|
සීරෝ සමඟ කරළියට එන සුනිල්
සුනිල් ලියනආරච්චි. ඔහු කලා ක්ෂේත්රයට එක් වෙන්නේ 80 දශකයේදීයි. වේදිකාවෙන් රංගනයට
අත්පොත් තැබූ ඔහු මෙරට ප්‍රථම ඒකාංගික ටෙලි සිත්තම හැඩ කරන්නත් වාසනාවන්ත වූ රංගන
ශිල්පිියෙක්. ඒ මෙරටට රූපවාහිනියේ ආගමනයත් සමඟින් බර්මින් ලයිලි ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය කළ ‘සාමයේ තරුව’ ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. ශ්‍රියන්ත මෙන්ඩිස්, නිමල්
චන්ද්‍රසිරි සමඟින් එදා ‘සාමයේ තරුව’ ටෙලි නාට්‍යයේ රජතුන් කට්ටුව නිරූපණය කළේ
ඔහුයි. එදා මෙදාතුර වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා
දෙන්න ඔහුට අවස්ථාව උදා වුණා. මේ කතාබහ ඒ සුවිශේෂි රංගන ශිල්පියා වූ සුනිල්
ලියනආරච්චි සමඟයි.
* වේදිකාවෙන් කලා දිවිය ආරම්භ කළ ඔබ අද යළිත් නවතම නාට්‍ය නිර්මාණයක් සමඟින් වේදිකාවට පැමිණෙන්න සූදානම්? ඔව්. එය නම් කරලා තියෙන්නේ ‘සීරෝ’ නමින්. මේ දිනවල එහි පුහුණුවීම කටයුතුවල නිරත වෙලා ඉන්නේ. ලබන අගෝස්තු 04 වැනිදා දංකොටුව දොන් බොස්කෝ දේව් සත්හලේ රංග ශාලවේදී මංගල දැක්ම පවත්වන්නත් සූදානම් කරලා තියෙන්නේ.
* ‘සීරෝ’ තුළින් සමාජයට ඔබ කියන්න උත්සාහ ගන්නේ? මධ්‍යම පාන්තික ණය බරින් මිරිකුණු මිනිසුන්ගේ ජීවිත ගැන තමයි සීරෝ තුළින් කතා කෙරෙන්නේ. එය දවසක කතාවක්. වැඩපොළක පඩි දවස ගෙවෙන ආකාරය තුළින් තමයි මේ ගැන කතා කෙරෙන්නේ.
* සීරෝ සමඟ එක්වන නළු නිළි පිරිස? මෙහි මමත් ඇතුළුව කුසුම් රේණු, සුරම්‍යා රංජනී, ලක්ෂ්මන් ආරච්චි, මාලි ජයවීර, මිලින්ද පෙරේරා, චාන්දනී මල්ලිකා, වසන්ත ප්‍රේම කුමාර් සරංගා නිලුෂනී, අනුර මාපිටිය, අංජු නර්මදා, අවන්ත පෙරේරා, කේ. බී. ඩොනල්ඩ්, තිලකරත්න ලියනගේ, මලිඳු ගමගේ, රශ්මිත නෙත්යාංජ, සරත් සේනාධීර, පියදාස ප්‍රනාන්දු, සඳුන් උනන්තැන්න, ඩී. සී. සුමිත්‍රආරච්චි, පියදාස සිරිවර්ධන සහ සංජීව මදුසංඛ රංගනයෙන් දායක වෙනවා.
