|
මා ‘නිධානය’ දෙස බලන්නේ ආඩම්බරයෙන් සහ අභිමානයෙන්මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් අතීත ආවර්ජනයක
දේශීය සිනමාවට අඩ සියවසක් සපිරීම නිමිත්තෙන් මෙරට විචාරකයන් විසින් තෝරා ගත් හොඳම චිත්‍රපට දහය අතුරෙන් ප්‍රමුඛස්ථානය හිමි වූයේ ‘නිධානය’ටය. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අද්විතීයම චිත්‍රපටය පමණක් නොව ලාංකේය සිනමාවේ විශිෂ්ටතම සිනමා කෘතිය ද වේ. ජී. බී. සේනානායකගේ කෙටි කතාවක් ඇසුරෙන් තිස්ස අබේසේකර තිර රචනා කළ ‘නිධානය’ මුලින්ම තිරගත වූයේ 1972. 02. 03 වැනි දිනය. එය ලාංකේය සිනමා වංශයේ 241 වැනි චිත්‍රපටයයි. එම වසරේම වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රජත සිංහ සම්මානය (Silver Lion of St.mark) ‘නිධානය’ට හිමි වීම එහි විශිෂ්ටත්වයට කදිම නිදසුනකි. 70 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල එළැඹෙන අගෝස්තුවේදී පැවැත්වීමට නියමිතය. එහි ප්‍රදර්ශනය සඳහා ආසියාතික චිත්‍රපට අතුරෙන් ‘නිධානය’ ද තෝරා ගෙන තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හතළිස් වසකට පෙරාතුව ‘නිධානය’ හා ඊට පසුබිම් වූ අතීත මතකයන් යළි අවදි කරන්නට අප හා එක් වූයේ ඒ වෙනුවෙනි.
* මෙවර වැනිස් චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය සදහා ‘නිධානය’ තෝරාගෙන තිබෙනවා. වසර හතළිහකට පෙර එම සිනමා උළෙලේදීම ඔබේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. ඒ අතීතය මතකද? එදා මේ චිත්‍රපට උළෙලේ ‘නිධානය’ චිත්‍රපටයට Silver Lion සම්මානය හිමි වුණේ තරගකාරී නොවන අංශයෙන් අවසන් වටයට තෝරා ගෙන තිබූ චිත්‍රපට දාහතරක් අතරෙන්. ඒක මගේ සිනමා ජීවිතයේ අමරණීය මතකයක්.
* කොහොමද ‘නිධානය’ට ඒ සිනමා උළෙල නියෝජනය සඳහා අවස්ථාව ලැබෙන්නේ? වැනිස් චිත්‍රපට උළෙලේ සංවිධායක කමිටුව මඟින් ආසියාතික රටවල් කිහිපයයකට මම හිතන්නේ ඔවුන්ගේ නියෝජිතයන් පිටත් කළා, චිත්‍රපට තෝරන්න. ඉතින් එක් කෙනෙක් මෙහාටත් ආවා. ‘නිධානය’ දැකලා ඒක තෝරා ගත්තා ‘වැනිස්’ ෆෙස්ටිවල් එකට. එහෙමයි ‘නිධානය’ එහෙට ගියේ. Golden Lion තමයි මේ සම්මාන උළෙලේ ප්‍රධානම සම්මානය. ඒක හිමි වුණේ චාලි චැප්ලින්ට. ඔහුගේ චිත්‍රපටයකට නෙවේ. මේ සම්මානය හිමි වුණේ සිනමා කලාවට සිදු කළ මෙහෙවර වෙනුවෙන්. චැප්ලින් කියන්නේ සිනමාවත් එක්කම ජීවත්වුණ කෙනෙක්. නිහඬ සිනමාවෙන් පටන් අරන් ඔහු ගැඹුරු චිත්‍රපටත් හැදුවා. ‘ද ග්‍රේට් ඩික්ටේටර්’, ‘මෙෂියර් වර්ඩු’ වැනි විශිෂ්ට චිත්‍රපට.
