වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




උන්නාන්සෙට මතු බුදු බව ලැබෙන්ඩ අපි දිහාත් බලයි

උන්නාන්සෙට මතු බුදු බව ලැබෙන්ඩ අපි දිහාත් බලයි

සරසවිය ගෙනෙන නවතම නවකතාව ගිරිකුල
 

ශාන්ති දිසානායකගේ නවකතාව පාදක කර ගෙන සරත් ධර්මසිරි විසින් ලියන ලද තිර රචනය ඇසුරෙන් ෆාහිම් මවුජිඩ් ගේ නිෂ්පාදනයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන වෘත්තාන්තයක් වන කෘතිය මෙලෙස සරසවිය පාඨක ඔබට ගෙන එන වගයි.

උහුමීයෙන් පිටත් වූ වස්තුහාමි ඇතුළු පිරිස දිගටම ගමන් කළහ. ඔවුන්ට ඒ සඳහා ගත වූ කාලය නිනව්වක් නොවීය.ඒ මාවත වැටී තිබුණේ අනුරාධපුර දෙසටය. යාපනයට ගියේ ද ඒ මාවත ඔස්සේය.ඉඳ හිට තාර වැටී තිබුණ ද පාරේ බොහෝ තැන්වල තිබුණේ බොරලුය.වාරියපොල හංදියටම තිබුණේ එක් කඩයකි.

ඒ කඩයේ සිටි මිනිසුන් කරත්ත යන දෙස වුවමනාවෙන් නොබැලුවේ එය සාමාන්‍ය සිදුවීමක් බැවිනි. බැලූ බැල්මට එහි වස්තුහාමි ගේ කරත්ත නඩයෙන් පෙනෙන්නට තිබුණේ ගම රට අතහැර යන පිරිසකි. රාජාංගනය ඇතුළු කලා ඔය නිම්නයේ අලුතින් ඇති වන ජනාවාස සඳහා මෙලෙස පවුල් පිටින් නික්ම යෑම සාමාන්‍ය සිදුවීමක් විය.එබැවින් එදෙස හැරී බලන්නට වුවමනාවක් කඩේ පිරිසට නොවීණ.

'ඕං වාරිය පොල දැන් වන්නියේ දොරට ළඟයි."

කරත්තකරුවෙකු පිරිසේ සැමටම ඇසෙන්නට පැවුසුවේ තමන්ට මේ පළාත හුරු බව හැඟවීමට මෙනි.

"මෙව්වයෙ නං කිසි ලකයක් නෑ.දාලා පිච්චිල ගිහිං"

සුදුබණ්ඩා පැවසුවේ පාර දෙපස ඇති ගහ කොළ දෙස බලමිනි.

'අපි යන දිහාත් මේවගේ ද දන්නේ නෑ"

කිරි බණ්ඩා අනුමාන කළේය. එයට වස්තුහාමිගෙන් ලැබුණේ රළු ප්‍රතිචාරයකි.

'කට ඉස්සර කොරන්නේ නැතිව හිටපං"

කිරි බණ්ඩා බිම බලා ගත්තේය.

"පාර අයිනේ මෙහෙම උනාට ගං ඇතුළට ගිහිං වෙන්ඩ ගිහිං බලපං කෝ.හරි සරුසාරයි. ඒත් ඉතින් කැලෑ උණ හැමතැනම"

අනිත් කරත්තකරුවකු ද කතාවට එක් විය.ගොනුන් වෙහෙස නොකළ බැවින් උන් හැල්මේම ගමන් කළහ.දිවා කල කොහේ හෝ තැනක නතරවුන පිරිස ගැහැනුන් විසින් සැනින් වහා පිළියෙළ කර දෙනු ලබන බතකින් අහර ගෙන යළි ගමන් ඇරඹූහ.තවත් කාලයකට පසු දැදුරු ඔය පාලම තරණය කරන්නට ඔවහු සමත් වූහ. නියං කාලය වූ බැවින් ඔය ගලා ගියේ පාණ්ඩු පාටටය.

