|
කළුඑතනා දීග ගියාය
13 වැනි සියවසේ දඹදෙණිය රාජධානිය කර විසූ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිත ජනප්‍රවාද පාදක කොට ගෙන ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් ලියන ලද තිර නාටකය ඇසුරෙන් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි
කළුන්දෑවේ ගමරාළගේ ගෙදර රබන් වැයෙන්නට පටන් ගත්තේ අලුත් අවුරුද්ද ළංවුන නිසා නොවේ.කළු එතනා දීග යන නිසාය. ඇයගේ අත ගත්තේ විදානේ ගේ පුතනුවන්ය.පසුගිය දවස් වල නැම්බඹර කුඹුරු යාය සරුවට වැවිණ.ගමරාළ අප්පුවාගේ අත් ගුණය ගැන ගෙදර මායියා සමග කිහිප වතාවක්ම කියා පෑවේ කළු එතනා ඔහු හා මංගල්‍යයට මනාපයක් නොදැක්වීම පිළිබඳ හිත යටින් දුක් වෙමිනි.රෙදි නැන්දා දිගු කලකට පසු ගමරාළ ගේ ගෙදරට ආවේ එදාය. ඒ මංගල්‍යයේ පිරුවට සැකසීම ඇයට පැවරිණ.අප්පුවා සහ සිරිමල් එතනා මංගල්‍යයට පැමිණි නෑයන්ට බුලත් හෙප්පුව ඇල්ලුවේය.මේ මංගල්‍යයට වැඩියෙන්ම වෙහෙසවූවේ ද අප්පුවාය.ගමරාළ ට දැන් පෙර මෙන් දුව පැන ඇවිදින්නට නොහැක්කේය. ඒ දන හිසේ නිතර ඇති වන ඇවිලිල්ල නිසාය. සිරිමල් එතනා විදානේට බුලත් හෙප්පුව ඇල්ලුවෙන් ඔහු එයින් බුලත් කොලයක් ගෙන මුවේ රුවා ගත්තේය.ඒ කාලය ඇතුළත ඔහු සිරිමල් එතනාගේ රූපය හිතේ ඇඳ ගත්තේය. ‘දැන් ඉතිං සිරිමල් එතනාටත් කටයුත්තක් කතා කොරන්ඩ කාලෙ හරි” අනතුරුව ඔහු කියා සිටියේය. ‘කල දවස නම් හරි තමයි“ ගමරාළ ද කියාපෑවේය.අප්පුවාද විදානේට හෙප්පුව පෑමෙන් ඔහු එයින් ද බුලත් කොලයක් ගත්තේය. ‘විදානේ මාමාට දෝනියක් හිටියා නම් මට බලන්න තිබුනනේ” අප්පුවාගේ කතාවට එහි සිටි නෑයන්ට සිනහ ගිය ද විදානේ සිනහා නොවී බලා සිටියේය.විදානේගේ වෙනස ගමරාලට වැටහිණ. ‘ඕකා හොඳ විහිළුකාරයා” ගමරාළ පැවසුවේ විදානේ සංසුන් කරන්නටත් එක්කය. ‘මේකා උඹේ ගෙදර වැඩ කරන අප්පුවා නේද ?” විදානේ ඇසුවේ කෝපය එළි පිට දමන්නට මෙනි. ‘අපි ඔක්කොම ගෙවල් වල වැඩ කරන අයනේ “ ගමරාළ පැවසුවෙන් විදානේ නැගී සිටියේය.ගමරාළ ද ඔහු සමග නැගිට්ටේය. අනතුරුව විදානේ මිදුලට බැස්ස හෙයින් ගමරාළ ද ඔහු අනුගමනය කරමින් පැමිණියේය. මේ කරන වැඩේ හරි ද ගමරාළ මලේ ?” විදානේ ඇසුවේ තමා පසුපසින් එන අලුත් නෑයාට පමනක් ඇසෙන්නටය.