|
‘ගොළු හදවත’ ගීතය ලිව්වේ, හැදුවේ මමයි
සුනිල් පෙරේරාගේ බොරුවෙන් මට අසාධාරණයක් වුණා
රවී රණසිංහගෙන් චෝදනාවක්
‘ගොළු හදවත විවර කරන්න
මේ මියුරු ගීතය මුලින්ම අපේ සවන් යුග අද්දරට සමීප වූයේ ගුවන් විදුලියෙන්. ඒ 70 දශකයේ මුල් භාගයේ පමණ. එකල ප්‍රසංග වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණු ‘ගොළු හදවත’ කැසට් හා සී. ඩී. මාධ්‍යයෙන් ද රසික සිත් වැලඳ ගත් ගීයක්. ගීතය ගයන්නේ පෝල් ප්‍රනාන්දු බව නොදන්නා කෙනෙකු නැති තරම්. එදා මෙදාතුර ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට මේ ගීය ඔහුට සවිමත් අත්වැලක් වූ බව නිසැකයි.
එහෙත් මේ ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා ගැන දන්නේ කවුද? ඇත්තෙන්ම කිව්වොත් සැබෑ හිමිකරුවා. . .? අපි මොහොතක් සවන් දෙමු ඔහුට. මම නමින් රවි රණසිංහ. සමහර විට මේ නම ඔබ අසා තිබෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මෙහෙම කියන්නම් පෝල් ප්‍රනාන්දු ගැයූ ‘ගොළු හදවත’ ගීතය ලියා තනු නිර්මාණය කළේ මම. ඔබ කිසි දිනක පුවත්පත් ඡායාරූපයකින් පවා නොදුටු මේ නිහඬ, නිර්මාණශීලී මිනිසා එසේ පවසන්නේ ඉතාමත් නිහතමානීව. කොටින්ම කිව්වොත් මේ තමයි ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව.
වසර හතළිහක්, දිගු කාලයක්. ඒත් රවි රණසිංහ ඒ කාලය පුරාවටම කිසි දවසක මාධ්‍ය වෙත තමන්ව හඳුන්වා දෙන්නට හෝ පුරසාරම් දොඩවන්නට ගියේ නෑ. ඒ ඔහුගේ නිහතමානිකම නැතිනම් අහිංසකත්වය නොඑසේ නම් තමන්ව ‘මාර්කට්’ කර ගැනීමේ කලාව ඔහු නොදන්නා නිසාවෙන් විය හැකියි. ඒත් අද ඔහුට තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීමට සිදු වෙලා. ඒ ඇයි කියලා අපි ඔහුගෙන්ම අහමු. ‘සිරස’ සුපර් ස්ටාර් ගායන තරගාවලියේදී තරගකරුවෙක් මේ ගීතය ගයා තිබෙනවා. එදා මේ තරග විනිශ්චය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වෙලා තියෙන්නේ ‘ජිප්සීස්’ නායක සුනිල් පෙරේරා මහත්තයා. ‘ගොළු හදවත’ ගීතය ගයන්නේ පෝල් ප්‍රනාන්දු බවත්, එය රචනා කොට තනු නිර්මාණය කළේ ප්‍රියා පීරිස් බවත් එදා ඔහු පවසා තිබුණා.
‘පවසා තිබුණා’ කියන්නේ ඇයි ඔබ එම වැඩසටහන නැරැඹුවේ නැද්ද? ‘නැහැ. මගේ හිතවතුන්, පවුලේ උදවිය තමයි මට මේ ගැන දැනුම් දුන්නේ. හැබැයි පස්සේ දවසක් අහම්බෙන් මම දැක්කා ගීතය විකාශය වෙනවා. මුල් ගායනය පෝල් ප්‍රනාන්දු ලෙසත්, ගී පද හා තනු රචනය ප්‍රියා පීරිස් කියලත් තමයි එහි සඳහන් වෙන්නේ. නිර්මාණකරුවා හැටියට මේක මට ලොකු වේදනාවක්. සිත් තැවුලක් වුණා. ඒ නිසයි ‘සරසවිය’ පත්තරෙන් මේ ගැන රටටම කියන්න මම තීරණය කළේ. රටේ කෙතරම් මාධ්‍යය තිබුණත් රවී රණසිංහ මේ අවනඩුව, සිත්තැවුල රටට කියන්නට තෝරා ගත්තේ ‘සරසවිය’යි. ඒ ඔහු දිගුª කලක් පුරා ‘සරසවිය’ පාඨකයකු නිසා පමණක්ම නොවේ. ‘සරසවිය’ දේශයේ කලා පුවත්පත වූ නිසාවෙන්මයි. මගේ යාළු, මිත්‍රාදියෝ, අසල්වැසියෝ පවා මට කිව්වා මේකට එරෙහිව නඩු දාන්න කියලා. ඒත් මට එහෙම අවශ්‍යතාවක් නෑ. මට ඕනෑ මේක නිවැරැදි කරන්නයි.
