වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




එක කාලෙකදී බොහෝ දෙනා මට මඩ ගැහුවා

එක කාලෙකදී බොහෝ දෙනා මට මඩ ගැහුවා

උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට 2 ගොපළුගේ වික්‍රම සිනමාපටය මේ දිනවල අති සාර්ථකව තිරගත වෙනවා. එහි ජනිත් ලෙස රඟන ඉෂාම් සම්සුඩීන් චිත්‍රපටයත් සමඟම නැවතත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා. දායක වූ නිර්මාණ ප්‍රමාණය අතළොස්සක් වුව ද ඉන් සෑම එකකින්ම පාහේ තම හැකියාව මනාව ප්‍රකට කළ ඔහු අද වන විට නම් හිරිමල් වයසේ පසුවන යෞවනයක්. ළමා නළුවකු විදිහට ක්ෂේත්‍රයට පැමිණි ඉෂාම් ගැන අලුත් විස්තර ටිකක් දැනගන්න අප සරසවියට කැඳ වූවා.

ඉෂාම් දැන් ගජ ඉලන්දාරියෙක් නේද?

දැන්නම් වයස විස්සයි. රන්කෙවිට දෙවැන්න කරද්දී නම් අවුරුදු පහළොවයි. පළමුවැන්න කරද්දී ඊටත් වඩා පොඩියි. බැරි වෙලාවත් රන්කෙවිට දෙවැන්න තිරගත නොවුණා නම් පරේ බැහැලා යද්දී කවුරුවත් අඳුනන එකක්වත් නැහැ.

අපි ජනිත් ගැන කතා කරමු?

ජනිත් මට මහත් වු අභියෝගයක් වුණා. රන්කෙවිට එකට වඩා දෙකෙහි ග්‍රැෆික් සීන් වැඩියි. ඒක නිසා ගොඩක් තැන්වලදී ගොපලු යකා ඉන්නවා කියලා හිතින් මවාගෙන රඟපාන්න වුණා.

ඇත්තද රන්කෙවිට 2 රූගත කරද්දී මදි නොකියන්න කෑම කන්න වුණා කියන්නේ?

ඔව්, ඔව්. ගොපළුගෙ රන්කෙවිට භාවිත කරමින් කෑම ජාති මවන දර්ශන කිහිපයක්ම තියෙනවනෙ. ඉතින් උදය අංකල් එක එක වර්ගයේ කෑම ගෙනාවා. රූගත කිරීම් ඉවර වුණායින් පස්සේ එවා මගේ බඩේ.

කෑම වැඩි වෙලාද ඊට පහුවෙනිදා උණ ගැනුණේ?

කොහොමද ඒ කතාව දැනගන්නට ලැබුණේ. උණ ගැනුණා තමයි. හැබැයි කෑම වැඩිපුර කෑව හින්දා නම් නෙවෙයි. එතකොටත් චිත්‍රපටය රූගත කරනවා. මට ගෙදර ඉන්නත් බැහැනේ. උණ පිටින්ම දර්ශන තලයට ගියා. මගේ සීන් නැති වෙලාවේ නිදා ගත්තා. බෙහෙත් අහුරක් විතර බිව්වා. ඒ මං හින්දා චිත්‍රපට කණ්ඩායමේ අනිත් අය අමාරුවේ වැටෙනවා බලාගෙන ඉන්න බැරි නිසා.

කොහොම හරි උණ තිබුණත් මං ඒ බව නොදැනෙන්න රඟපෑවා.

මොකද කාලෙකින් රඟපෑවෙ නැත්තේ?

මං කලිනුත් කිව්වනෙ රන්කෙවිට 2 කළේ අවුරුදු පහකට කළින් කියලා. ඉන් පස්සේ මට ආරාධනා ලැබුණේ නිර්මාණ එකකට දෙකකට විතර. ඒත් මං හරිම ආසයි දිගටම රඟපාන්න.

