|
මරා දෑමු ජීවත්වන මිනිසා අගෝස්තු 03 සහ 04 සවස 6.30 ට ලුම්බිණි රඟහලේදී
බුද්ධික දමයන්ත සමඟ කෙළින් කතාබහක්
වේදිකා නාට්‍ය කරලා සන්තෝසෙන් මැරෙන්න පුළුවන්, ජීවත් වෙන්න බැහැ
ඔබේ අලුත්ම නාට්‍යයේ වස්තු විෂය වන්නේ චේ. ඇයි චේ කියන චරිතය වේදිකාවට ගේන්න හිතුවේ? චේ ගැන නාට්‍යයක් කරන්න කවුද අකැමැති. මම මේ නාට්‍යය ඇතුළේ කතා කරන්නේ චේ ගුවේරාගේ අවසන් දින දෙක ගැන. බොලීවියන් විප්ලවය අවසානයේ හමුදා අත්අඩංගුවට පත් වී, තම අවසාන ඉරණම කුමකින් කුමක් වේදැයි බලාපොරොත්තුවෙන් සිටින චේ ගම්මානයේ පාසල් පන්ති කාමරයක සිරගත කරනු ලබනවා. මේ පාසලේ උගන්වන ජුලියා කෝමේස් නම් ගුරුවරිය චේ මුණ ගැසීමට පැමිණෙනවා. මේ මුණ ගැසීම වටා තමයි කතාන්දරය දිවෙන්නේ. විප්ලවවාදියකුගේ අවසන් දවස් දෙක ගැනයි මා කතා කරන්නේ. ප්‍රකට නාට්‍ය රචකයකු වන ජෝසප් රිවිසේරාගේ School of the Amoricas කියන ග්‍රන්ථය චූලා සමරනායක විසින් ’මරා දැමූ ජීවත්වන මිනිසා’ ලෙසින් සිංහලයට පරිවර්තනය වුණා. මේ නිර්මාණය තමයි මා නාට්‍යයට පාදක කර ගත්තේ. නාට්‍යකාරයෙක් විදියට මා චේ දකින කෝණය තමයි මේ මගේ නිර්මාණය ඇතුළේ හමුවන්නේ. චේ කියන්නේ අයිතිකරුවන් රැසක් ඉන්න චරිතයක්. ඔවුන් ඔබේ නාට්‍යය පිළිගනීවිද? නාට්‍යය බලන්නේ නැතුව කාටවත් මොනවත් කියන්න බෑ. කොටින්ම මටත් අනාවැකි කියන්න බෑ. මොනව හරි වෙනවනං හොඳයි ඉතිං. මාත් කැමැතියි කවුරු හරි විරුද්ධ වෙලා මේ මාතෘකාව ඇදිල ඇවිත් කරනවනං. එත් ඉතිං චේ අයිතිකාරයෝ මගේ නාට්‍ය බලයිද කියල දන්නේ නෑ. නාට්‍ය බලනවට වඩා ඒ අයට කරන්න ඕන තරං වැඩ තියෙනවා. අද ආර්ට් වලට තැනක් නෑ. එහෙනං මොනවටද තැන තියෙන්නේ? මං නාට්‍ය කරන්නේ ආර්ට් බලන අයට. ලටපට සැපයීම නං ඉතිං ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අද තියෙන්නේ ආර්ට් නෙවෙයි, ලටපට සැපයීමක්. අද කවුද අවංකව ආර්ට් කරන්නේ. අපි වැඩ කරන්නේ අපිටම කියල හදාගත්ත ශක්තිමත් ලෝකයක. ඒ ලෝකේ ඉන්න අය විතරයි අපේ නාට්‍ය බලන්නේ. මේක මහා අර්බුදකාරී තත්ත්වයක්. අද නාට්‍යයක් බලලා සංවාදයක් තියෙන තැනක් තියෙනවද? මේ ලටපට තමයි අද නාට්‍ය කියල මිනිස්සු බලන්නේ. මිනිස්සුන්ට ඕනෑ හිනාවෙන්න. මේ වගේ හිනා වෙන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මං කවදාවත් දැකලා නෑ. අපේ නාට්‍යවලත් ප්‍රේක්ෂකයා හොයන්නේ හිනාවෙන කෑලි. මේ වගේ රටක ජීවත්වන පිරිසකට තමයි වේදිකා උඩ ඉඳන් කතා කරන්න වෙලා තියෙන්නේ.