විදානේ ගමරාළගේ වත් පොහොසත් කම ගැන ද හොඳීන් දැන උන්නේය. ‘ඇයි විදානේ අයියේ ?” ‘අපි උඹේ ලොකු එකී මයෙ කොල්ලට දීග දෙන්න හිතුවේ, උඹලත් අපි වගේ මේ පලාතේ වංසක්කාරයො හින්දා” විදානේ හා ගමරාළ එළිමහනට වී මේ කතාකරනුයේ කුමක්දැයි සොයන්නට විදානේගේ බිරින්දෑ ට වුවමනාවක් ඇති විය.මේ අල්ල පනල්ලේ රහසි ගත සාකච්ඡාව කවරෙක්දැයි විමසා බලන තෙක් ඇගේ ගැහැනු සිතට ඉවසීමක් නැති විය. ‘රෙදි නැන්දගෙ කොල්ලෙක් ගෙදර වැඩ කරන්ඩ ගත්තට කමක් නෑ.උඹ ඌට කොහොමද අපේ ඇඳුම් අන්දන්නේ” අප්පුවා ඇඳ සිටියේ ගමරාළට සමාන ඇඳුමකි.කාලයේ හැටියට එය මහ වාසලට ආරංචි වුවහොත් සෝලි වැටෙන්නට ද ඉඩ තිබේ.එය සතර වරිගයේ නෑයන්ටම බලපාන්නකි.විදානේ පෙන්වූයේ එයයි.සිය ආගන්තුක නෑයන් ඉදිරියේ පාච්චල් වන්නට ගමරාළ නොසිතුවත් මේ මොහොතේ නිහඬව ඉඳීම වැදගත් බව ඔහුට වැටහිණ.අප්පුවා යනු පිටස්තරයෙක් නොව තමාගේමයැයි සිතන්නට ගමරාළ පෙළඹවී ඇත්තේය.කවර ජන්මයක් ලැබුව ද පෙනුමෙන් ඔහු වැදගතෙකි.හැරත් පුතෙකු නැති ගෙයට පුතෙකු වූයේ ඔහුය.කුඹුරට එක්කා ගෙන යන්නට පිරිමි පුතෙකු පතමින් කී වාරයක් තමාත් බිරින්දෑත් දෙවියන්ට කන්නලව් කළේ ද දන්නේ තමන් පමණකි.වෙනත් පවුල් වල ළමයින් දහය දොළහ වදද්දී තමන්ට ඉරණමෙන් ලැබුණේ දියනියන් දෙදෙනෙකි.එකෙකු වත් නැති ව හූල්ලන ගෙවල් සිටින රටේ දියනියන් දෙදෙනෙක් වත් ලැබීම ගැන අන්තිමට ගමරාළ හිත හදා ගන්නට තීරණය කළේය.ඒ අතර වාරයේ කොහේදෝ සිට පැමිණි අප්පුවා තමන්ගේ දරුවකු ව සිටියි. ඒ තමන් දෙවියන්ගෙන් ඉල්ලු දෙයම විය යුතුයි. විදානේ ගේ බිරින්දෑ සිය සැමියා අස් වසා ගෙට ගෙන යන්නට තැත් කළ ද එය පහසු කටයුත්තක් නොවිණ. ‘අනිත් එක ඒකා දැක්කද මට කිව්ව කතාව.මට දෝනියක් හිටියා නම් ඌට කතා කරන්න.” විදානේ කෙල ගැසුවේ කතාව පිළිකුල් කරන්නට මෙනි. “යකෝ රෙදි හෝදන එවුන් විහිළුවටත් අපට කියන කතාවක් ද ඒක.අපියි උන්ගෙයි මොන පයිරුපාසා නම් ද ?” ගමරාළ විදානේ සැනසීමට මෙන් නොඋස් හඬින් කතා කළේය. “කවුද ඔය රෙදි නැන්දගෙ කතාව කිව්වේ ?” “මොකාද නොකියන්නේ.කතාව ඇත්ත නම් මේ දීගෙන් කමක් නෑ. අපේ කොල්ලව මං එක්කන් යාවි” ගමරාළ ට ද එවර තරමක් කේන්ති ගියේය. “ආං ඉන්නවා රෙදි නැන්දා උඹම ගිහින් අහපංකෝ.