වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




රට යන්න බලාපොරොත්තුවක් නැහැ

රට යන්න බලාපොරොත්තුවක් නැහැ

නැවත රඟපෑම ආරම්භ කරනවා

මානෙල් චන්ද්‍රලතා තම අදහස හෙළි කරයි

රාජවංශයෙන් හමුවන එකම කවටයා අන්දරේ නමින් ප්‍රකටව සිටි බව අප අසා ඇත. රජ සමයෙන් ඉක්බිති ජනතාව හාස්‍ය රසයෙන් පින වූ ජනප්‍රිය විකටයින් රැසක් සිනමා තිරයෙන් හමු වූහ.

ඉන් එක් අයෙක් ෆෙ‍්‍රඩී සිල්වා නමින් පතළව සිටියේය. ඔහුගේ දිගුකාලීන සිනමා පෙම්වතිය සෑහෙන කාලයකට පසු ඉකුත් දිනක මොරටුව රාවතාවත්තේදී මුණ ගැසිණ. කව්ද දන්නවාද? මානෙල් චන්ද්‍රලතා. ඇගේ පෙරදා තිබුණු ලාබාල රූපශ්‍රීය තවමත් වියැකී නොමැත. තිරයේ ප්‍රධාන හෝ උප ප්‍රධාන චරිතයක් රඟපෑමට වුවත් ඇයට දැනුදු පුළුවන.

ඔබ කාලයක් නුදුටුවේ කුමක් හේතු කොට ගෙනද?

සිනමාවත් සමඟ ගත කළ ඒකාකාරී ජීවිතයෙන් මිදී කාලයක් සයිප්‍රස් රටේ රැකියාව කළා. රැකියාව කරන අතරවාරයේ ඒ රටේ කලා කටයුතුවලටත් සහභාගි වුණා. ඒ නිසාම රටගිය ඇත්තෝ සංවිධානයෙන් 2009 අප්‍රේල් 19 වැනිදා සයිප්‍රස් රාජ්‍යයේ ලිමාසෝල් නගරයේ මොලෝස් උද්‍යානයේදී උපහාර තිළිණයක් පිරිනැමුවා.

ආයෙත් සිංහල සංගීත ප්‍රසංග ඉදිරිපත් කරන සංවිධානයක් මඟින් ද අගැයීමක් කළා. ශ්‍රියානි අමරසේන ඒ රටේ රූපගත කළ නොරතරත ටෙලි නාට්‍යයේ රඟපෑවා. එය ළඟදී ප්‍රදර්ශනය කරන බව ආරංචියි. වසර නමයකට පස්සේ නැවත ලංකාවට පැමිණියා. යළිත් රට යන්න බලාපොරොත්තුවක් නැහැ. නැවත රඟපෑම ආරම්භ කරනවා.

ඔබ යළි රංගනයට පිවිසෙන්න් ජීවිතයේ ස්ථාවර පදනමක් සකසා ගන්නද?

වියපත් වූ විට තමන්ගේ අසරණකම ලෝකයාට හඬගා කීමේ ක්‍රියාවට මම විරුද්ධයි. එය ළාමක අඳෙීනාවක් විදියටයි මම දකින්නේ. රට ඉන්නැද්දි මම සහෝදර නිළියන් දෙතුන් දෙනකුට මුදලින් ආධාර කෙරුවා. දැනට මම දන්නා තරමට අප රටේ පැරැණි නළු නිළියන්ට අවංකව පිහිට වන ආයතන තුනක් තියෙනවා. ඒවයේ ක්‍රියා කලාපය විශ්වාසවන්තනීයයි.

එකක් ජාතික චිත්‍රපට සංස්ථාව. අනික ටවර් හෝල් පදනම. තෙවැන්න සිනෙස්ටාර් පදනම. එය සාර්ථක පෞද්ගලික කලාකරුවන්ගේ සරණ ආයතනයක්. වත්මන් රජයෙන් ද යම් යම් සුබසාධන කටයුතු කරනවා. ඉන් හැරුණු කොට වියපත් හෝ අසරණ කලාකරුවන්ට අත දෙන කිසිම නීත්‍යනුකූල සංවිධානයක් නැහැ. සිටිනවා නම් එය අසරණයින්ගේ මුවාවෙන් ජීවත්වෙන පිරිසක්. මේ ගැන වියපත් කලාකරුවන් පමණක් නොව ඊට අනුබල උදව් උපකාර දෙන අයත් ප්‍රවේසම් විය යුතුයි.

කාලයක් නොදැකපු ඔබේ රංගනය ඇරැඹුණේ කෙසේද?