ඒකත් ඇත්ත. ඒත් අපට තියෙනවා දරුණු අසනීපයක්. ඒක හොඳ වෙන්නේ නෑ. මේවා කතා කළා කියලා වැඩකුත් නෑ ඉතිං . . . කවුද අපේ රටේ නාට්‍ය කලාව වෙනුවෙන් පෙනී ඉන්නේ. . . ඇත්තටම කවුද? අපි වැඩ කරන්නේ රික්තයක් ඇතුළේ ඉන්න පිරිසත් එක්ක. කෝ සංස්කෘතික අමාත්‍යාංශය. නාට්‍ය කලාවට මෙනවද ඒ අය කරලා තියෙන්නේ. කවුද නාට්‍යයක් නිෂ්පාදනයෙන් ඉදිරිපත් වෙන්නේ. මේව අතිශය ප්‍රායෝගික ප්‍රශ්න. චිත්‍රපටයක් හදලා මිනිසෙකුට පෙන්නන්න පුළුවන්ද? ටෙලි නාට්‍යයක් කරලා බෙල්ට් එකක් ගන්න පුළුවන්ද? මේව පාලනය කරන්නේ වෙනම පිරිසක්. මේ ඊයේ පෙරේදා මෑත ඉතිහාසයේ ඉඳලා නෙවෙයි. අපි දන්න දවසේ ඉඳල තත්ත්වය ඕකයි. කාටද පුළුවන් තමන්ගේ නිර්මාණයක් කාගෙවත් උදව්වක් නැතිව ප්‍රදර්ශනය කරගන්න. මේ පාලන හස්තය තියෙන්නේ වෙන තැනක. නිර්මාණකරුවා එතනට යට වෙලයි ඉන්නේ. අපිත් අවුරුද්දකට වතාවක් විතර හීනයක් දකිනවා. ඒ හීනෙන් නැගිටලා අයෙමත් නිදාගන්නවා. මේක විහිළුවක්. අප ඉන්නේ මේ විහිළුව ඇතුළේ. හිනා වෙන්නේ වෙන අය. නාට්‍යයක් කියලා කීප දෙනෙක් දාලා ලටපටයක් දෙන්න මටත් පුළුවන්. මං කියන්නේ ඒ නාට්‍ය වැරැදියි කියලා නෙවෙයි. ඒත් ඒ නාට්‍ය ආර්ට් නෙවෙයි. අපේ නාට්‍ය බලන්නේ ටික දෙනයි. වේදිකා නාට්‍ය කලාවෙත් ඒකාධිකාරියක් තියෙනවාද? ඒකාධිකාරියක් කියල කියන්න බැහැ. ලටපට එකතු කරගන්න පිරිසක් ඉන්නවා. මිනිස්සු ඉල්ලන විදියට ඒ ලටපට දෙනවා. දර්ශන වාර 20 – 30 ගියා ම ඉබේම නාට්‍ය හැදෙනවා. ඉතිං පෙන්වනවා. පෝස්ටර් ගහනවා. හාස්‍ය තමයි මෙ නාට්‍යවල තියෙන්නේ. අපි නාට්‍යයත් අරන් ගමට ගියහම අපෙන් අහනවා කෝ හිනා වෙන්න කෑලි නෑනෙ කියලා. මං කතා කරන මාතෘකා එක්ක කොහොමද හිනා කෑලි ඔබන්නේ. මේ ඉල්ලුමට සැපයුම දෙන පිරිසක් ඉන්නවා. ඒ අය නාට්‍ය රට වටේ පෙන්වනවා. ඔබ කියන විදියට ඔබේ නිර්මාණ ජනතාව පිළිගන්නේ නෑනේ. ඔබ ඉලක්ක කරලා තියෙන්නේ සුළුතරය. ඇත්ත. මොනම කලාවක්වත් පොදු ජනතාව වෙනුවෙන් කරන්නේ නැහැ. ඒ ඒ නිර්මාණවලට බැඳිච්ච සුළුතරයක් ඉන්නවා. ඒ පිරිස හැමදාම ඉන්නවා. නාට්‍ය කියන්නේ අපේ රටේ ඇතුළේ දාපු කලාවක්. එහෙම