ආයෙ එක එකාගෙන් අහන්න ඕනැයැ’ ගමරාළ පැවසුවේ කතාව කෙලවරක් කිරිමේ අදහසිනි. විදානේ ගෙතුළට ගියේ වේගයෙනි.රෙදි නැන්දා මඟුල් මේසය සුදු රෙදි වලින් වසමින් උන්නාය.වියන් බැන්දේ හේ?න මාමාය. “කොයි බොල හැඩිපන්නල රෙදි නැන්දා” විදානේ ඇසුවේ උස් හඬිනි.ඇය රෙදි පිරුවටය හේන මාමා ට දී විදානේ ළඟට ඇවිත් දන නමා වැන්දාය. “උඹ මට ඇත්ත කියන්න ඕනා” රෙදි නැන්දා බියපත්ව වට පිට බැලුවාය. ‘කියාපං මේ ගෙදර වැඩ කරන අර අප්පුවා කොල්ලා උඔ කොහෙන්ද එක්ක ආවේ.උගේ අප්ප කවුද ?” ඇය තතනමින් වට පිට බැලුවාය.ඇයගේ මුවින් පිටවන්නේ ගොර හඬක් විනා තේරුම් ගත හැකි වචනයක් නොවේ. “මුන්දැට කතා කරන්ඩ බෑනේ නිලමේ.දිස්ටියක් වැහිලා.” ගැමියෙක් විදානේට සිහිපත් කළේය.විදානේ සියල්ල දවා අළු කරන සුලු බැල්මක් හෙලා එතැනින් පිටව ගියේය. මංගල්ලයට බාධාවක් නොවීම ගැන ගමරාළ යුවලම සිත යටින් දෙවියන්ට පින් දුන්නාහ.ගමේ හැමෝටම මංගල්‍යයට ආරාධනා කරන්නට ගමරාළ තීරණය කළේය.එකක් විදානේ රාළ යනු රටේ හයි හත්තිය ඇති පවුලක් වීම නිසා තම පිරිවර පෙන්විය යුතු බැවිනි.අනික් ඉස් ඉස්සෙල්ලා මූණ දුටු කෙල්ල වූ බැවින් ජයට මගුල් කෑ යුතුයි දෙන්න දෙමහල්ලෝම නිහඬව ගිවිස ගත්තා වැන්න. ගමේ බොහෝ දෙනා නික්ම ගිය පසු ගමරාළට පාළුවක් දැනිණ.තව දුරටත් කළු එතනා ගේ හඬ නිරන්තරයෙන් අසන්නට නොලැබෙන්නේය. හාමිනේ තවත් ගැහැනියකගේ සහ සිරිමල් එතනා ගේ ද උදව්වවෙන් සියල්ල අස් පස් කළාය.අප්පුවා පුරුදු පරිදි කුඹුරට ගෑටුවේය.මොන තරම් මහන්සි වුව ද ඇස් වහක් හෝවහක් නැත.ඔහුට වෙහෙසක් නොදැනෙන ගාණය. ගමරාළ ගොක්කොළ සැරසිල්ලක් දෙස බලමින් වාඩිවූයේය. ඒ හැන්දෑවේ වහින්නට ගත්තේය.අනෝරාවට වහින්නා මෙන් එය ටික දවසක් ඇදී ගියේය.මිනිසුන් පිල්කඩ උඩ වාඩිවෙමින් මිදුල්පුරා ගලන වතුර දෙස බලා සිටියහ.අනතුරුව අහස දෙස බලා සුසුම් ලෑහ.වැව පිරී ගියේය.ගඟ උතුරා ගැලුවේය.ඒ අතරවාරයේ අගනුවර බොහෝ දේ සිදුවිණ. සංඝරාජ නායක හාමුදුරුවන් උදෑසන පාතරාසය වළඳා අවසන මිදුළට වැඩියේය.අනුනායක හිමිපානන් සංඝරාජ හිමාපානන්ගේ වෘතයට බාධා කළේය.