|
මම එකම දවසක් නයිට් ක්ලබ් ගියා
රුවන්ගි රත්නායක
මේ දිනවල විකාශය වන නාලන් මෙන්දිස්ගේ අංගනා සහ චන්දන සමරවික්‍රමගේ සිත්තරාවි, තරුමලී ටෙලි වෘතාන්තයන්හි ඔබ හමු වන සුරූපිනිය රුවන්ගි රත්නායකය.
මේ දිනවල වයස් බේදයකින් තොරව සැම දෙනා අතරේ ජනප්‍රිය චරිතයක් වන රුවන්ගිට අපි ටිකක් සැර ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඇය ඒවාට උත්තර දුන්නේ කැත්තට පොල්ල වගේ මෙන්න මෙහෙම.
* ලංකාව වගේ රටක නිළියක් වෙලා ඉපදිලා කන කට්ට ගැන මොකද රුවන්ගිට හිතෙන්නේ? කට්ට වුණත් වෙලාවකට රසයි. මොනවා කරන්නද, ඒත් මං ගොඩක් සතුටින් ක්ෂේත්රය තුළ ඉන්නේ. මොන රැකියාවක වුණත් ඉදිරියට යන්න කට්ටක් කන්නම ඕනේ.
* බොලිවුඩ් හෝ හොලිවුඩවල ඉපදුනා නම් හොඳයි කියලා හිතිලම නැතිද? එහෙම ඉපදුනා නම් මං මීට වඩා ජනප්‍රිය වෙලා. ඒත් මං නිළි වෘත්තිය තෝරා ගත්ත නම් විතරනෙ එහෙම වෙන්නේ. වෙනත් රටක ඉපදිලා වෙනත් ක්ෂේත්රයක නියැළුණා නම් ජනප්‍රිය වෙන්නේ නැහැනේ. එහෙම නම් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ නිළියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලම මැරෙන්න ඕනෑ.
* වෙනත් රටවල නිළියන් අපේ නිර්මාණ සඳහා යොදා ගන්න එක පිළිබඳ රුවන්ගි මොන වගේ මතයක ද ඉන්නේ? අනේ ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අධ්යක්ෂවරුන් තමන්ගේ සිතේ තියෙන චරිතයට ගැළපෙන්නේ වෙනත් රටක නිළියක්ද, එයාව අර ගත්තුදෙන්. මට මොකෝ.
* මේ වන විට ඔබේ ඊර්ෂ්‍යාවට ලක්වෙලා තියෙන නිළිය කවුද? කියන්න තරම් ඊෂ්‍යාවක් කා ගැනවත් ඇති වෙලා නැහැ.
* ඊර්ෂ්යාවක්ඇති වෙලා නැතිනම් රුවන්ගි මනුෂ්‍යයෙක් නෙවෙයිනේ? ඊර්ෂ්‍යාවක් ඇති වන්නේ තමා ගැන තෘප්තිමත් නැති හින්දනේ. මම නම් මං ගැන හොඳට තෘප්තිමත්.
* ජනප්‍රිය නිළිය වන්නට කූපන් දමාගන්න රුවන්ගිට දැන්මම අදහසක් නැහැ වගෙයි? දැන්මම නෙවෙයි කොහෙත්ම අදහසක් නැහැ. කූපන් දමලා සම්මාන ගන්න අය ගැන හරිම කනගාටුයි. මට අවංකවම තමාගේ දක්ෂතා පෙන්නලා ගන්න සම්මානයයි වටින්නේ.
* ජීවිතයේ වැරැදුණු තැන් මොනවද තියෙන්නේ? මගේ ජීවිතේ වැරදීම් නැත්තටම නැති තරම්.
* රුවන්ගි දැනට පාවිච්චි කරන වාහනය මොකක්ද? හොන්ඩා ෆිෆ්ටි එකක්.
* ඒක ගන්න කොහෙන්ද සල්ලි? ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ඕනෙ නැති ප්‍රශ්න අහන්න එපා ඔයා.
* හරි, මං වෙන ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයා ඉස්සරට වඩා කැතවෙලා කියලා මං කිව්වොත්? වෙන්න පුළුවන්. මොකද රූගත කිරීම්වලට අවිවේකව ඉන්නවා. නිදි වරනවා ඉස්සරට වැඩියෙන්. ඉතින් මං ටිකක් කැත වෙලා කියන කතාව හරි. ඒත් පුළු පුළුවන් විදිහට රූපලාවණ්‍ය කටයුතු කරනවා.
* ඇතැම් අය කියනවා රුවන්ගි කැතවෙලා තියෙන්නේ නයිට් ක්ලබ් ගිහින් නිදිමරලලු? බුදු අම්මෝ ඒක නම් අමූලික බොරුවක්.
* රුවන්ගි නයිට් ක්ලබ් ගහිල්ලම නැතිද? එකම එක දවසක් ගියා.
* කාත් එක්කද? මගේ අක්කයි යාළුවො කිහිප දෙනෙකු එක්ක. විශේෂ අවස්ථාවකටයි මට නයිට් ක්ලබ් යන්න සිද්ධ වුණේ. ඒක මට කියන්න බැහැ.
* එක දවසින්ම නයිට් ක්ලබ් එපා වුණාද? එපා වුණෙත් නැහැ. ඕනෑ වුණෙත් නැහැ.
* හරිම කපටි උත්තරයක් රුවන්ගි දුන්නේ? ඉතිං ඒක තමයි මගේ උත්තරේ.
* ශෙරිල් ඩෙකර් දම්සාරි නාට්‍යයෙන් ඉවත්වීම ගැන රුවන්ගි මොකද කියන්නේ? මට කාවවත් විවේචනය කරන්න වුවමනා නැහැ. වෙන දෙයක් අහන්නකෝ.
* එහෙනම් කියන්නකෝ තරුණ නිළියන් හිටි හැටියෙම නාට්‍ය මග හැරලා යන්නේ ඇයි කියලා? වගකීමක් නැතිකමද? මෙහෙමයි. ලංකාවේ ප්රඩක්ෂන්වල ප්‍රශ්න තියෙනවා. ඒත් අප ඒවා කොහොම හරි විඳ දරා ගන්න ඕනෑ නිර්මාණය වෙනුවෙන්. ඒකට කියන්නේ නිර්මාණයට අවංක වීම කියලා. ඒක අපේ කට්ටිය තේරුම් ගත්තොත් හොඳයි.
* රුවන්ගිට එහෙම ප්‍රශ්න ඇති වෙලාම නැතිද? එහෙම නැහැ. මොනවා වුණත් මං නිර්මාණය ඉවර වෙනකම් ඒකේ ඉන්නවා.
* රුවන්ගිගේ මුල්ම රස්සාව මතකද? මුල්ම රස්සාව තමයි රංගනය. අවසාන එකත් රංගනයමයි.
|