නැත්නම් නොකළ යුතු කලාවක්. අපට තියෙන අසනීපෙ තමයි මේ අතෑරලා දාලා තියෙන ඉඩමෙම ජීවත් වීම. නමුත් ආර්ට් බලන පිරිස ඔළු ගෙඩි ගාණින් අඩු වුණාට ඒ හැම දෙනාම බුද්ධිමත් පිරිස. ඒ නිසා මගේ නාට්‍ය බලන්නේ ටික දෙනයි කියලා මම දන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඉන්න සුළුතරය රැක ගන්න හරි ක්‍රමවේදයක් තිබිය යුතුයි. කනව බොනවා නානවා නිදා ගන්නවා වගේ නාට්‍ය බලනවා කියන්නේ කවදාවත් ජීවිතේ අංගයක් නෙවෙයිනේ. ඒත් ඒක ජීවිතයේ අංගයක් කර ගත්ත පිරිසක් තවමත් ඉන්නවා. මං නාට්‍ය කරන්නේ ඒ අයට. මුදලාලිට ඕන විදියට නාට්‍ය කරන්න මට බැහැ. දැන් බලන්න ටෙලි නාට්‍ය. ටෙලි නාට්‍ය කරවන්නේ මුදලාලිට ඕනෑ විදියට. ඒ අය තමයි හැම දේම තීරණය කරන්නේ. අන්තිමට හැමෝම නරඹන්නේ මුදලාලිට යන දේ. ටිකක් හිතල බලන්න ඇත්ත ඒක නේද? වේදිකා නාට්‍ය පාඩු නිසා මුදලාලිලා මේකට අත තියන්නේ නෑ. ඒත් සමහර නාට්‍ය ඉතා ඉහළ විදියට ආදායම් උපයනවා. චේ වේදිකාවට ගෙනෙන්න ඔබ සූදානම් වන්නේ තරුණයන් රඟහලට ගෙන්වා ගන්නද? චේ කියන්නේ තරුණයන් ආදරය කරන චරිතයක්? මෙහෙමයි, අද චේ ගුවේරා කිව්වම දන්නේ කවුද? කොල්ලන්ගෙන් ඇහුවොත් ඒ කවුද කියලා මගෙන් අහයි. අඩුම තරමේ චේ අයිතිකාරයෝ ඒ මිනිසා ගැන හරියට දන්නේ නැහැ. ඉතිං තරුණයෝ මගේ නාට්‍ය බලන්න ඒවිද? ඒව හිතළු. මේ කතා කරන විදියට බුද්ධික ඔබේ පෞද්ගලික ආර්ථික මට්ටම බින්දුවටම වැටිලනෙ? ඔව් ඇත්ත. ජීවිතය පරදුවට තියපු කෙනෙක් තමයි මේ රටේ වසර 20 කලාව කරන්නේ. මේක ලොකු රෝගයක්. ඇත්තටම අපි ජීවිතේ කෙළවගෙන ඉන්නේ. මම මට ඕන විදියට නාට්‍ය හදනවා. ඇත්තටම අපි අනාථ වෙලා ඉන්නේ. වැලි ගොඩ දැම්මනං මීට වැඩිය හොඳයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා. මගේ පවුලේ කට්ටිය ජීවත් වෙන්න ඕනනේ. ඉතිං මේකට මොකද කරන්නේ. වෙනත් කලා මාධ්‍යයකට යන්න පුළුවන්නේ? ඔව් ඇත්තටම. වේදිකා නාට්‍ය කලාව දාල වෙනත් කලාවකට යන්නේ නාට්‍ය කලාව ඇතුළෙ වැඩ කරන්න බැරි ෆේල් වෙච්ච අය. වේදිකා නාට්‍ය කලාව කියන්නේ පුළුල් විෂයක්. ඒකෙ කෙළ පැමිණි උගත් බුද්ධිමත් අයත් ඉන්නවා. එත් ඉතිං