‘සිරස’ රූපවාහිනියෙන් තවම ඒ යුතුකම ඉටු වුණේ නැද්ද? නෑ, මේ වෙනතුරුත් එය නිවැරැදි කරන්න ඔවුන් කටයුතු කර නෑ. ඒක කනගාටුවට කරුණක්. මොකද ගීත මහ විශාල ප්‍රමාණයක් අපට නෑනේ. තියෙන දෙක තුනටත් වෙන කෙනෙක්ගේ නම ඇඳුනොත් ඒක ලොකු අසාධාරණයක්. මම වෘත්තීය සංගීත ශිල්පිියෙක් හෝ ගී පද රචකයකු නෙවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියකු හැටියට වසර තිස් අටක් සේවය කරලා අද විශ්‍රාම සුවයෙන් පසුවෙනවා. දැන් මට වයස අවුරුදු 68 ක්.
එතකොට කොහොමද මේ සංගීතයත් එක්ක තිබෙන සම්බන්ධය. ඒ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරමු? මම කිසිම දවසක සංගීතය විෂයයක් හැටියට හදාරලා නෑ. නමුත් පුංචි දවස්වල ඉඳන් මගේ තිබුණා යම් සහජ හැකියාවක්. නිකං ඉවක් වගේ දෙයක්. ගීත ලියන්න, තනු හදන්න වගේම ගීත ගායනය කරන්නත් මට පුළුවන්. ඒත් අපේ හත්මුතු පරම්පරාවේත් සංගීතකාරයෙක් නෑ.
ඒ කාලේ ඔබේ ගායන හැකියාවන් විදහා පාන්න අවස්ථාවක් ලැබුණේ නැතිද? කටුබැද්දේ ‘ස්පැරෝස්’ කියලා පුංචි සංගීත කණ්ඩායමක් ඒ කාලේ තිබුණා. ඔය පොඩි, පොඩි එළිමහන් ප්‍රසංගවල මම තමයි නිවේදන කටයුතු කළේ. ඉඳල හිටලා ගීතත් ගායනා කරනවා. හැබැයි මම ගුවන් විදුලියේ ‘නවක මඬල’, ‘මැලිබන් ගුවන් තොටිල්ල’ වගේ වැඩසටහන්වලට නිතර, නිතර සහභාගි වෙනවා. ඒ ගිහින් ගායනා කරන්නේ මම ලියපු, මම හදපු ගීත.
ගීතයක් ලියන්න, එහෙම නැතිනම් ගයන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන කෙනෙකුට. නමුත් තනුවක් නිර්මාණය කිරීම එසේ කළ හැකි දෙයක් නෙවෙයි නේද? ඇත්ත, ඔබතුමා හරි. මම මුලිනුත් කිව්වා වගේ ‘ස, රි, ග, ම, ප, ධ, නි’ සප්ත ස්වරයන් දන්න කෙනෙක් නෙවෙයි මම. මේ අද වෙනතුරු කිසිම දවසක සංගීතඥයෙක් තනුවක් නිර්මාණය කරනවා මම දැකලා නෑ. ඒ අය ඒක කොහොම කරනවාද කියලා මම දන්නෙත් නැහැ.
ඔබ කොහොමද එය කරන්නේ? එක පාරක් ගීතයක් ඇහුවත් මතකයෙන් ඒක විසිල් කරන්න පුළුවන් හැකියාවක් මට පුංචි කාලේ ඉඳන්ම තිබුණා. ගෙදර ඉන්න කොට මේසෙට හරි පුටුවට හරි තට්ටු කර කර ඒ වෙලාවෙම තමයි මම වචන යොදන්නෙත්, තනුව සකසන්නෙත්.