උන් වහන්සේ සංඝරාජ හිමිපානන් වැඳ සැළ කරන්නට මුල පිරුවේ අසුබ පුවතකි “අපේ නායක හාමුදුරුවනේ අසුබ ආරංචියක්“ සංඝරාජ හිමිපානන් කලබල වූයේ නැත.උන් වහන්සේ කතා කළේ දිවැස් හිමි ව්‍යක්තධාරියකු ලෙසය. “මම දැන හිටියා අපේ විජයබා රජ්ජුරුවන්ගේ ගෙනාපු ආයුෂ අදින් අවසන් වන වග“ අනුනායක හිමිපානන් කිසිවක් පැවසුවේ නැත.උදෑසන සිටම සංඝරාජ හිමිපානන්ගේ සිතට මොකක්දෝ විපත්තියක ලකුණු පෙනිණ.පසුගිය දවස් කිහිපයේම උන් වහන්සේට අසුබ නිමිති කිහිපයක් පෙනිණ. එමෙන්ම අහසේ තරු ගමන් කළ ආකාරය ද උන් වහන්සේ බලා සිටියේය.මහ විපත්තියක් අත ළඟ බැව් උන් වහන්සේ දැන සිටියේය. විජයබා රජුගේ කේන්දරයේ ද මාරක අපල කිහිපයක් තිබිණ. “අග බිසොවුන් වහන්සේට ඔබ වහන්සේට කතා කිරීමට අවශ්‍ය බැව් දන්වා එවා තිබෙනවා” අනු නායක හිමිපානන් ඉන් එහා වචනයක් වත් නොකියා නිහඬවූ බැව් වැටහුණු සංඝරාජ හිමිපානන් ‘ඉතින් ‘ යැයි විතාළේය. ‘බිසව බැහැ දැකීමට මා මාලිගාවට යනවා නොව මා බැහැ දැකීමට බිසව පැමිණිය යුතු බැව් දන්වා යවන්න.” සංඝරාජ හිමිපානන් ගුගුලේය. ‘යෝනක බිසව කොහොමද බෞද්ධ සිරිත් දන්නේ”සංඝරාජ හිමිපානන් පැවසුවේ මදක් නිවුණු ස්වරයෙනි.කාලිංඝ මාඝ ගෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගන්නට නොහැකි වුවත් විජයබා රජු සතුරාට එරෙහිව මහා සටනක් ගෙන ගිය බැවින් සංඝරාජ හිමිපානන් රජුට මහත් ඇල්මක් දැක්වූයේය.එහෙත් රජුගේ යෝනක බිසව නිසා රට වැසි බොහෝ දෙනා මෙන්ම හිමියන් ද ඇතැම් ක්‍රියා කලාප අනුමත කළේ නැත. රට නිදහස් කර ගැනීමේ දී විජයබා රජු මහත් වැඩ කොටසක් කළේය. ඔහු රාජකීය උරුමයක් සහිත වුව ද එයට පෙර රජකම් කළ වෙනත් රාජකීයන් මෙන් පරම්පරාගත ව කිරුළ ට උරුම නම් කීවෙකු නොවේ. රාජ උරුමය ඇත්තන් සතුරා හමුවේ යුද වැද නොහී වල් වැදුණ පසු විජයබා කුමරු පිරිවර සකසා යුද වැදුණේ මායා රට සිටය.අනතුරුව ඔහු පොළොන්නරුව හැර සෙසු බොහෝ කෙටස් නිදහස් කර ගත්තේය.එපමනක් නොව සිංහල රාජ වංශයේ උරුමය කියාපාන සංකේතය වූ දළදා හිමිපානන් කෑගල්ලට නුදුරු බෙලිගලට වඩමවා විශේෂ ආරක්ෂාව ඇතිව ගෞරව දැක්වීම ද රජු කටයුතු කළේය. රටේ තත්ත්වය අනුව දළදා හිමියන් දඹදෙණියට ද වැඩම කරවා පෙරහැර කරන්නට ද රජු සමත් විය.