අපි නං එහෙම නෑ. තවම ඉගෙන ගන්නවා. චිත්‍රපටයක් කරන්න හිතක් නැද්ද? මොකද නැත්තේ . . . උඩින්ම තියෙනවා. එතකොට ඔබත් වේදිකාව දාල එන්නේ ෆේල් නිසාද? නෑ . . . මං වේදිකාව දාල එන්නේ නෑ. චිත්‍රපටයක් කරන්නේ ජීවත් වෙන්න මාර්ගයකුත් අවශ්‍ය නිසා. වේදිකා නාට්‍ය කරලා සන්තෝසෙන් මැරෙන්න පුළුවන් වුණාට ජීවත් වෙන්න බෑ. වේදිකා නාට්‍ය කියලා ලටපට කළොත් ඉතිං සල්ලි තමයි. ඔබ නියුතු මාධ්‍යය ගැන නිතරම ඉන්නේ තෘප්තියෙන් නෙවෙයි. කලාකරුවකු වීම ගැන පහන් හැඟීමක් නැද්ද? විමල් කුමාර ද කොස්තා දන්නවනේ. ගාමිණී ෆොන්සේකා ගාණට හිටිය මිනිහෙක්. නියම දක්ෂයෙක්. ඒත් තවම මිනිහට ඉන්න ගෙයක් නෑ. මං මේ ළඟදි දැක්ක කොට්ටාවේ ඉන්නවා. කෝ එච්චර වැඩ පෙන්නපු මිනිහට ගෙයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණාද? දැන් සමහර අය කියයි ඒ අය සල්ලි තියෙන කාලේ ඉතුරු කළේ නෑ. ජීවිතේ ප්ලෑන් කළේ නෑ කියලා. ජීවිතේ නූලට ප්ලෑන් කරන්නේ වෙළෙන්දෝ. කලාකාරයට ජීවිතේ ප්ලෑන් කරන්න වෙලාවක් නෑ. ඒ නිසයි විමල් කුමාර ද කොස්තාට එහෙම වුණේ. ඒ මනුස්සයා කලාව කළා මිස බිස්නස් කළේ නෑ. මං ගැන කවර කතාද? සිංදු කිරිල්ලිට මොකද වුණේ? ඒකට වුණෙත් මේකම තමයි. වැඩිපුර නාට්‍ය තියෙන්නේ ගෙදර. මේ නාට්‍යයේ චේ තෝර ගත්තේ කොහොමද? මං වැඩේ පටන් ගන්න කොටම මහේන්ද්‍ර වීරරත්න ඔළුවට ආවා. මං මහේන්ද්‍රව චේ කරන්නේ මේ කතාවේ චේ විදියට විතරයි. චේ වෙන්න කාටවත් බැහැ. ඒක අපි මුලින්ම අවබෝධ කරගත යුතුයි. ‘මරා දැමූ ජීවත්වන මිනිසා’ හි අනෙක් පිරවර ගැන කතා කරමු. ගයනි නිසංතිකා, නිල්මිණි පෙරේරා, රජිත හේවාතන්ත්‍රිගේ, ධනුෂ්ත චින්තක, හර්ෂ සුමිත්‍ර චරිත රඟපානවා. අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ, ආලෝක නිර්මාණය කපිල කිත්සිරිගෙන්. වේදිකා පරිපාලනය ධනුෂ්ක චින්තක සමඟ හර්ෂ සුමිත්‍ර. පසුතල හා ඇඳුම් නිර්මාණය කළෙත් මම. මේ නාට්‍යය දුවයිද? දුන්නම කන්නං කාල දුවන්නං සමාජේ ඉන්න නිසා අනාවැකි කියන්න බැහැ.
ඉස්සරහ මොන වගේද? ඒක කියන්න බැහැ. මොනව වෙයිද කියලා නිශ්චිතව කියන්න දන්නේ නැහැ. |