ස්වර ඥානයක් නොමැතිව, ස්වර් ප්‍රස්ථාරගත නොකර කොහොමද ඒ ‘තනුව‘ ඔබ මතකයේ රඳවා ගන්නේ? මගේ හිතට තනුවක් ආපුවාම ඉබේම වචනත් හිතට නැගෙනවා. වචන ටික කොහේ හරි සටහන් කරගෙන ඒක බලාගෙන අර තනුව දහ, දොළොස් වතාවක් කිව්වම ඒක මතක හිටිනවා. ස්වර ඥානයක් නැතුවට මම අභියෝගයක් කරන්න වුණත් කැමැතියි කවුරු හරි පද මාලාවක් දුන්නොත් විනාඩි පහකින් මම තනුවක් නිර්මාණය කරලා පෙන්වනවා
‘එගොඩ ගොඩේ මල් නෙලනා රවීගේ ඉහත ප්‍රකාශයට කදිම නිදසුනක් මේ ගීතය. ‘ගොළු හදවත’ට පෙරාතුව ඔහු පෝල් ප්‍රනාන්දුට නිර්මාණය කර දුන්නේ ‘මල් එතනෝ’ ගීතයයි. සැබැවින්ම මේ ගීතය පෝල්ගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් ඒක වඩා නිවැරැදියි. පෝල් මගේ හැකියාව දැනගෙන හිටියා. ඔහු නිතරම ‘ගැමි’ ශෛලියට ගීතයක් හදලා දෙන්න කියලා මට කියනවා. දවසක් අපි යාළුවෝ කට්ටිය එක්ක ඉන්න වෙලාවක කටුබැද්දේ මල්ලිකා හෝටලයේදී මම මේසෙට තට්ටු කරමින් මේ ගීතය කිව්වා. ඒක අහපු පෝල් එකපාරටම කිව්වේ ‘අන්න මචං මට ඕනෑ සිංදුව’ කියලයි. මේසෙට තට්ටු කරමින් පෝල්ට එදාම මම ඒ ගීතය පුහුණු කළා. පස්සේ ගීතය පටිගත කළා. පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ‘බයිලා කුමාරයා’ හැටියට ප්‍රසිද්ධ වෙලා ඉඳපු පෝල්ගේ ගායන ශෛලිය එහෙම පිටින්ම කනපිට හැර වූ ගීතය එයයි.
හැබෑවටම කවුද ඒ මල් එතනා? ඒ ‘මල් එතනා’ මගේ හදේ ඇඳුණු රුවක්. හැබැයි පුංචි අත්දැකීමක් අනුසාරයෙන් තමයි මේ ගීතය මගේ අතින් රචනා වෙන්නේ. එක්තරා අවස්ථාවකදී මම ගියා ඥාතියකුගේ තුන් මාසේ දානෙකට, අම්බලන්ගොඩ පැත්තේ. දවස් කිහිපයක් මම එහේ නතර වෙලා හිටියා. ඒ පැත්තේ අය නාන්න යන්නේ වැවට. වැවේ ඕලු මල් පිරිලා, හරිම සුන්දරයි. දවසක් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් වැවට ගිහින් නාගෙන එද්දී, රේල් පාර දිගේ ගෑනු ළමයි කට්ටියක් නාලා යනවා. චීත්ත, හැට්ට ඇඳගෙන, උකුළු මුකුළු කරමින්, හරි සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඔවුන් ගියේ. මෙන්න මේ පුංචි සිදුවීම තමයි මට ‘මල් එතනෝ’ ගීතය ලියන්න පාදක වුණේ.
එදා ඔබ ‘ගොළු හදවත’ ගැන ගීත ලිව්වට, අද ගීී ලියැවෙන්නේ ‘මනමාල ඇස්වලටයි’, අරවටයි, මේවටයි. වර්තමාන පරම්පරාව ප්‍රේමය දකින්නේ වෙන විදිහකට. එදා වගේ සුන්දර ආදර සංකල්පනාවන් අද බිහි නොවන්නේ ඇයි? එදා තිබුණ සංස්කෘතියට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් අද රටේ ගොඩනැගිලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ රූපවාහිනි නාළිකා මඟින් තමයි මේ තත්ත්වය ඇති කළේ කියලයි පෞද්ගලිකව මම හිතන්නේ. විශේෂයෙන්ම ‘ගීතය’ සම්බන්ධයෙන්.
ඇයි එහෙම චෝදනා කරන්නේ? බොහෝ නාලිකාවල ජවනිකා ඇත්තෙන්ම ප්‍රේමාන්විත නෙවෙයි. රාගාන්විතයි, ශෘංගාර රසයෙන් ඔබ්බට ගිහිල්ලා. ගෑනු ළමයෙක් පෙන්නුවොත් පෙන්වන්නේ ආවරණය කරගත යුතුª තැන්වල ආසන්නම ප්‍රදේශ නිරාවරණය කරලා. අද රූප රචනා කියලා පෙන්වන්නේ මේවා. ටෙලි නාට්‍යවල පවා මේ ප්‍රවණතාව තිබෙනවා. ආදරයට වඩා අද තරුණ පරපුර ගීතයෙන් ඉස්මතු කරන්නේ රාගය. පද මාලාවලින් පවා. සංස්කෘතික හර පද්ධතීන් ගැන සිතනවා බොහොම අඩුයි. හැබැයි නවකයන්ගේ ඉතා හොඳ නිර්මාණත් අතරෙන් පතර නැතුවා නෙවෙයි. ඒත් වැඩිදුර තියෙන්නේ කඨෝර, හරසුන්, රාගන්විත ගීත.
|