය’ නිසා ලෝකයටම ඔප්පු කර අවසානයි. මේ හෙළිවීමෙන් පසු ප්‍රසිද්ධියේ ඇසුරු නොකිරීමට දෙදෙනාම වග බලාගෙන ඇත. එහෙත් අන් කවරදාටත් වඩා දැන් රන්බීර්ට සහ කත්‍රිනාට එකිනෙකා නැතිවම බැරිය.

දැනට ලංකාවේ රූගත කෙරෙන ‘බොම්බේ වෙල්වෙට්’ රූගත කිරීම සඳහා ලංකාවට පැමිණ සිටින රන්බීර් කපූර් සොයා ඇය ශ්‍රී ලංකාවට පැමිණියේ එනිසාය.

රන්බීර් නැවතී සිටින හෝටලයටම පැමිණ කත්‍රිනා ඔහුට විවේක ලැබෙන සෑම මොහොතක්ම ඔහු සමඟ ගතකර තිබේ. රිතික් රෝෂන්ට මොළයේ සැත්කමක් සිදු කිරිම නිසා ’බෑන්ග් බැන්ග්’ රූගත කිරිම් නොවැම්බර් මාසය දක්වා කල්යාමෙන් ලැබුණු නිවාඩුව කත්‍රිනාගේ ප්‍රේමයට ලැබුණු බෝනස් වාසියකි. රන්බීර්ට ද නොදන්වා ඔහු මවිත කිරීමට කත්‍රිනා මෙසේ පැමිණ තිබේ.

මේ කත්‍රිනා ශ්‍රීී ලංකාවට පැමිණි පළමු අවස්ථාවයි. සිනමා කණ්ඩායමේ උකුසු ඇසට ලක් නොවී ඇය රන්බීර් නැවතුණු හෝටලයේම නැවතී තිබේ. දිනකට, දෙකකට පසු යළි ඇය තනියම ඉන්දියාව බලා පිටව ගොස් ඇත. බොහෝ දෙනා පවසන්නේ ‘බොම්බේ වෙල්්වට්’ ප්‍රධාන නිළි අනුෂ්කා ෂර්මා හමුවීමට ඇති අකැමැත්ත මීට හේතු වන්නට ඇති බවයි. ‘අජාබ් ප්‍රේම් කී ගසාබ් කහානි’ (2009) දෙදෙනා ප්‍රේමයෙන් මුණ ගැස්සූ සිනමාපටයයි.

රූගත කිරිම්වලින් මඳ විරාමයක් ලැබුව ද ඇය පසුගිය දිනවල ගත කළේ බෙහෙවින් කාර්යයබහුල දිවියකි. ඒ, නැගණිය නටාෂාගේ විවාහ මංගල්‍යය නිසයි. අගෝස්තු 25 වැනි දින ලන්ඩනයේ පැවැත්වුණු විවාහ මංගල්‍යයට පෙම්වතා රන්බීර්, අර්ජුන් කපූර් (රාඛි බඳින සොයුරු), චිත්‍රපට නිෂ්පාදක ආයන් මුඛර්ජි, ආදිත්‍ය චොප්රා, අලි අබ්බාස් සෆර් ආරාධනා ලැබ සිටියහ. සියල්ලන්ම පුදුමයට පත් කරමින් මේ ලැයිස්තුවේ සල්මන් ඛාන්ගේ නැගණිය අල්විරා ද සිටියාය.

නැගණියගේ මංගල්‍යය කත්‍රිනා මුළුමනින්ම වාගේ තමන් පිට පවරාගෙන තිබේ. මනාලියගේ මංගල ඇඳුමේ සිට භෝජන සංග්‍රහය දක්වා වූ සියල්ල ඇයගේ මූලිකත්වයෙන් සිදු කෙරී ඇත. නාටාෂාගේ විවාහය වෙනුවෙන් ඇඳුම් ගැනීමට කත්‍රිනාගේ පවුලම මූම්බායි පැමිණි බව ද රහසක් නොවේ.

මේ සියලු සුබ සිහින, මංගල අත්දැකීම් අතරේ කත්‍රිනා කෝප ගන්වන සිදුවීමක් ද ඇත. ඒ කත්‍රිනාට ලැබුණු දැන්වීම් අවස්ථාවක් අයිශ්වර්යාට හිමි වීමයි.

ජයන්ට් රියල් එස්ටේට් දැන්වීම් ආයතනයේ සන්නාම තානාපතිනිය ලෙසට තෝරා ගෙන තිබුණේ කත්‍රිනා කායිෆ්ය. ඇය ඒ සඳහා අත්සන් තබා ද තිබුණි. එහෙත් කුමක් හෝ හේතුවකින් මේ ගිවිසුම ක්‍රියාත්මක වූයේ නැත. දැන් කත්‍රිනා වෙනුවට ‘ඈෂ්’ තෝරා ගෙන තිබේ. මේ ගැන කත්‍රිනා කෝපයට පත් වී ඇතත් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත.

මීට පෙර ද සෝනම්ගෙන් සුවඳ විලවුන් සමාගමකින් සන්නාම තානාපතිනිය ලෙස අත්සන් ගෙන තිබියදීත් අයිශ්වර්යා රායිට ඒ අවස්ථාව උදා කර දී ඇත.

සෝනම් මේ අවස්ථාවේදී ‘ඈෂ්’ සමඟ කොපමණ කෝපයට පත් වූවා ද කිවහොත් ඇය අමතා තිබෙන්නේ ‘ඈෂ් ආන්ට්’ ලෙසයි.