වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




 ලෙලුම් In Concert අගෝස්තු 09 බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී

 ලෙලුම් In Concert අගෝස්තු 09 බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී

වික්ටර් රත්නායකයන්ගේ පුත් ලෙලුම් රත්නායක ගේ කුලුඳුල් සංයුක්ත තැටිය ‘ලෙලුම්’ එළිදැක්වීම අගෝස්තු 09 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඊට සමගාමීව ගීත ප්‍රසංගයක් තම රසික සමූහයාට ප්‍රදානය කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. මෙම ප්‍රසංගය ජයන්ත රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වේ. මෙය ඉදිරිපත් කරන්නේ  C R Music (Private) Limited වෙතිනි.

මෙම ගී එකතුවට මහාචාර්ය සුනිල් ආරියරත්න, යමුනා මාලනී පෙරේරා, චන්න බණ්ඩාර විජේකෝන්, රසික වීරවික්‍රම ගුණවර්ධන, චාමින්ද රත්නසූරිය, ප්‍රභා කුමාර රාජගුරු, චරිත් සේනාධීර යන ගීත රචකයින්ගේ ගීත ඇතුළත් වේ.

ගීත දෙකක සංගීත නිර්මාණය හා සංයෝජනය ජයන්ත රත්නායක විසින් කරන ලද අතර අනෙකුත් සියලු ගීතවල තනු නිර්මාණය සංගීත නිර්මාණය හා සංගීත සංයෝජනය ලෙලුම් විසින් නිම කරන ලදී. මෙහි ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සංකලනය සුනන්ද මෙත්තසිංහ විසිනි.

ජයන්ත රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල් , බුද්ධික පෙරේරා, නදීක ජයවර්ධන, විශ්ව පරණයාපා, නුෂාන් හෙට්ටිආරච්චි, නුවන් ලියනගේ, සුමුදු ගුරුගේ, ෂෙහාන් ජයසූරිය, ශමිස්නා ද සිල්වා යන සංගීතවේදීන් වාදනයෙන් දායක වී ඇත.

කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දොරට වඩින ලෙලුම්  In Concert පවත්වන ලෙලුම්ගේ වතගොත මෙසේ සටහන් කරන්නෙමු.

පවුලේ දෙවැනි සංගීත පුරුක ලෙලුම් ගේ අයියා ජයන්තය. ලෙලුම්ට විෂයමය වශයෙන් සංගීතයේ මුල් පාඩම කියා දුන්නේ අයියාය.

ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ලෙලුම් පාසල් සමයේ පියාගේ අවසරයෙන් ආශිර්වාදයත් ඇතිව ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ඇරැයුම පරිදි ජාතික රූපවාහිනියේ ගායනා වැඩසටහනට ළමා ගායකයෙක් හැටියට එක්වෙයි. තමාගේ සහෝදරයාත්, දෙසොහොයුරියත් සමඟමය. එවිට ඔහුට වයස අවුරුදු 8 කි.

රාජගිරිය සවරින් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී මහේෂ් දෙනිපිටිය, ලෙලුම් රත්නායක, වික්ටර් රත්නායක, නන්දා මාලිනී, බංඩාර ඇහැලියගොඩ, ජයන්ත රත්නායක යන මහත්ම මහත්මීන් මාධ්‍යවේදීන් දැනුවත් කළ අයුරු.

සුදත් දේවප්‍රියගේ’අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යයෙන් ‘පාන තියා බුදු සාදුට’ ගීතය ගයමින් ලෙලුම් මුලින්ම රසික හදවත් දිනා ගත්තේය.

ඔහු, වෘත්තීයමය සංගීතවේදියෙක් වන්නේ බාප්පා සෝමපාල රත්නායකගේ චිත්‍රපට ගී පටිගත කිරීම්වලට සහභාගි වෙමිනි.

