වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල මං ජීවත් වෙන්නේ බස් එකක් ඇතුලේ

මේ දවස්වල මං ජීවත් වෙන්නේ බස් එකක් ඇතුලේ

දිමුතු චින්තක

දිමුතු චින්තක. නම කිව්වම දන්න පිරිසට වඩා දිමුතුව රූපයෙන් හඳුනන පිරිස ඉතා ඉහළයි. විසි පස් වසරක් කලා ජීවිතයේ විවිධ චරිත මවපු මේ සහෘදයා, වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයටත් ආගන්තුක චරිතයක් නෙවෙයි. නිරතුරුවම කලාවේ රැඳෙමින්, කලාව වෙනුවෙන්ම ජීවිතය කැප කරන දිමුතුගේ කලා දිවියට අගෝස්තු 29 වැනිදා ඒ කියන්නේ අද විසිපස් විය එළඹෙනවා.

ඒ වෙනුවෙන් දිමුතු උපන් රජරට අව්‍යාජ ගැමි හිතවතුන් හා රසාරා රංගන පාසල එකව දිමුතු වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට සූදානම්. දිමුතු මුතු අහුරක් ලෙස නම් කොට ඇති මෙම උපහාර උළෙල පිළිබඳත් දිමුතුගේ කලා දිවිය ගැනත් සරසවිය කළ කතාබහක් මේ.

ගෙවී ගිය අතීතයට ප්‍රථමව වර්තමානය සහ අනාගතය ගැන කතා කරමු.

ඉදිරියට විකාශයවීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කටයුතු සඳහා දායක වුණා. ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. සමනල සංධවනිය තිරගත වීමට කටයුතු සූදානම්. මේ වගේ කටයුතු අතරේ කාලය ගෙවී යනවා.

ගෙවී ගිය කාලය ගැන තෘප්තියෙන් ද ඉන්නේ?

ඇත්තෙන්ම ඔව්. මං ආවේ ඉබි ගමනක්. ඒ ගමනේදි මල් වගේම මං මුලා වැලුත් හම්බ වුණා. කලා ජීවිතේ දිහා ආයෙත් හැරිලා බලද්දී දැනෙන්නේ සතුටක්.

මේ දවස්වල වැඩිපුර ඉන්නේ බස් එකක් ඇතුළේ කියලා ආරංචියි?

ගෙවිච්ච වසර 25 ඇතුළෙ වැඩිපුරම කාලේ ගෙවුණේ බස්වල කෝච්චිවල. මේ දවස්වල බස් එකක් ඇතුළට වෙලා ඉස්සරහට යන්න රූගත කිරීම් එක්ක කාලය ගත කරනවා.

ඒ අත්දැකීම ඉතා වෙනස් නේද?

ඔව්. උදේම බස් එකට නැග්ගම ආයෙ බහින්නේ හැන්දෑවේ පහට හයට. බස් එකේම තමයි ෂූටින් කරන්නේ. ඒ බස් එකට පිට සෙනඟ නඟින්න එනවා. මේක ටෙලි නාට්‍යයක බස් එකක් කිව්වම සෙනඟ තරහ වෙලා බහිනවා. පිට බස්වල ඩ්‍රයිවර්ස්ලා අපේ බස් එකට බනිනවා. ගහන්න යනවා. ඒ වගේමයි අපේ බස් එක පොලීසියෙනුත් අල්ලනවා. මේ වගේ සුන්දර අත්දැකීම් එක්ක තමයි කාලෙ ගෙවෙන්නේ.

අද දවස ඔබට වැදගත්?

ඔව්. මගේ කලා ජීවිතේට වසර 25 ක්. විසි පහක් හිටිය කියන්නේ කොච්චර දෙයක්ද? අද මගේ සහෘදයෝ උපහාර උළෙලක් පවත්වනවා.

ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්?

ඔව්. වසර 23 ක් මං ගුරු සේවයේ යෙදෙමින් දරුවන් වෙනුවෙන් කැපවීම් කළා. බොහෝ කාලයක් හිටියේ දුෂ්කර සේවයේ. දරුවන් නාට්‍ය සඳහා ගීත සඳහා වගේම කලා කටයුතු සඳහා මගේ මඟ පෙන්වීමෙන් යොමුවෙලා තියෙනවා. ඒක මට සතුටක්.

කලා ලොකයේ ඔබට ලැබිය යුතු තැන ලැබුණ කියලා කියන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද?

ලැබෙන්න ඕන තැන ලැබුණ කියලා මං හිතන්නේ නැහැ. ඉස්සෙල්ලා කිව්ව වගේ මගේ ගමන ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ ගමනේදී බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. මට ඒ ඇති.

බොහෝ දෙනෙක් චරිත දුන්නේ ඔබේ ඇඟපත බලලා නේද?

ඔව්. ඇතැම් චරිත ලැබුණෙ මගේ ශරීර ස්වභාවය අනුව. ඒත් ඉසුරු භවනෙ රාජ මහත්තයා, මල් දෙවැටෙ ඩොල්කි බර්ටි වගේ චරිත මෑත කාලයේ මාව වෙනම මාවතකට ගෙන ගිය චරිත කියලා බොහෝ දෙනකු කියනවා.

ඔබ සමාජ සද්කාරයන්ට උර දෙන චරිතයක් නේද?

මේ දිනවල ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් පුහුණු කරමින් ඉන්නවා. ජීවත්වෙන කාලේ සමාජය වෙනුවෙන් යමක් කිරිම මගේ අරමුණ. දුෂ්කර පළාතක ඉඳලා ඇවිත් කලාව ස්පර්ශ කරලා සමාජයට යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව.

මෙතෙක් කල් නොලැබුණු රඟපාන්න කැමතිම චරිතයක් තියෙනවාද?

මතුපිටින් ඉතාමත් සුන්දර නමුත් ඇතුළාන්තයෙන් දුෂ්ඨ, නපුරු චරිතයක් රඟපාන්න ආසයි. ඒ වගේ චරිතයක් තවමත් මට ලැබී නැහැ.

ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

ඉතාමත් සුන්දරයි.

ඔබේ ආරම්භය වේදිකාව?

ඔව්. කවදාකවත් මං වේදකාවෙන් ඉවත් වෙලා නැහැ. ඉදිරියේදී වේදිකා ගතවීමට නියමිත වෙලාවකට පිස්සු වගේ නාටයෙන් ජනතාව අතරට යන්න සුදානම්.

මේ උපහාර උළෙල ඔබේ ජීවිතේට ශක්තියක් නේද?

ඔව්. ගමේ ඉපදිලා ගමේ හැදෙන මං වගේ කෙනෙකු ගමෙන් ලැබෙන දේ තරම් තව කිසිම දෙයක් වටින්නේ නැහැ.