* ඔබ ටවර් හෝල් නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සහභාගි වූ ශිල්පියෙක්. මම කැමැතියි ඔබෙන් දැනගගන්න ආරම්භක අවදියේදී වේදිකාවෙන් ලද ඒ අත්දැකීම් ගැනත්? 80 දශකයේ රූපවාහිනිය පැමිණෙන්න පෙර ජනතාවට රසවින්දනයට තිබුණේ වේදිකා නාට්‍ය. නාට්‍ය, චිත්‍රපට වගේම ඉඳල හිටල සංගීත සංදර්ශනයකුත් තියෙන අවස්ථා තිබුණා. ඒ නිසා වේදිකා නාට්‍ය බලන්න ගොඩක් අය පුරුදු වෙලා හිටියා. ටවර් හෝල් යුගයේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වුණේ සරලා බායි. ඩොනල්ඩ් රත්නවීරගේ සොඳුරු ළඳක් වේදිකා නාට්‍යයේ මට ඇයත් සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. එවිට මට වයස අයුරුදු 18 ක් විතර ඇති. පසුකාලීනව ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට දායක වුණාට ඒ වෙනුවෙන් රංගනය පිළිබඳ අවබෝධය, පුහුණුව ලැබුණේ වේදිකාවෙන්.
* ඔබ ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට රැසකටත් දායක වෙලා තියෙනවා? බර්ට්‍රම් නිහාල්ගේ ‘සාමයේ තරුව’ ඒකාංගික නාට්‍යයට තමයි මුලින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ඊට පසුව සුබ පාර්ථනා, ගම්පෙරළිය, සංගුල මාරුතය, ගඟුලෙන් එතෙරට, වසුදා, භාර්යාවෝ, බල සෙබළ, ඉංගම්මාරුව, පිංගල දනව්ව, මිරිගු දිය, සුබෝධා ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අජාසත්ත චිත්‍රපටයෙන් ආරම්භ කළ සිනමා රංගනයේදී අංගුලිමාල, ධවල පවුර, නොමම්ර එකේ මහත්තයා, කිව්වද නහී නොකිව්වද නහී, තැන්ක් යූ බර්ටි, ගොළු මුහදේ කුණාටුව වැනි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණා.
* ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි ඔබ ගජ මිතුරන්? ඔව්. අපි තුන්දෙනාම කලා ක්ෂ්ත්රයට අවේ එකම කාලයකදියි. අපි තුන්දෙනාම හොඳ යාළුවෝ. ඒ වගේම අපි තුන්දෙනාම ගුරුවරු.
* ඔබගේ රංගන දිවියේ සම්මානනීය වූ අවස්ථා ගැනත් සිහිපත් කරමු? 1981 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේදී බී. කරුණාරත්නගේ ‘කලිගියුලා’ නාට්‍යයේ සෙබළාගේ චරිතය වෙනුවෙන් සම්මානය, 1982 වසරේදී සම නිෂ්පාදනයෙන් දායක වූ ‘මන්දාරම් වැහි’ නාට්‍යයෙ රණ මයුර සම්මානය ඇතුළු සම්මාන සහතික නවයක් දිනා ගන්න සමත් වුණා. ඒ වගේම 1983 වසරේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘දෙයියන්ගේ පුංචි අන්තරය’ නාට්‍යයේ වික්ටර්ගේ චරිතය වෙනුවෙන් සම්මාන සහතිකයත්, 1984 හොඳම නාට්‍යය වු අනුර චන්ද්‍රසිරිගේ ‘හිම කුණාටු’ නාට්‍යයේ ප්‍රතිමාව චරිතය වෙනුවෙනුත් මට සම්මාන හිමි වුණා.
* මේ දවස්වල ඔබ දායක වෙලා සිටින නිර්මාණ වගේම ඉදිරි නිර්මාණ කටයුත ගැනත් සඳහන් කළොත්? මේ දිනවල ටෙනිසන් කුරේ සමඟ සිවම්මා ධනපාල නාට්‍යයේ රංගන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. මම එහි මයුරපාද ගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ අතර ලැබෙන විවේකයේදී තමයි මගේ අනෙක් නාට්‍ය දර්ශන කෙරෙන්නේ. ඒ අනුව ඉදිරියේදී සීරෝ සමඟින් රට වටා යන්න බලාපාරොත්තුªª වෙනවා.
|