පසුව ඔහු කැනඩාවේදී ඔසී නුගේරා සමඟ බටහිර ගීත ගායනයට පිවිසුණේය. ඔසී මුණ ගැසීම ද තමා ජීවිතයේ ලද භාග්‍යයක් බව ලෙලුම් කියයි.

කැනඩාවේ සිට ලංකාවට නැවත පැමිණි විගස ‘සිහ ශක්ති’ කණ්ඩායමේ සාමාජිකයකු වන ඔහු අවනද්ධ භාණ්ඩ වාදකයකු ලෙස තම සංගීත දිවිය අරඹන්නේද එතැන් සිටය. ‘සිහ ශක්ති’ හි ඔහුගේ දස්කම් දුටු, එවකට ප්‍රසිද්ධ බටහිර වාදක කණ්ඩායමක් වූ අල්ටිමේට් හි ඩ්‍රමස් වාදක ලාල් විටිවලගේ ඇරැයුමෙන් එයට එක් විය. අල්ටිමේට් සමඟ වයමින් සිටි අවස්ථාවක සැමදා සුපතළ ‘ජිප්සීස්’ වාදක මණ්ඩලයේ සර පුවරු වාදක නැසීගිය කුමාර් පීරිස් ඔහු දුටුවේය. 70 දශකයේ සුප්‍රසිද්ධ ගායක ඩෙස්මන් ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ප්‍රසංගය ඉදිරිපත් කරන විට ජිීප්සීස් සමඟ ලෙලුම්ව අප දුටුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එවකට ශ්‍රී ලංකාවේ ප්‍රචලිත බටහිර වාද්‍ය කණ්ඩායම් වන Jet Liners, Spit Fires, Amazing Grace, Desmond and the Clan වැනි වාදක මණ්ඩල වසර ගණනාවකට පසු දිවයිනට පැමිණ ප්‍රසංග පවත්වද්දී ඒ සමඟ අපි ඔහුව දුටුවෙමු.

අයිය මලෝ පටන් ගත් V2, ‘ඇසළ නිල් සඳ’ ඔවුන් එළි දැක් වූ පළමු CD තැටියයි.

ලෙලුම් බටහිර වාදක මණ්ඩල සමඟ රාත්‍රී සමාජ ශාලා හා අවන්හල්වල ඩ්‍රම්ස් වාදකයා වශයෙන් කටයුතු කළේය. එක්ස් - ඉට්, බ්යින්ඩ් නෝත්, කොන්ට්‍රා බෑන්ඩ් ඉන් කිහිපයකි. මේ වාදක මණ්ඩල සමඟ ලෙලුම් ඕමාන්, කුවේට්, මාල දිවයින වැනි රටවල සංචාර සඳහා සහභාගි වී තිබේ.

මේ සියලු දෙය වන අතරතුර ලෙලුම් ප්‍රවීණ ගායක ගායිකාවන් කිහිප පළකටම තනු නිර්මාණය කර තිබේ. මමයි මගේ දිලිඳු හිතයි – වික්ටර් රත්නායක, මන රංජනා / සංසාරණ්‍යයේ - සමිතා මුදුන්කොටුව, ඔබ මාගේමයි සසර පුරා – රනිල් මල්ලවආරච්චි, අව් කණ්ණාඩිය / වසන්තය යළිත් – කිත්සිරි ජයසේකර, සිය දහස් වාරයක් පැසසුම් – විශාරද නීලා වික්‍රමසිංහ, සුසුම් පොදක් වී – කසුන් කල්හාර මේ ඉන් කිහිපයකි.

පියාගේ’ස’ ප්‍රසංගයට ද නොමඳ සහායක් ලබාදුන් ලෙලුම් වාදකයකු හැටියට නන්ද මාලිනීගේ ‘ශ්වේත රාත්‍රිය’ මෙන්ම විශාරද නීලා වික්‍රමසිංහගේ ‘මාස්ටර් සර්’ රෝහණ වීරසිංහයන්ගේ ‘ආදරණීය රෝහණ’ වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ හා ශිල්පින්ගේ ප්‍රසංගවලට සංගීතයෙන් දායක විය.