* එදා චැප්ලින් එක්ක කතාබස් කරන්න ඔබට අවස්ථාවක් ලැබුණාද? අවෝඩ්ස් දෙන දවසේ අපි ඔක්කොම ස්ටේජ් එකට කැෙඳව්වා. සාමාන්‍යයෙන් එහෙමනෙ වෙන්නේ. චාලි චැප්ලින්ට Golden Lion සම්මානය දෙන්න ඒ වෙනකොටත් එයාලා තීරණය කරලයි තිබුණේ. ඒ සම්මානය දෙන්න ඉතාලි ජනාධිපතිගේ නෝනාම ඇවිත් හිටියා. අන්තිමේ අපි ඔක්කෝටම සම්මාන දුන්නේ ඒ නෝනා තමයි. චැප්ලින්ගේ නම කියලා වේදිකාවට කතා කළා. එයාට ඇවිදින්න බෑ. ඒ තරමට වයසයි. ගාඩ්ස්ලා දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ආවේ. බොහොම අමාරුවෙන් ඉදිරියට එක්කරගෙන ආවා. තුන්දහසක් විතර හිටපු ප්‍රේක්ෂකයෝ සේරම නැගිට්ටා. ඔක්කොම නැගිටලා කෑ ගගහා කිව්වා speech, speech, speech කියලා. කතාවක් පවත්වන්න කිව්වට මේ මිනිහට ඇවිදින්නත් බෑ.
* චැප්ලින්ගේ වයස එතකොට කීයක් විතර ඇතිද? මට හරියටම කියන්න බෑ. මම හිතන්නේ අවුරුදු අනූවක් විතර. ඇවිදින්නත් බෑ, කතා කරන්නත් බෑ. දැන් සේරම නැගිටලා කෑ ගහනවා ඵනඥඥජඩ කියලා. මෙයා එකපාරටම අඬන්න පටන් ගත්තා. කඳුළු වැගිරෙනවා. කොහොම හරි දැන් චැප්ලින්ට අර සම්මානය දුන්නා. ඒක මහා විශාල එකක්. ඔහුට තියා මටවත් උස්සන්න බෑ. අර ගා(ර්)ඩ් කෙනෙක් ඒක ගත්තා එක අතකට. චැප්ලින් වචනයක්වත් කතා කළේ නෑ. ඇඬුවා විතරයි. ඒ මොහොත මට කවදාකවත් අමතක වෙන්නේ නෑ. හරිම සංවේදී, හැඟුම්බර අවස්ථාවක්.
* ‘නිධානය’ චිත්‍රපටයේ ‘නිධාන’ කතාවත් මේ මොහොතේ අපි සිහිපත් කරමු? ‘සිලෝන් ස්ටුඩියෝ’ සමාගමත් එක්ක මම ගිවිසුම් අත්සන් කරලා තිබුණා චිත්‍රපට තුනක් කරන්න. හැබැයි කොන්දේසියක් තිබුණා, චිත්‍රපටයෙන් චිත්‍රපටයට තමයි ඒගොල්ල මුදල් අයෝජනය කරන්නේ. අඩු ගානේ කොස්ට් එක හරි කවර් කරන්න ඕනෑ. වියදම් කරපු මුදල ආපහු ආවොත් ඇති. ‘ගොළු හදවත’ත් එක්ක තමයි අපි පටන් ගත්තේ. ‘ගොළු හදවත’ ඉවර කරලා සිලෝන් ස්ටුඩියෝ ඩිරෙක්ටර් බෝඩ් එකට මේක පෙන්නුවා. ඒ බෝඩ් එකේ චෙයා(ර්)මන් ර්ප වීරසූරිය. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ නීතිඥයෙක්. එයත් ආවා. ඩිරෙක්ට්ට(ර්)ස්ලාත් ආවා. ‘ගොළු හදවත’ බැලුවා.
අපේ ස්්ටුඩියෝ එක බංකොළොත් වෙන්නයි යන්නේ. මේ චිත්‍රපටයෙන් ඒක ගලවාගන්න බෑ කිව්වා. මම හිතන්නේ ඩිරෙක්ටර්ස්ලා හතර දෙනෙක් විතර උන්නා. බර්නාඩ් සොයිසා මහත්තයාත් එක්කෙනෙක්. ඔහු ඒ කාලේ මන්ත්‍රීවරයෙක්. ඉතිං මේගොල්ල කීවා ‘මේක නම් හරි යන්නේ නෑ, තියෙන සල්ලිත් නැති වෙන්නයි යන්නේ’ කියලා. මොකද මේ චිත්‍රපටයේ එකම කතන්දරයක් දෙසැරයක් කියවෙනවා. ඒගොල්ල කිව්වා මේකෙ කිසිම රසයක් නෑ, අයින් කරන්න බැරිද දෙවැනි කතාව කියලා. ඒ කියන්නේ දම්මිගේ කතාව. ඒක තමයි ඔක්කොටම වඩා වැදගත්. එතකොට බර්නාඩ් සොයිසා කීවා ‘අයිසේ, ඒක අයින් කෙරුවොත් මේ චිත්‍රපටයේ කිසි හරයක්, අදහසක් නෑනේ’ කියලා.