ගාමිණී ෆොන්සේකා හා ෆෙ‍්‍රඩී සිල්වා මගේ හද බැඳ ගත් නළුවන්. ජය සිකුරු චිත්‍රපටය නැරැඹූවාට පස්සේ මටත් රඟපාන්න ආශාවක් උපන්නා. අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා මගේ ප්‍රියතම නළුවන්ට ලිපි යැව්වා. පිළිතුරක් ලැබුණේ ෆෙ‍්‍රඩීගෙන් පමණයි. මම හාපුරා කියා ඔහු නිෂ්පාදනය කළ මන්ත්‍රී නාට්‍යයේ රඟපෑවා. අධ්‍යක්ෂවරයා චන්ද්‍රදාස ප්‍රනාන්දු. පුහුණුවීම් කටයුතු කළේ සමන්ති ලැනරෝල්ගේ ටොරින්ටන් මාවතේ පිහිටි නිවසේ. මගේ මතකය හැටියට මන්ත්‍රී නාට්‍යය දර්ශන වාර 50 ක් පමණ පෙන්නුවා. මුලින්ම සිනමා කැමරාවක් ඉදිරිපිට රංගනයක යෙදුණේ අලිබබා සහ හොරු 40 චිත්‍රපටයේ. නමුත් ඊට පෙර මගේ රංගන ඇතුළත් චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා.

එම චිත්‍රපට කිහිපය ඔබට මතකද?

මාව රිදී තිරයෙක් පළමුවෙන්ම දකින්න ලැබුණේ 1988 චණ්ඩින්ගෙත් චණ්ඩියා චිත්‍රපටයනේ. එය හේමසිරි සෙල්ලප්පෙරුමගේ නිෂ්පාදන අධ්‍යක්ෂණයක්. මීළඟට ගීතරාණි චිත්‍රපට සමාගමේ නැව ගිලුනත් බෑන් චූන්. එතැනින් පස්සේ නොම්මර 17, රන්දෙණිගල සිංහයා, දෑසේ මල් පිපිලා, යුක්තියට වැඩ ආදී වශයෙන් චිත්‍රපට පහළොවක් ප්‍රදර්ශනය කළා. අලිබබා පෙන්නුවේ 1991. නමුත් එහි දෙවන කොටස මේතාක් පෙන්නුවේ නැහැ. පෙන්නයි කියලා හිතන්නවත් බැහැ.

ඔබ ඔය කියන ලද චිත්‍රපටවල රඟපෑවේ ෆෙ‍්‍රඩී සිල්වා සමඟ නේද?

ෆෙ‍්‍රඩී සිල්වාගේ කාලයක් සිනමාවේ සහායක නිළිය වූයේ සමන්ති ලැනරෝල්. ඊළඟ පෙම්වතිය ලෙස චිත්‍රපට වැඩි සංඛ්‍යාවක මම රඟපෑවා. ෆ්‍රෙඩී – මානෙල් සුසංයෝගය 90 දශකයේ ජනප්‍රිය සිනමාවට නැතිවම බැරිව ගියා. මෙය අතිශයෝක්තියක් කියලා සිතන්න එපා. 1991 මට ජනප්‍රිය නවක නිළිය හැටියට ලැබුණු සරසවිය සම්මානය ඊට හොඳම සාක්ෂිය.

ඔබ විකට ස්වරූපයෙන් බැහැර චරිත රඟපා තිබෙනවාද?

මුල් වතාවට විකට නොවන චරිතයක් මම රඟපෑවේ සම්බුදු මහිම චිත්‍රපටයේ. සුවදෙන සුවඳක්, සාගර තිළිණ, සුරයහන ගිනි ගනී, ගිනිගත් මධුසමය, රෝස පැටික්කි වගේ චිත්‍රපට තුළින් විකට රාමුවෙන් මිදුණා. සුරයහන ගිනි ගනී චිත්‍රපටයේ මම රඟපෑවේ දිනමිණ පත්‍රයේ වත්මන් ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් සමඟ. එලෙසම ටෙලි නාට්‍ය රංගනයේදී මට ලැබුණේ යමක් කළ හැකි චරිත.

ඔබ රඟපා ඇති ටෙලි හා වේදිකා නාට්‍ය චිත්‍රපටවලට වඩා වැඩිද?

සනත් අබේසේකරගේ දොන්තබබක්කා, මොනරු හඬලති, සිරිමන් එදිරිවීරගේ සුපිරි සවාරි, බබියගේ සිනාව මගේ රංගන වේදිකාවට රැගෙන ආ නාට්‍ය. බබියගේ සිනාව මගේම නිෂ්පාදනයක්. මෙහි මංගල දර්ශනය පැවතියේ 1998 මාර්තු 19 වැනිදා මරදානේ ටවර් හෝල් රඟහලේ. ඊට මාස හතරක් ඇවෑමෙන් මගේ ප්‍රථම පුංචි තිර රංගනය රැගත් කොටස් 14 යුත් කේතුමතී රජදහන ටෙලි නාට්‍යය අගෝස්තු 31 වැනිදා ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය ඇරැඹුවා. එහි මගේ සැමියා ලෙස රඟපෑවේ සරසවිය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සුසිල් ගුණරත්න. කේතුමතී රජදහන සල්රූ නිෂ්පාදන වෙනුවෙන් රූපේ හා සලීම්ගේ නිෂ්පාදනයක්.

