|
අපි හැමෝගෙම ජීවිත හැමදාම අලුත්
චන්ද්‍රා - ලක්ෂ්මන් යුවළ පවසති
මීළඟට කලාපුර සවාරියේදී අපි ගියේ තවත් කලා පවුලක් වෙසෙන ආදරණීය කැදැල්ලකටයි. සරසවියේ අපි පැමිණි බව දැනගත් විගස ඇය විත් අප පිළිගත්තේ දැඩි ළෙංගතුකමින්. ඇය සිනමා, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් වගේම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගුවන් විදුලි නිවේදිකාවක්. දශක ගණනක් පුරා නොමැකෙන මතක සමඟින් ඔබ හමුවට පැමිණි ඇය චන්ද්‍රා කළුආරච්චි. ඇයගේ ආදරණීය සැමියා ලක්ෂ්මන් විජේසේකර. ඔහු ගැනත් ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. 70 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පැමිණ ඔහු ගායකයෙක්, නළුවෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. කලාපුර සවාරියේ දෙවැන්න සනිටුහන් කරන්න අපි තෝරා ගත්තේ ලක්ෂ්මන් – චන්ද්‍රා කළුආරච්චි යුවළගේ ආදරණීය නිවහනයි.
මේ කතාබහට මුල පුරමින් මම ඇයගෙන් ඇසුවේ, කොහොමද සැප සනීප යනුවෙනි? හොඳින් ඉන්නවා. බොහොම නිදහසේ නිස්කලංකව ජීවිතේ ගෙවෙනවා.
දිගු නිහැඬියාවක් නේද චන්ද්‍රා අක්කේ දැන් රංගන කටයුතුවලින් ඈත්වෙලාද? කලා කටයුතුවලින් නම් ඈත්වෙලා නැහැ. ළඟදී ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ. ගජමන් පුවත වේදිකා නාට්‍යය වේදිකා ගත වුණා. ඉදිරියටත් එහි දර්ශන යොදා ගෙන තියෙනවා. රංගන ක්ෂේත්‍රයේ නිතරම දකින්න නොලැබුණේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නිසා නෙමෙයි. හොඳ නිර්මාණ ලැබෙනවා අඩුයි.
කලා භූමි සෞන්දර්ය නිකේතනනයේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටිනවා. ඊට අමතරව කවිතා වැඩසටහන මේ දිනවල ආරම්භ කරලා තියෙනවා. එහි විනිශ්චය කටයුතුවලට දායක වෙනවා.
කලාපුර ජීවිතේ මොන වගේද? අපි කලාපුර පදිංචියට ඇවිත් දැන් වසර එකොළහක් විතර ගත වෙලා. මීට කලින් නාරාහේන්පිට තමයි පදිංචි වෙලා හිටියේ. කලාපුර පදිංචියට ඒමට ලැබීම වාසනාවක්. කලාකරුවන් විදියට නිදහසේ ජීවත් වෙන්න හොඳ පරිසරයක් මෙහෙ තියෙනවා. මෙහෙ තියෙන නිස්කලංකභාවය තමයි ගොඩක්ම වටින්නේ. එහෙම තැනක් ලබන්න අපි පින් කරලා තියෙනවා.
ඔබේ අසල්වැසියන් හැමදෙනාමත් කලාකරුවන්. විවිධ අංශ නියෝජනය කරන කලාකරුවන් රැසක් සමඟ එකම ප්‍රදේශයක ජීවත්වෙන කොට මොන වගේ හැඟීමක් ද දැනෙන්නේ? මම හැරුණේ යළිත් චන්ද්‍රා අක්කා දෙසට. කලා ක්ෂේත්‍රයේ නිරත සහෝදර කලාකරුවන් සමඟ එක ගමක ජීවත්වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ඒක සතුටක්. අපි හැමෝගෙම හොඳ එකමුතුවක් තියෙනවා. කලාපුර නිවැසි පදනම පිහිටුවා ඒ තුළින් විවිධ කටයුතු සිදු කරනවා. හැමෝගෙම දායකත්වය එයට ලැබෙනවා. කලාකරුවන් ලෙස අපි හැමෝම ගෙවන්නේ හරිම කාර්යබහුල ජීවිත. නමුත් මේ එකමුතුව අපි හැමෝම එක් රැස් කරනවා. එය ගොඩක් වැදගත් දෙයක්. කලාකරුවන් ලෙස අපි හැමෝම ඉතාම සුහදත්වයෙන් මේ කලාපුර ජීවත්වෙනවා.
ඔබේ පවුලේ සියලු දෙනාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නේද? ඒ සමඟ ගෙදර සාමාන්‍ය ජීවිතය මොන වගේද? අපේ දියණිය අමා විජේසේකර වගේම පුතා විහඟ විජේසේකරත් කලාවට ලැදියි. දුව නම් පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙලා සිටින්නේ. පුතා නම් රැකියාවක් කරන ගමන් තමයි කලා කටයුතුවලට දායකත්වය ලබා දෙන්නේ. පුතා ගායනයට වගේම තබ්ලා වාදනයට ගොඩක් දක්ෂයි. කලාවෙන් බැහැරව අපි හැමෝගෙම ගෙදර ජීවිතේ හැමදාමත් අලුත්. හැම වෙලේම මොනවා හරි අලුත් දෙයක නිරත වෙලා ඉන්නවා.
ලක්ෂ්මන් අයියා ආයෙත් රඟපාන්නේ නැද්ද? රේඛා, ඉරපායා, හිමි අහිමි, දත් කුකුළු පාලා වැනි නිර්මාණ ආසාවෙන් බැලූ රසිකයන් ඒ ගැනත් දැනගන්න ආසාවෙන් ඇති. රංගනයෙන් මම එතරම් සාර්ථක නැති බව මට හිතුණා. ‘දත් කැකුළු පාලා’ තමයි අවසන් වරට රංගනයෙන් දායක වුණේ. නැවත රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්න නම් අදහසක් නැහැ.
තිස්පස් වසරකට වැඩි වූ ඔබේ සංගීත දිවියේ අලුත් නිර්මාණ එකතුවක් එළි දක්වන්න අදහසක් තියෙනවාද? නිර්මාණ එකතුවක් සමඟින් ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා. දුවයි පුතයි දෙන්නමත් ඒ ගැන නිතරම කියනවා. ලබන වසරේදී ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. කලාපුර සවාරියේ අද කතාබහට නැවතීමේ තිත තබන්නයි සූදානම. මේ ගමනේදී අපිට තවත් කලාකරුවන් රැසක්ම හමුවන්නට නියමිත නිසා අපි මේ ආදරණීය නිවහනෙන් පිටත් විය යුතු වූ කාලය දැන් පැමිණිලා. මේ සමුගැනීම තවත් සොඳුරු නිවහනකදී හමුවීමේ ආරම්භයයි. ඒ නිසා ලක්ෂ්මන් – චන්ද්‍රා යුවළට සුබ පතමින් නික්මෙන්න අවසරයි.
|