* නමුත් චිත්‍රපටයේ කොටසක්, දෙකක් කපලා දාන්න වුණා නේද? ඒ අය ඇහුවා මිනිත්තු දහයක් විතරවත් මේකෙන් අඩු කරන්න බැරි ද කියලා. එතකොට සුමිත්‍රා තමයි ෆිල්ම් ඒකේ සංස්කරණය. අපි දෙන්නා කතා වුණා මේකෙන් මිනිත්තුවක් විතර කපමු, කැපුවයි කියලා කියන්න. ඊට පස්සේ ප්‍රදර්ශනයට ඔවුන් එකඟ වුණා. චිත්‍රපටය දිව්වා, දිව්වා, දිව්වා. මුළු අවුරුද්දක්ම දිව්වා. අපිටත් පුදුමයි. ඇයි ඒ කාලේ ජනප්‍රිය තරුත් නෙවෙයිනේ මේ චිත්‍රපටයේ හිටියේ. සුගත්ගේ චරිතයට වික්‍රම බෝගොඩ ගත්තා කියලත් මම හොඳටම බැණුම් ඇහුවා. නමුත් ඒ රෝල් එකට හරි යන්නේ මිනිහා.
* ඒ සාර්ථකත්වයත් සමඟ දෙවැනි චිත්‍රපටයටත් අවස්ථාව සැලසුණා? ඔව්, ඒක ‘අක්කර පහ’ චිත්‍රපටය. ටිකක් කල් ගත වුණා ඒකේ වැඩ පටන් ගන්න. ඒකේ ප්‍රධාන චරිතයට මම තෝරා ගත්තේ මිල්ටන් ජයවර්ධන. දැන් කාස්ට් එක තෝරලා ඉවරයි. දවසක් උස, කඩවසම් හාදයෙක් මෝටර් සයිකලයකින් මාව හමුවෙන්න ආවා. ඇවිත් ඉඳගෙන මට කතා කරලා කිව්වා ‘Mr පීරිස් මම හරි ආසයි චිත්‍රපටයක රඟපාන්න. ඒත් තවම චාන්ස් එකක් ලැබුණේ නෑ, මම මේ පොලීසියට බැෙඳන්නයි ඉන්නේ, ඊට ඉස්සර වෙලා මම ආසයි රඟපාන්න’කියලා. දැක්ක හැටියෙම මම දැනගත්තා මෙයාගේ ‘ස්ටාර් වැලියු’ එකක් තියෙනවා කියලා. ඉතින් මම කිව්වා ‘මම මිල්ටන් ජයවර්ධන ඒ රෝල් එකට දැන් තෝරගෙනයි ඉන්නේ. ඔයා මීට ඉස්සෙල්ලා ආවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ, ඔයාව තෝරා ගන්නවා’ එහෙම කියලා මම කනගාටුව ප්‍රකාශ කළා. ඒ තමයි විජය කුමාරණතුංග.
* ‘අක්කර පහටත් යම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා? මම හිතන්නේ’අක්කර පහත් පාඩු වුණේ නෑ. ඊට පස්සේ තුන්වැනි චිත්‍රපටය හැටියට තමයි ‘නිධානය’ එන්නේ. සිලෝන් ස්ටුඩියෝ සභාපති වීරසූරිය මහත්තයා දවසක් මට කිව්වා ‘ඔය බහිරව කන්ද වගේ කතාවල් තියෙනවා, යක්කු එනවා, මිනිස්සු ගෙනි යනවා, මරනවා. අන්න ඒ වගේ කතාවක් කරමු ද කියලා. ඕක මගේ හිතට ඇල්ලුවා. නමුත් ඒකට හරියන කතාවක් ලැබිලා තිබුණේ නැහැ. එතකොට බෙනඩික්ට් දොඩම්පෙගම මට කිව්වා ඇයි කෙටි කතා තුනකින් චිත්‍රපටයක් කරන්නේ නැත්තේ කියලා. එහෙම කෙටි කතා තුනකින් ‘තෙවත’ කියන චිත්‍රපටය හදලා ටයිටස් තොටවත්ත ඒක අසාර්ථක වුණා. අපේ මිනිසුන්ට ඕනෑ එක චිත්‍රපටයක් බලන්නනේ.