ලෙලුම්ගේ සංගීත සංකල්පනා පියාගෙන් වෙනස් මුහුණුවරක් ගත්ත ද එම නිර්මාණ ද ශ්‍රී ලාංකික රසිකයා විසින් ආදරයෙන් වැලඳ ගත්තේය. ලෙලුම් ගේ ගායන හැකියාවේ පරාසය පැහැදිලි කිරීමට ‘ඉර හඳ තරු’ පවුලේ ප්‍රසංගය හොඳම උදාහරණයකි.


‘නුරා ගී ස්වර’ 17 වැනි දා මහරගම යොවුන් රඟහලේ දී

කරුණාරත්න දිවුල්ගනේ, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර ගී ගයන ‘නුරා ගී ස්වර’ – 2013 සංගීත ප්‍රසංගය මෙම 17 වැනි දා මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ.

පිළියන්දල, දම්පේ හි ‘දම්පේ විලේජ්’ සුබ සාධක සංගමය ප්‍රථම වරට සංවිධානය කරන මෙම ප්‍රසංගය සුසිල් අමරසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් රස ගැන්වෙති. කථනයෙන් වසන්ත රෝහණ එක්වේ. මෙය ෂා එන්ටර්ටේන්මන්ට්ස් වෙනුවෙන් අංජු ජයවර්ධන ගේ සම්බන්ධීකරණයකි.


සමන් අතාවුදහෙට්ටිගේ  ‘සොඳුරු සැරිසර - සරවක් නදිය දිගේ’ මැලේසියාවේදී එළිදකී

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මැලේසියාව අළලා නිර්මාණය කළ නවතම චාරිකාලංකාරය ඇතුළත් නව කෘතිය ‘සොඳුරු සැරිසර - සරවක් නදිය දිගේ’ නමින් මෙම මස 04 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරයේ අශෝක ශාලවේදී එළි දකී.

මෙම කෘතිය දොරට වැඩීමේ උළෙලේදී මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසිනි. මහාචාර්ය සරත් විජේසූරිය, සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීණ ගේය කාව්‍ය රචක කුලරත්න ආරියවංශ හා මැලේසියාවේ වෙසෙන පර්යේෂණ ලේඛක විජය සමරවික්‍රම යන මහත්වරු මෙහිදී දෙසුම් පවත්වති.

දයාන් පතිරණගේ මෙහෙයවීම යටතේ ශාසන අභිවෘද්ධි සංගමයේ සිංහල සංස්කෘතික රංගන සංසදය ඉදිරිපත් කරන රංගන අංගයන්ගෙන් ද, ද තෝ කැනී චාන්ගේ ගායනයෙන් ද උළෙල විචිත්‍රවත් වේ.

මෙම උළෙල සංවිධානය කරන්නේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයීය ශාසන අභිවෘද්ධිය වර්ධන සංගමය හා මැලේසියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය විසිනි.


නවකයන්ට ගී ගැයීමට අවස්ථාවක්...

හෙළයේ නිළි රැජන රුක්මණී දේවිය වෙනුවෙන් වසර විසි පහක් අඛණ්ඩව පවත්වාගෙන ආ ‘රුක්මණී දේවී අනුස්මරණ සංගමය’ එළිදැක්වීමට සූදානම් වන දෙවැනි සංයුක්ත තැටියේ ගී ගැයීමට ගැහැනු, පිරිමි දෙපක්‍ෂයේම නවකයන් කිහිප දෙනකු තෝරා ගැනීමට එහි සභාපති හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්ඩිස් තීරණය කර ඇත.

එම සංගමයේ සම සභාපති ගායිකා අයිරින් ලියනගේ නො: 1643/2 බී, රණසිංහ මාවත, කොට්ටාව ලිපිනයෙන් මෙහි වැඩි විස්තර ලබාගත හැකිය.