පාලමෙන් එපිට ට ගිය වස්තුහාමි එහි අයිනේ තිබූ දේවාලයට පොල් ගෙඩියක් ගැසුවේය.පොල් කෑල්ල කෑලි වලට කැඩී ගියේය.අනතුරුව එයින් කැබැල්ලක් අතට ගත් වස්තුහාමි ඉන් කැබැල්ලක් සුදු බණ්ඩාට දුන්නේය.ඉතිරි පොල් කැබැලි සෙස්සන් අහුලා ගන්නා අයුරු දුටු වස්තුහාමිට සිනහ පහල විය.

"ඕං ඉතින් අයියනායක දෙයියන්නේ අඩවිය තමා"

එක් කරත්තකරුවෙකු පැවසුවේ වස්තුහාමිට යමක් සිහිපත් කරන්නට මෙනි.

"උන්නාන්සෙට මතු බුදු බව ලැබෙන්ඩ අපි දිහා බලයි"

වස්තුහාමි පැවසුවේ අහස දෙස බලමිනි.තවත් කරත්ත රාශියක් දේවාලය අවට නතර ව තිබිණ. ඔවුන් ද තමන් මෙන් ම රට ගම අතහැර යන්නන් වෙතැයි සිතූ වස්තුහාමි අවට බැලුවේය.ගම් පළාතේ හෝ දන්නා හඳුනන එකදු මුහුණක් හෝ එහි නොවීය.කරත්තයක සිටි ඉලන්දාරියෙකු තම දියණියන් දෙස බලා සිනාසෙනු දුටු වස්තුහාමි ඔහු දෙස රවා බැලුවේය.ඒ තරුණියන්ගේ පියා බැව් වටහා ගත් තරුණයා වහා බිම බලා ගත්තේය.

ඇතැම් හවසක ඔවුන් වාඩි ලා ගත් තැන තවත් කරත්ත නවතා තිබෙනු දකින වස්තුහාමි තනිවම නවතා සිටින කරත්තකරුවෙකුට රාත්‍රි ආහාර ගැන්මට ආරාධනා කරන්නට මැලි වූයේ නැත.

'තනියම නැහී ගෙන උයන්ඩ කාරියක් නෑ.අපි හත් අට දෙනෙකුට උයනවනේ. අපෙන්ම බත් කටක් කමු"

ආගන්තුක කරත්තකරු හිස පාත් කරමින් සිනා සිසී නැගී සිටියේය.

'එහෙනං එහෙම කොරමු. සන්තෝසින් දෙන දේනේ. ඇයි ද ?"

ඒ වන විට කිරි බණ්ඩා අසල වැව ට බැස දිය නාමින් උන්නේය.දිය මත බැඳුණු පාසි ඉවත් කරන්නට ඔහු බොහෝ වේලාවක් ගත්තේය.උයන්නට වතුර ගෙනාවේ ද එලෙස වතුර පාදා ගත් පසුය.

"ඔය වැව් වල කිඹුල්ලු ඉන්නවා.ඇහැ ගහගෙන හිටපං පුතේ"

වස්තුහාමි සුදු බණ්ඩාට පැවසුවේය.

'මයෙ යන්ඩ හිතක් තිබුණේ නෑ.ඒත් නොයා බැරි උනා."

වාරියපොල සිට ගල්ගමුවට පොල් අතු පටවා ගෙන ගිය ආගන්තුක කරත්තකරු සමග වස්තුහාමි ආගිය කතාවක් අරඹමින් පැවසුවේය.

"ඉහ ගහ ගෙන ඉංඩ පුළුවන් කොළනිය.නරක නෑ.කැත්ත උදැල්ල ඉඳලා ආණ්ඩුවෙන් දෙනවා.."

අලුත් කරත්තකරු වස්තුහාමිගේ බලාපොරොත්තු ඉහල දැමුවේය.