* පස්සේ දොඩම්පෙගම මහත්තයාම තමයි ඔබට ‘නිධානය’ ගැන ඔත්තුව දුන්නෙත්? ඔව්, ජී. බී. සේනානායක ලියපු එහෙම කෙටි කකාවක් තියෙනවා ‘නිධානය’ කියලා. හැබැයි ඒක පිටුපහක කෙටි කතාවක්, ඒකෙන් මොකක් හරි කරන්න පුළුවන් නම් ඒක හරි යයි කියලා ඔහු කිව්වා. ඒ අදහස කිව්වම ‘සිලෝන් ස්ටුඩියෝ’ එකෙන් අපට දැනුම් දුන්නා, ‘සිනොප්සිස්’ එකක් ලියන්න කියලා. ඒක අමාරු වැඩක්. ඊට පස්සේ තිස්සයි, මායි එකතුªවෙලා නිකං ‘අවුට් ලයින්’ එකක් වගේ දුන්නා. ඒක පාස් වුණා. එකෙන් තමයි ‘නිධානය’පටන් ගත්තේ.
* ‘විලී අබේනායක’ගේ චරිතයට ගාමිණී ෆොන්සේකාත්, ‘අයිරින්’ගේ චරිතයට මාලිනී ෆොන්සේකාත් තෝරා ගන්නවා ඔබ. මා දන්නා තරමින් ගාමිණී, මාලිනී ප්‍රථම වරට ප්‍රධාන චරිත රඟපාන්නේ ‘නිධානය’ චිත්‍රපටයේ? ඒක මට හරියටම මතක නෑ. ගාමිණී එතකොට සංදේශය, ගම්පෙරළිය වගේ මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තිබුණා. මාලිනී ‘අක්කර පහ’ චිත්‍රපටයේ පොඩි කොටසක් කරලා තිබුණා. චිත්‍රපටයේ තිර රචනය ලියන කොට මම හිතුවා මාලිනීට ‘අයිරින්’ගේ චරිතය හොඳට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කාලේ ගාමිණී හරියට ජනප්‍රියයි. අල්ල ගන්න බෑ. මාලිනීටත් චිත්‍රපට සෑහෙන්න තිබුණා. දෙන්නගෙන් දින ගන්න එක මට විශාල ප්‍රශ්නයක් වුණා. දෙන්නම එකට ගන්න හරිම අමාරු වුණා. මාසෙකට දවස් පහක් හයක් විතර තමයි ඔවුන් එක්ක රූගත කිරීම් කරන්න වුණේ. මාස නවයක් ගියා චිත්‍රපටය රූගත කරන්න. මම හිතන්නේ දෙන්නම ඒ කාලේ වැඩිපුරම රඟපෑවේ වාණිජ චිත්‍රපටවල. එහෙම කාලෙක තමයි නිධානයේ රඟපෑවේ.
* නමුත් ගාමිණී, මාලිනී ‘නිධානය’ට විශිෂ්ට රංගන දායකත්වයක් ලබා දුන්නා? ඔව්. ඔවුන් විශිෂ්ට විදියට රඟපෑවා. මට ගාමිණී දවසක් කිව්වා, මේ චිත්‍රපටයට දිගටම දින දෙන්න බැරි එක ගැන එයා කනගාටු වෙනවයි කියලා. නමුත් සෙට් එකට මාසෙකින් ආවත් අර ‘කන්ටිනිව්ටි’ ඒ විදිහමයි. මාලිනිත් එහෙමයි. ඒ අතින් ඒ දෙන්නම ශ්‍රේෂ්ඨයි. අද කාලේ කවුරුවත් ඒ වගේ කරන්නේ නෑ. රාජගිරියේ ඔබේසේකර වලව්වේ තමයි වැඩි හරියක් රූපගත කළේ. එළිමහන් දර්ශන ඔක්කොම කළේ දඹුල්ල පැත්තේ. ස්ටුඩියෝ එකෙත් රූගත කිරීම් කළා මතකයි.