එම නිසා විජයබා රජ්ජුරුවන්ට ජනතාවගේ ගෞරවය හිමිව තිබිණ.විජයබා රජු අතට පත් කරන තුරු දළදා හිමියන් රුහුණේ සඟවා තබන්නට මහ තෙරුන් ප්‍රමුඛ සිංහලයන් සමත්වූහ.එහෙත් අස්සැද්දුම නම් ගම්මානයේ ජිවත් වූ යෝනක කාන්තාව අග බිසව වී බලවත් වීමත් සමග ඇගේ නෑයන් මාලිගය ඇතුළත ද වඩා බලවත් විය.රටේ ධනවත්ම පාර්ශවය ලෙස වැජඹෙන්නට ද ඔවුනට වැඩි කලක් ගත නොවිණ. සංඝරාජ හිමිපානන් වැඩ සිටි පුදබිමට රාජ පුරුෂයෙන් පැමිණියේ එකවරමය.ඒ වන විට ඉර අවරට ගොසින් හෝරා දෙකක් වත් ගෙවී ගොසිණ.දෝලාවක් ඔසවා ගෙන පැමිණි රාජ පුරුෂයන් සිව් දෙනෙකු එය විහාර බිමෙහි තැබූහ. එහි වට කොට තිබූ සළු විවර කළේ සේවිකාවකි.අනතුරුව අග බිසව බිමට බැස්සාය. ඒ මොහොතේ සංඝරාජ හිමිපානන් වැඩ සිටියේ සිය අසුනේය.අග බිසව රාජ පුරුෂයන් පිරිවරා එහි ඇතුළු වූවාය.නායක හිමිපානන් අසලට ගිය බිසව උන් වහන්සේට නමස්කාර නොකළාය.ඒ වෙනුවට ඇය තැත් කළේ අසල අසුනක වාඩි වන්නටය.එහෙත් හිමි නමක් එය නැවැත්වුවේය. ‘නායක හාමුදුරුවන්ට පළමුව වැඳ නමස්කාර කළ යුතුයි” ‘බිසව දන නොනමා හිස පාත් කළාය.අනු නායක හිමිපානන් ඇයට මිටි අසුනක් පෙන්වූවාය.එහෙත් එදෙස ඇය බැලුවේ නොපහන් සිතකිනි. තමා අග බිසව බැවින් එබඳු පහල අසුනක් නොවටින්නේ යැයි ඇයට සිතිණ. ‘මම මහ රජතුමාගේ බිසව“ ඇය සිහිපත් කරන්නට මෙන් පැවසුවාය. ‘අපි එය දනිමු දේවිය’ අනුනායක හිමියන් වදාළේය.බිසව අසුන දෙස බැලුවේ තමන්ට කළ මදි පුංචි කමක් යැයි සිතා ගෙනය.තමා අග බිසව නම් තමන්ට ඉහල අසුනක් හිමි විය යුතුය.ඈ සිතුවේ එහෙමය.එබැවින් ඇය සිට ගෙනම කතා කරන්නට සිතා ගත්තාය. ‘මින් පෙර බෞද්ධ සිද්ධස්ථානයකට පැමිණ නැති අග බිසව බෞද්ධ සිරිත් විරිත් දැන නොසිටීම පුදුමයට කාරණයක් නොවේ.” සංඝ නායක හිමිපානන් පැවසුවේ අවවාදයක ස්වරයෙනි. ‘ඔබ තුමිය පැමිණි කාරණාව“ ‘වත්හිමි කුමාරයාගේ අභිෂේක මංගල්‍යය ගැන සංඝරාජ හාමුදුවන් එක්ක කතා කළ යුතු වග ඇමැතිවරු පැවසුවා” අග බිසව පැවසුවාය.