"ඉස්තිරේට වතුර ලැබෙන ඉඩමක කන්න හත අටක් ගොවිතැන් තරන්ඩ මං පෙරුම් පිරුවා රාලේ'

වස්තුහාමි පැවසුවේ හැඟුම් බරවය. ඔහුගේ සිතේ දහසක් මල් පුබුදින්නට විය.

"මහ කැලේ කොටලා අස්වද්දන පොළවනේ. පොළොව බොහොම සරුයි.කලු පාට ඇලෙන පස්. ගැඩවිල් විමානේ. ගොවිතැනට කියාපු ඉඩං"

කරත්තකරු වස්තුහාමිගේ අලුත් දේශය පිළිබඳ සුරපුරයක් මවා ලුයේය.හතර වටින් කළුවර ගලා ගෙන එන්නට විය. අලුත් කරත්තකරු මදුරු තලා පඳුරක් ගලවා දලු ගිනි කබලකට දැමුවේය.

'රාලට කැස්ස එන්නේ නැද්ද මේ දුමට"

වස්තුහාමි ඇසුවේය.

"මහ නරක මදුරුවෝ ඉන්නවා. ඌ මදුරු තලා දුමට බයයි.කැහැ කැහැ හරි දුම් ගහ ගත්තොත් ගොඩ."

ආගන්තුක කරත්තකරු මදුරුවන් තලන ගමන් පැවසුවේය.

"මිනුවන්ගැටේ පැත්තේ එක පවුලක සේරම මැරුණනේ.කැලෑ උණ හින්දා"

කරත්තකරු අලුත් ආරංචියක් ගෙනාවේය.

"රත්තරං ටිකට ඉන්න මිනිස්සු මේං වෙව්ලනවා.වෙව්ලලා උණ ගන්නවා.කංඩ බොංඩ බෑ.බාගෙට බාගයක් මැරෙනවා."

කරත්තකරු තමන් දන්නා විස්තර සියල්ල කියා සිටියේය. වස්තුහාමි ඉක්මනින් ගිනි කබලක් රත් කරන්නට දරුවන්ට අණ කළේය.

තවත් දවසකට ගමන ඉස්සරහට ඇති වග වස්තුහාමිට සිහිපත් විය. ඔහු අයියනායක දෙවියන් සිතින් සිහිපත් කළේය.දැදුරු ඔය නිම්නයේ අයියනායක දෙයියන්නේ බල මහිමය පිළිබඳ කතා ඔහුගේ මනසේ තදින්ම ස්ථාපිතව තිබිණ. ගමන් වෙහෙසත් සමග වස්තුහාමි ඉක්මනින් තදින් නින්දට වැටිණ.

ඩිංගිරි අම්මා සිතින් ගණන් හදා බැලුවාය. ඉදිරියේ තව දින කිහිපයක් ඇයට සිතිණ. දෙයියන්නේ රටේ එය විමසා බැලිය නොයුතු බැව් ඇය දැන සිටියාය.මේ දින කිහිපය ඇතුළත ඇයට හීන්බණ්ඩා සිහිපත් වූ වාර අනන්තය.පවුලේ බඩ පිස්සා වූ හීන් බංඩා ලෙඩා දුකාය.හැන්දෑව වන විට හීන් බණ්ඩාගේ පපුවේ නැගෙන ගුරු ගුරුව පිටතට ඇසෙන තරම්ය.කන්නට දෙන්නට වුවමනා ද තෝරා බේරා ගෙනය.ඇය කාට කාටත් නෑසෙන්න හඬා වැටුණාය.කොහොමටත් හීන්බණ්ඩා පිළිබඳ වස්තුහාමි ගේ සිතේ ඇති කෝපය රහසක් ලෙස තබා ගන්නට ඇයට වුවමනාය.එබැවින් ඇය ඒ පිළිබඳ කතා නොකර සිටින්නට කැමැතිය.

ලබන සතියේ වස්තුහාමි ගේ මහ ගෙදරට කඩා වැදුණ අමුත්තිය