* මම හිතන්නේ මාලිනී ෆොන්සේකාගේ රංගන හැකියාව වගේම තවත් සුවිශේෂී කරුණක් තිබුණා ඇය ඒ චරිතයට තෝරා ගන්න? කතාවේ හැටියට අයිරින්ගේ නිකටේත්, ගෙලේත් උපන් ලප පහක් තියෙනවා. එහෙම කෙනෙක් හමු වුණොත් තමයි ‘විලී’ ට අර ‘නිධානය’ ගන්න ලැබෙන්නේ. පුදුමේ කියන්නේ මාලිනීගේත් ඒ විදිහටම උපන් ලප තිබුණා. නිකටේ එකයි ගෙල ප්‍රදේශයේ හතරයි. කවුරුත් විශ්වාස කළෙත් නෑ ඒක. පුදුමෙනුත් පුදුමයි ඒ පිහිටීමනම්.
* ජී. බී. සේනානායකත් ‘නිධානය’ නැරැඹුවා? ඔව්. එතකොට එයාගේ පෙනීමත් අඩු වෙලා. චිත්‍රපටය බලලා කිව්වා මේක නම් මගේ පොතේ තිබුණ කතාව නෙවෙයි කියලා. ඒක මගේ ‘නිධානය’ නෙවෙයි කියලා මොකක්දෝ කිව්වා.
* ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත භාවිතයත් මම හිතන්නේ මේ චිත්‍රපටයට ආලෝකයක් වුණා? අමරදේව නැතිනම් කේමදාසනේ මගේ චිත්‍රපට වැඩිපුරම සංගීතවත් කළේ. මම හිතන්නේ පසුබිම් සංගීතයක් නැතිනම් චිත්‍රපටයක් බලන්න හරි අමාරුයි. ඉස්සර කාලේ ‘සයිලන්ට්’ ෆිල්ම්ස් කියලා තිබුණනේ. ශබ්දය නෑ. ඒ කාලේ වුණත් චිත්‍රපට පෙන්නන කොට ඒක බල බලා ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කරනවා. දැන් ග්‍රිෆිත්ගේ ‘ඉන්ටොලරන්ස්’, ‘බර්ත් ඔෆ් අ නේෂන්’ වගේ චිත්‍රපටවල ලොකුª ඔකෙස්ට්‍රාස් තිබුණා. එයානේ අපට භාෂාව තෝරලා දුන්නේ. ඉස්සර චිත්‍රපට හැදුවේ අර නාට්‍ය වගේ. කැමරා එක පැත්තක තියෙනවා. නාට්‍යයක වගේ මේගොල්ල රඟපානවා. අර සිනමා භාෂාව ඒ අයට තේරුණේත් නෑ. ඒ නිසා විශේෂයෙන්ම ග්‍රිෆිත්ගේ සිනමාවේ ඒ සංගීත භාවිතය තිබුණා. හුඟ දෙනෙක් ඒක දන්නේ නෑ.
* කේමදාසයන්ගේ සත්සර පෙළ ගැස්ම කෙතෙක් දුරට ‘නිධානය’ හා පෑහුණාද කියන තැන සිට කතා කළොත්? ‘ගොළු හදවත’ චිත්‍රපටයෙන් පසුවයි මම කේමදාස එක්ක මේ චිත්‍රපටයට එන්නේ. විලී අබේනායක මායම් වෙලා අයිරින්ට පිහියෙන් අනින තැන තමයි මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක. එතනදි කේමදාසගේ සංගීතය බොහොම ඉවහල් වුණා ඒ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට දනවන්න. සංගීතය ඉවත් කරලා බැලුවොත් ඒ ජවනිකාවේ ෆීලින් එකක් නෑ. ඒ නිසයි ගීත නැතත් මගේ චිත්‍රපටවලට මම බොහෝ විට පසුබිම් සංගීතය භාවිත කළේ.