රාමල්, සදා, රශ්මි තවත් ටෙලි නාට්‍ය කිහිපයක්. ඔය අනුව බලන විට මගේ චිත්‍රපට නාමාවලිය වැඩි මිසක් අඩු නැහැ. චිත්‍රපට 60 ආසන්නයි. 1988 සිට 2003 දක්වා මගේ රුව අඛණ්ඩවම සිනමා තිරයේ ප්‍රදර්ශනය වී තිබෙනවා. මා රඟපෑ චිත්‍රපටයක් නොපෙන්නුවේ 1998 පමණයි. දැනට මගේ රංගනයක් රැගත් අවසන් චිත්‍රපටය වශයෙන් වැලා ඉන් ලන්ඩන් දක්වන්න පුළුවන්.

ඔබ ළඟින් ඇසුරු කළ ෆෙ‍්‍රඩී සිල්වා ගැන දන්නා සැඟවුනු තොරතුරු මොනවාද?

ෆෙ‍්‍රඩී සිල්වා කියන්නේ හිත හොඳ විහිළුකාරයෙක්. තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් කොටස ඔහු හැම දෙනාටම සාධරණව ඉටු කළා. කවුරුන් හෝ කියන දෙයක් විශ්වාස කොට පසුව තැවෙනවා. ඔහු නිපදවීමට ගිය අල්බේලා කතාව ඇතුළත් නැව ගිලුනත් බෑන්චූන් චිත්‍රපටය කළේ නැහැ. ඔක්කොම කණපිට නිෂ්පාදන කටයුතු ඔක්කොම නිම කොට පල නෙලා ගන්න වෙන කෙනකුට පැවරුවා. ඔහු සමාදානයේ සැතපිලා ඉන්න බොරැල්ල කනත්තට යන්නේ මම විතරයි. දැනට කුඩා සිහිවටනයක් තබා තිබෙන එතැන ඔහු වෙනුවෙන් දැකුම්කලු ස්මාරකයක් ඉදි කරන්න මම සිතා සිටිනවා. එය මගේ යුතුකමක්.

ඔබ ෆෙ‍්‍රඩී සිල්වාට ඔය තරම් ලෙන්ගතුකමක් දක්වන්නේ මක්නිසාද?

එය කවුරුත් දන්නා රහසක් නැති රහසක්. අනික මම අද ලබා සිටින ජනප්‍රියත්වයේ කොටස්කාරයා ඔහු මිස වෙනින් කවුරුවත් නොවෙයි. ඔහු නිසා මට අහිමි වූ සුළු දෙයට වඩා ලැබිච්ච දේ අප්‍රමාණයි. අද මා අභිනවයෙන් නිවෙසක් ඉදි කරන මොරටුව රාවතාවත්තේ ශාන්ත එමානුවෙල් පාරේ අංක 22/4 දරන ස්ථානය මට ලැබුණේ ෆෙ‍්‍රඩීගෙන්. එහි දුරකථන අංකය 075-5229548.

ඔබේ කුඩා අවධිය ගැන මතකය කෙසේද?

මම ඉපදුණේ ගල්කිස්සේ. උපන් දිනය 1959 මැයි 24 වනදා. පියා පොඩිසිංහදේවගේ කිරිනේලිස්. ඔහු ඊබට් සිල්වා සමාගමේ රියදුරෙක්. මව ගෘහනියක්. නම ඩබ්ලිව්. මාග්‍රට්. අපේ පවුලේ පිරිමි හයයි. ගැහැනු තුන්දෙනයි.

ඔබේ තුරුණු විය ගැන හෙළි කරන්න සතුටු නැද්ද?

මම ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දක්ෂ ක්‍රීඩිකාවක්. පාසැල් දිවියෙන් ඉක්බිති වෙන කෙල්ලන් වගේ සැහැල්ලුවෙන් ජීවිතය ගෙන ගියා. ලාබාල වියේදීම විවාහ වුණා. එම දිවිය එතරම් සාර්ථක යැයි කියන්නේ නැහැ. සිනමාවට එන විටත් මට පුතෙක් සිටියා. නම සංජීව. ඔහු නැව ගිලුනත් බෑන් චූන් චිත්‍රපටයේ හා කේතුමතී රජදහන ටෙලි නාට්‍යයේ රඟපෑවා. මගේ තනියට සයිප්‍රස් රටේ සිටි ඔහු විවාහකයි.

ඔබේ මතු බලාපොරොත්තු මොනයාකාරද?

විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන ජී්වත් වෙන්න මම අකමැතියි. කලින් පැවසූ පරිදි එදත් කැමති අදත් කැමති රංගනය තුළින් නව ගමනක් අරඹන්න අදහස් කරනවා. ඊට සැමගේ සහාය ලැබෙයි කියා සිතනවා.