වත්හිමි යනු ඇයට රජුගෙන් ලැබුණු කුමරුය. ඇගේ එකම පැතුම වූයේ වත්හිමිකුමරු රජ වනු දකින්නටය.පැරකුම් කුමරුට මාලිගය හැර යන්නට සිදුවූයේ ද එබැවිනි.ඇය ඇඳ සිටියේ කනවැන්දුම් ස්ත්‍රියකට සුදුසු ඇඳුමක් නොවේයැයි හිමියනට සිතිණ.පුජනීය බිමකට එන විට මෙයට වඩා සංවරව ඇඳීය යුතු වග කියා නොදීමෙන් මහ රජු කර ඇත්තේ ද වරදකි. “ඇමැතිවරුන් තිරණය කළාද වත්හිමි කුමාරයා අභිෂේක කළ යුතු වග“ සංඝරාජ හිමිපානන් ඇසුවේය. මේ වන වට ඇමැති මණ්ඩලයේ බොහෝ ඇමැතිවරු වත්හිමි කුමරුට ණය වී ඇති වග රට්ටුන්ට රහසක් නොවීය.එබැවින් වත්හිමි වෙනුවෙන් අත ඔසවන්නට බොහෝ ඇමැති වරුන්ට සිදු වනු ඇත. ‘ඇමැති මණ්ඩලය නෙවේ.මහ රජතුමාගේ තීරණයක්” බිසව පැවසුවේ තවත් ඒ ගැන විමසිය යුතු නැතැයි යන හැඟීමෙනි. ‘මේ රටේ රජකම බාර ගන්නට නම් දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වය හිමි විය යුතුයි.බෞද්ධයකු නොවී දළදා හාමුදුරුවන්ගේ භාරකාරිත්වය ගන්නේ කොහොමද ?” සංඝරාජ හිමිපානන් ප්‍රශ්ණ කළේය.වත්හිමි කුමාරයාගේ ඇතැම් කටයුතු පිළිබඳ බොහෝ කාරණා සංඝරාජ හිමිපානන් වෙතට ද සැල වී තිබිණ. රජතුමාගේ පැරකුම් කුමරුට සිදුවූ දෙය ද අබිරහසකි. බිසව යන්නට සැරසුනාය. “ඊළග රජතුමා පත් කිරීමේ බලය ඇත්තේ මට විනා භික්ෂුන් වහන්සේලාට නොවන වග මතක තබා ගත්තොත් හොඳයි” ඇය පැවසුවේ සංඝරාජ හිමිපාන්නට අනතුරු අඟවන විලාසයෙනි.නාහිමිපානන් උපහාසාත්මක සිනහවක් නගා ගනිමින් කට පුරා පිරි බුලත් හපයක් අසල වූ පඩික්කමට හෙලුවේය. රජු ගේ අවසන් කටයුතු සිදුවනවාත් සමග වත්හිමි කුමරු ලංකාවේ රජු ලෙස අබිසෙස් ලැබුවේය.රජු ගේ අවමංගල්‍යයට වැඩම කළ මහ තෙර වරු එයින් පසු පැවැත්වූ නව රජුගේ අභිෂේක මංගල්‍යයට සහභාගි නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහෙත් කිසිවකු හෝ ඒගැන ප්‍රසිද්ධියේ කියන්නට මැළි වූහ.විජයබා රජු විසින් යුද්ධ කොට ලබා ගත් ජයග්‍රහණ රටට යළි අහිමිවෙතැයි ඇතැම්හු කසු කුසු ගෑහ.
ලබන සතියේ අවසන් කොටස |