* අපේ සිනමාවට 50 වසරක් පිරීමට සමගාමීව විචාරකයන් විසින් හොඳම චිත්‍රපට දහයක් නම් කළා. එහිදී විශිෂ්ටතම චිත්‍රපටය ලෙස තේරුණේ ‘නිධානය’? අපි එතකොට ප්‍රංශයේ. අපිට චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය දුරකථනයෙන් කතා කරලා ලංකාවට එන්න කිව්වා. ක්‍රිටික්ස්ලා ඔක්කොම තිස් ගාණක් ද කොහෙද එකතු වෙලානේ මේක තේරුවේ. පළමුතැනට ආවේ ‘නිධානය’. දෙවැනි තැනට ‘ගම්පෙරළිය’. තිස්ස අබේසේකරගේ ‘විරාගය’ තමයි මට මතක විදියට තුන්වැනි තැනට පත්වුණේ. මගේ ‘දෙලොවක් අතර’ත් ඒ අතරේ තිබුණා. පතිරාජගේ චිත්‍රපට තුනක් ද කොහෙද තිබුණා වගේ මතකයි. එතකොට මගෙයි, පතිගෙයි චිත්‍රපට හයක්. අනෙක් සේරටම තිබුණේ චිත්‍රපට හතරයි.
* ඔබේ සිනමා නිර්මාණ අතරෙන් විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ඔබ සලකන්නේත් ‘නිධානය’මද? මම හිතනවා ඒක තමයි කියලා. පංගුවක් ඈයෝ කැමැතියි ‘ගම්පෙරළිය’ට. විශේෂයෙන්ම ගැහැනු අයට ‘නිධානය’ ටිකක් ප්‍රචණ්ඩත්වය වැඩියි වගේ දැනුණ චිත්‍රපටයක්. අර මරණ දර්ශනය එක්ක එහෙම. නමුත් ’ගම්පෙරළිය’ චිත්‍රපටයේ එහෙම දර්ශන තිබුණේ නෑනේ. මම හිතන්නේ විචාරකයන් අතිනුත් සුළු ඡන්ද සංඛ්‍යාවකින් තමයි මේ චිත්‍රපට දෙක එහාට මෙහාට ගියේ.
* කොහොම වුණත් ‘නිධානය’ අද අපට අහිමි වෙලා? අපේ චිත්‍රපට ආරක්ෂා කරන්න අපට සංරක්ෂණාගාරයක් නෑ. 1957 ඉඳන් මම වගකිව යුත්තන්ට කියනවා, ලියනවා මේ අවශ්‍යතාවය ගැන. කොච්චර කිව්වත්, ලිව්වත් මේක හරි යන්නේ නෑනේ. සමහරු ගාව චිත්‍රපට තියෙනවා. ඒවා සංරක්ෂණයන්. ඒ පෞද්ගලික මට්ටමෙන්. ඒවාට නියම සංරක්ෂණාගාරයක් කියන්න බෑනේ. ‘නිධානය’ නෙගටිව් එක තිබුණේ සරසවි චිත්‍රාගාරයේ. නමුත් ඒක සවුත්තු වුණ හැටියේ ඒගොල්ල පිච්චුවානේ. දැන් මටවත් ඒක පෙන්නුවේ නෑනේ. මම කියන්නේ නෑ ඒක වරැදියි කියලා. නෙගටිව් එක සවුත්තු වුණාම පුච්චන්න ඕනෑ තමයි. ඒත් මට කියන්න තිබුණනේ.
* එතකොට කොහොමද ඔබට ඒ බව දැනගන්න ලැබුණේ? දවසක් ප්‍රංශ ජාතිකයෙක් මෙහෙට ආවා ‘නිධානය’ සොයාගෙන. ‘නිධානය’ මිලදී ගන්න ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා. පස්සේ සුමිත්‍රායි, මමයි අර මනුස්සයයි දළුගම ‘සරසවි’ චිත්‍රාගාරයට ගියා. මම කිව්වා මට ආසයි ‘නිධානය’ බලන්න කියලා. ඒ මනුස්සයා ඔළුව කසන කොට මම දැනගත්තා මොකක්දෝ වැරැද්දක් වෙලා තියෙනවා කියලා. එතකොට අර ප්‍රංශ ජාතිකයා කිව්වා අපට චිත්‍රපටය බලන්නම ඕනෑ, නැතුව යන්න බෑ කියලා. එතකොට ඔහු කිව්වා මෙහෙම. ‘චිත්‍රපටයේ පික්චර් නෙගටිව් එක නම් නෑ. ඕනෑ නම් සවුන්ඩ් නෙගටිව් එක දෙන්න පුළුවන්’. අර ප්‍රංශ මනුස්සයාට හොඳටම තරහ ගිහින් බැන්නා. එදා තමයි මම දන්නේත් ‘නිධානය’ පුච්චලා කියලා.