ඔබේ පළමු චිත්‍රපටය වුණේ ‘අක්ෂරය’ නේද? ඒකෙ රඟපෑවට පස්සේ ගොඩක් විවේචන ආවා. තවමත් ඒ තත්ත්වය තියෙනවා?
ඉෂාම් රඟපා ඇති නිර්මාණ:
ටෙලි නාට්‍ය - සිරි සිරි මල්, ටිකිරි හපන්නු, සිහින වසන්තයක්

චිත්‍රපට : අක්ෂරය, රන්කෙවිට I, II
බෝම්බ සහ රෝස

අදටත් මට ඒ ගැන කියලා බනින අවස්ථා එමටයි. ඒත් මම සහ ඒ රඟපාපු ආන්ටි ඉන්න දර්ශන ගත්තේ වෙන වෙනම කට්ස් විදිහට. ඉතින් ඒක මිනිස්සු දන්නේ නැහැනෙ. එක්තරා පත්තරයකින් මට හොඳටම මඩ ගැහැව්වා. ළමයි හා සබැඳී කාර්යාංශයකින් මට නඩුවකුත් ගොනු කළා. මොන දේ වුණත් මං සැලුනේ නැහැ.

රඟපාන්න බොහොම ආසයි වගේ?

අනිවාර්යයෙන්ම.

ඔබ දැන් ළමා චරිතවලින් මිදුණොත් හොඳයි කියලා කවුරුන් හෝ පවසලා නැද්ද?

තවම එහෙම කියලා නැහැ. අපෝ මං තවම ළමා චරිත කරන්නයි ආස. ඒත් පෙම්වතාට ඇරැයුම් ලැබුණොත් භාර නොගෙන ඉන්නෙත් නැහැ.

ඔබේ අරමුණ හොඳ රංගන ශිල්පියෙක් වෙන්නද?

දිගටම රඟපානවා. ඒත් එක්කම වෙනත් ක්ෂේත්‍රයක රැකියාවකුත් කරනවා. දෙකම සමබරව පවත්වාගෙන යන්නයි කල්පනාව.

ඉෂාම් කොහොමද රංගනයට එන්නේ?

අපේ ඉස්සරහ ගෙදර ඉන්න ආන්ටිලා කලාවට සම්බන්ධයි. මගෙත් පොඩි ආසාවත් තිබුණා රඟපාන්න. මං ඒක කිව්වම ඔවුන් මට අවස්ථාවක් ලබා දුන්නා වෙළෙඳ දැන්වීමකට. ඉන් පටන් ගත්තු ගමන තමයි මේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂයකු බව මං අහලා තියෙනවා?

ක්‍රිකට් ගහන්න පුදුම ආසාවක් තිබුණා. නළු නිළියෝ ක්‍රිකට තරග පවත්වද්දී මට නොවැරැදීම කතා කරනවා.

රඟපාන්න ගිහිල්ලා අනන්තවත් අමතක නොවන අත්දැකීම් වෙලා ඇති?

මොකද නැත්තේ. සිරි සිරි මල් නාට්‍යය කරද්දී ක්ලීටස් මෙන්ඩිස් අංකල්ට කළයකින් ගහන්න තිබුණා. ඔහු කිව්වා එයාට කළේ කුඩු වෙන්න ගහන්න කියලා. මං බයට බෑ කිව්වා. ඔහු මාව බය කළා. මං ඇඬුවා. ඊට පස්සේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා අංකල් තමයි මාව සැනසුවේ. බලාගෙන ගියාම ක්ලීටස් අංකල් ඒ දර්ශනය හරියටම ගන්නයි එහෙම කියලා තියෙන්නේ. පස්සේ ඔහුටත් හරිම දුක හිතුණා. රන්කෙවිට 2 හි දර්ශනයක් තියෙනවා මමයි මගේ යාළුවයි ස්විමිං පූල් එකක් මැදින් දුවන. පූල් එක මැදින් නොපෙනෙන්න පාලමක් හදලයි තිබුණේ. ඒ දර්ශනයට බොහොම කල්පනාවෙන් පෙනී සිටියේ. මොකද බැරි වෙලාවත් පාලමෙන් වැටුණා නම් ආයෙ දර්ශනය ගන්න ඇඳුම් වේල ගන්න එපායැ.

ඔබට දැනෙන විදිහට ඔබට වැඩිපුර ඉන්නේ මොන ජාතියක රසිකයින්ද?

මං මුස්ලිම් වුණාට මං හිතනවා හැම ජාතියකම රසිකයො මගෙත් එක්ක ඉන්නවා කියලා.