* එය ආරක්ෂා කර ගන්න පුළුවන්කමක් තිබී නැද්ද ඔවුන්ට? මෙහෙමයිනේ වෙන්නේ. නෙගටිව් එක සවුත්තු වේගෙන එනකොට ඒකෙන් ගෑස් එකක් එනවා. ඒ ගෑස් එක යාන්තම්වත් මිනිස්සු අතර ආඝ්‍රාණය වුණොත් මැරෙන්නත් පුළුවන්. එච්චරට විෂයි. මම දන්නේ නෑ ඒ වගේ චිත්‍රපට කීයක් පුච්චලද කියලා. ආරක්ෂා කරන්න තව කීයක් තියෙනවද දන්නෙත් නෑ. කොහොම වුණත් එතන චිත්‍රපට සංරක්ෂණය කරන්න පුළුවන් තැනක් නෙවේ.
* ඉන්දියාවේ ‘නිධානය’ දළ සේයා පටලයක් තිබෙනවාද? ඩියුප් නෙගටිව් එකක් ඉන්දියාවේ තිබුණා. ඒක එහෙට කොහොමද ගියේ කියලා අපි දන්නේ නෑ. කවුරු හරි ඇරියද? කවුරු හරි වික්කද? අප තවම දන්නේ නෑ කොහොමද ඉන්දියාවට මේක ගියේ කියලා. පූනේ සංරක්ෂණාගාරයේ තමයි මේ නෙගටිව් එක තියෙන්නේ. අපි ඇහුවා කොහෙන්ද මේක ඔයාලට හම්බ වුණේ කියලා. ඒත් පැහැදිලි උත්තරයක් නෑ. ‘ගම්පෙරළිය’ ආරක්ෂා කරගන්න ඕනෑ නිසා ඇරියා ඇමෙරිකාවට. ‘යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස්’ එකේ තමයි එය තිබෙන්නේ. එහෙ ඉන්න මගේ මිත්‍රයෙක් කිව්වා තවත් චිත්‍රපට එවන්න. ඒවා සංරක්ෂණයට බාර ගන්නම් කියා.
* ‘නිධානය’ ඔබ අද නිර්මාණය කරනවා නම් එහි යම්, යම් දේවල් වෙනස් කරනවාද? මම නම් වෙනස් කරන්නේ නෑ එක ෂොට් එකක්වත්. මම හිතන්නේ මේක ‘කලර්’ චිත්‍රපටයක් කළොත් ඒකත් හරි යන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් චිත්‍රපට සඳහා ගන්නේ ‘කොඩැක්’ ෆිල්ම් රීල්නේ. මේකට අපි ඉන්ගිලිෂ් නෙගටිව් එකක් ගේමු කියලා කැමරා ශිල්පී එම්.එස්. ආනන්දන් කිව්වා. අපි එංගලන්තයේ නිෂ්පාදිත ‘ඉල්ෆර්ඩ්’ කියන නෙගටිව් එකෙන් තමයි ‘නිධානය’ ෂූට් කලේ. මම හිතන්නේ අපේ කිසිම චිත්‍රපටයක් ඒ සේයා පටලයෙන් ෂූට් කරලා නෑ. ඊට පස්සේ අපි කළෙත් නෑ. ඒ නිසා තමයි ඒ රූප රාමුවල පැහැ අන්තරය නැතිනම් කන්ට්‍රාස් එක වැඩි. සමස්තයක් හැටියටම ‘නිධානය’ චිත්‍රපටය ගැන මගේ හිතේ තියෙන්නේ සාර්ථක සිනමා කෘතියක්ය කියන අදහස. ඒ නිසා වසර හතළිහකට පසුව වුණත් මම ‘නිධානය’ දිහා නැවත හැරී බලන්නේ සියුම් ආඩම්බරයකින් වගේම ආත්ම අභිමානයකින් යුතුවයි. |