|
අස්ගාර් ෆර්හාදිගේ ප්‍රංශ ගමන
හොලිවුඩ් නිෂ්පාදනයක් නොවන, කැපී පෙනෙන තරු දකින්නට නොමැති, මහා පරිමාණයේ ප්‍රචාරක ව්‍යාපෘතිවලින් නොපිරුණු සිනමාපටයක් සති දෙකක් තරම් සුළු කාලයකදී මෙවැනි සාර්ථකත්වයක් හිමි කර ගැනීම දුර්ලභ සිද්ධියකි. සියලු ජනමාධ්‍ය වෙතින් ලබා දුන් විචාරක ප්‍රශංසාව චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපෑ බව පැහැදිලිය. එහි ප්‍රධාන නිළිය වූ බෙරනිස් බේජේ මෙවර කෑන්ස් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා සම්මානය හිමි කර ගැනීම ද තවත් රුකුලක් වන්නට ඇත. එහෙත් යුරෝ මිලියන 6.5 ක් වැනි අඩු මුදලින් නිම කරන ලද මේ අගනා සිනමාපටයේ සාර්ථකත්වය පසු පස සිටින්නේ එක් පුද්ගලයෙකි.ඒ එහි අධ්‍යක්ෂවරයා වන අස්ගාර් ෆර්හාදි. පසුගිය මැයි මාසයේ මුල් සතියේ ලා පැසේ චිත්‍රපටය මුල් වරට පැරිසියේ ර්ඬ2 සිනමා සංකීර්ණයේ එක් විශාල ශාලාවක මුල් වරට ප්‍රදර්ශනය වූ මොහොතේ බොහෝ ලැජ්ජාශීලී ලෙස වේදිකාවට නැගුණු අස්ගාර් ෆර්හාදි දහසකට අධික වූ සිනමා රසිකයන් වෙතින් ලැබුණු විනාඩි හයක් හතක් දිගු වුණු අත්පොළසන් ප්‍රණාමය විඳ ගත්තේ අපහසුවෙනි. ඔහු සිරුරෙන් කුඩා මිනිසෙකි. අඩුවෙන් කතා කරන, හැකියාවක් ඇත්නම් කතා නොකරම සිටීමට කැමැති අයෙකි. තමන්ට නොපුරුදු භාෂාවකින්, නොපුරුදු දේශයක, නොපුරුදු සංස්කෘතික පසුබිමක් මත චිත්‍රපටයක් තනා එය ලොව වඩා වැදගත්ම සිනමා උළෙල ලෙස අවිවාදයෙන් පිළිගැනෙන කෑන්ස් උළෙලේ තරගකාරී අංශය වෙත රැගෙන යන්නට මේ කුඩා මිනිසා පැමිණි ගමන දිගු වුවක් නොවේ. 1972 වසරේ ඉරානයේ ඉස්ෆාන් නමැති ප්‍රදේශයේ ඉපදී උසස් අධ්‍යාපනයෙන් පසුව වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ යෙදී සිටි අස්ගාර් තමන්ගේ මුල්ම සිනමාපටය නිර්මාණය කළේ 2006 වසරේ ෆයර්වර්ක්ස් වෙන්ස්ඩේ යන නමිනි. එහෙත් ඔහුගේ සිනමා ගමන පමණක් නොව ඔහු දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ 2009 වසරේ අබවුට් එලී නම් නිර්මාණයයි.
දවස් තුනක නිවාඩුවක් සඳහා තම දරුවන් ද කැටිව කැස්පියන් මුහුදු වෙරළට යන විවාහක
මිතුරු මිතුරියන් පිරිසක් අතරට එලී නමැති අවිවාහක තරුණිය එක් වන්නේ එක් බිරිඳකගේ
ආරාධනයෙනි. එහෙත් ගතව යන නිවාඩුවේ එක් දිනයක දියේ ගිලෙන්නට යන දරුවකු බේරා ගැනීමට
යන එලී අතුරුදන් වෙයි. ඇය මුහුදේ ගිලී මිය ගියාද? එසේත් නැතිනම් කිසිවකුටත් නොකියා
කොහේ හෝ යන්නට ගියාද? ඇය කාගේ කවුරුන්දැයි අවසානයේදී කිසිවෙක් නොදනියි. නාඳුනන
තරුණිය නිසා සදහටම වෙනස් වන මිතුරු මිතුරියන්ගේ ජීවිත පිළිබඳව අස්ගාර් කියන අපූරු
සිනමා සිත්තම වෙනුවෙනි බර්ලින් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඔහු
දිනා ගත්තේ. ඉන් වසර දෙකකට පසුව ඔහු තැනූ අ සෙපරේෂන් චිත්‍රපටය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා නොකළ සිනමා විචාරකයෙක් ඇත්දැයි සිතා ගැනීම අපහසුය. එය හොඳම විදේශ චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය හිමි කර ගත් මුල්ම ඉරාන චිත්‍රපටයයි. බර්ලින් සිනමා උළෙලේ රන්වලසා සම්මානය හිමි කර ගත් මුල්ම ඉරාන චිත්‍රපටයයි. මේ අනර්ඝ චිත්‍රපටයේ විනාඩි කීපයක් පුරා දිවෙන මුල් ජවනිකාව නැරැඹීමෙන් සිනමාකරුවකු ලෙස අස්ගාර් ෆර්හාදි ගේ විශිෂ්ටත්වය වටහා ගත හැකිය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන නදාර් සහ සිමින් අධිකරණය ඉදිරියට පැමිණ සිටින්නේ තමන්ගේ දික්කසාදය වෙනුවෙනි. කිසිදු ඡේදනයකින් තොරව දිවෙන මේ ජවනිකාවේ නළු නිළි යුවළ කතා කරන්නේත් වාද කර ගන්නේත් කැමරාවට මුහුණපාමිනි. එනම් විනිසුරුට මුහුණ දෙමිනි. තවත් අයුරකින් දක්වන්නේ නම් මේ විනිසුරු යනු චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාය. එතැන් පටන් ආරම්භ වන චිත්‍රපටයේ කතාව තුළින් වත්මන් ඉරානයේ දැවෙන ප්‍රශ්න කීපයක් බොහෝ සංයමයකින් සීමාවන් පැන නොයා කියාපාන්නට අස්ගාර් ෆර්හාදි සමත් වෙයි. අ සෙපරේෂන් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ප්‍රධාන පෙළේ සිනමා සම්මාන කීපයක්ම දිනාගත් පසුව 2012 වසරේ අප්‍රේල් මාසයේ අස්ගාර් ෆර්හාදි විසඳාගත නොහැකි ප්‍රශ්නයකට මැදි විය. ඔස්කාර් සම්මානය දිනාගෙන ගතව යන දෙවන මාසයේ දිනක හොලිවුඩ් පුරයේ චිත්‍රපටයක් නිපදවන්නට ඔහුට ආරාධනා ලැබී තිබුණි. මේ වෙනුවෙන් ෆොක්ස් ආයතනය ඩොලර් මිලියන 15 ක මධ්‍යම ප්‍රමාණයේ වැයක් දරන්නට සූදානමින් සිටින බව කියා සිටියේ අලුතින්ම පත්ව සිටි ඔහුගේ හොලිවුඩ් ඒජන්තවරයාය. මේ හොලිවුඩ් ආරාධනය ලැබෙන්නට දින කීපයකට පෙර ජර්මනියේ කැපී පෙනෙන නිෂ්පාදන ආයතනයක් වන එක්ස් ෆිල්ම් ක්‍රියේෂන් පූල් විසින් යුරෝ මිලියන 10 ක් අස්ගාර් වෙනුවෙන් ලබා දෙන්නට කැමැත්ත පළ කර තිබුණි. එපමණක් ද නොවේ, ප්‍රංශයේ මෙමන්ටෝ ෆිල්ම් නමැති නිෂ්පාදන හා බෙදා හැරීමේ ආයතනය සිනමාපටයක් සඳහා අස්ගාර්ගේ කැමැත්ත ලැබෙන තුරු නොඉවසිල්ලෙන් සිටියහ. අන්තර් ජාතික වශයෙන් කැපී පෙනෙන සිනමා උත්සවයකින් සම්මානයක් දිනා ගැනීම හේතුවෙනි අස්ගාර් ෆර්හාදි ඉදිරියේ මේ අගනා අවස්ථාවන් උදා වී තිබුණේ.
අස්ගාර් ෆර්හාදි ප්‍රංශය තෝරා ගත්තේ ඇයි? එකම පිළිතුර නම් අද දවසේත් කලාත්මක සිනමාවේ තෝතැන්න ලෙසින් ප්‍රංශය සැලකීමයි. සිනමාපටයක් යනු හුදෙක්ම වෙළඳ භාණ්ඩයක් නොව කලාත්මක නිර්මාණයක් ලෙස ගරු කරනා රට ප්‍රංශයයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට සියයට සියයක්ම නිර්මාණයේ අයිතිය ලබා දෙන රට ප්‍රංශයයි. මෝෂන් මකමල්බාෆ්, සමීරා මකමල්බාෆ්, අබ්බාස් කියරොස්තාමි, මොහම්මඩ් රසොලොෆ්, ජෆර් පනාහි වැනි අයට නිර්මාණ සෙවණ ලබා දුන් තැන ප්‍රංශයයි. අස්ගාර් මාස තුනක කාලයක් පුරා ප්‍රංශ බස හැදෑරුවේය. එහෙත් දර්ශන තලයේ ප්‍රංශ නළු නිළියන්, කාර්මික ශිල්පීන් සමඟ කටයුතු කිරීමට තමන් ඉගෙන ගත් ප්‍රංශ බස ප්‍රමාණවත් නොවූ නිසා ඔහුට භාෂා පරිවර්තකයකුගේ සහායද ලැබුණි. අස්ගාර් සිනමාවේ වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ රූපගත කිරීමට පෙර මාස තුනක කාලයක් පුරා සියලුම නළු නිළියන් සමඟ පුහුණුවීම් කටයුතු කිරීමයි. වේදිකාවෙන් පැමිණි අයකු නිසා ලැබුණු මේ පුරුද්ද ක්‍රියාවට නැංවීම ප්‍රංශයේදී අපහසු වූයේ එය ප්‍රංශ නළු නිළියන්ට විරල අත්දැකීමක් වීමයි. තමන් පුහුණු වන ජවනිකාවට සම්බන්ධ නොවූව ද සියලුම නළු නිළියන්ට පුහුණුවීම් කටයුතු සඳහා එක්වන්නට අස්ගාර් විධාන කර තිබුණි. මේ අනුව මාස තුනක කාලයක් පුරා නළු නිළියන් පනස් දෙනෙකුට (ප්‍රධාන හා කුඩා චරිත නිරූපණය කරන) විශාල පුහුණුවීමේ ශාලාවේ රැඳී සිටින්නට සිදු විය. ‘මාස තුනක් පුරා මෙවැනි නොපුරුදු කාර්යයක් කරන්නට මට හැකියාව ලැබුණේ ප්‍රංශයේ නිෂ්පාදන ආයතනය මා තෝරා ගත් නිසයි. මෙවැනි කාර්යයක් කිසිදු විටක හොලිවුඩ් පුරයේ කරන්නට හැකියාවක් නැහැ’ අස්ගාර් පසු දිනෙක කියා සිටියේය. අස්ගාර් ෆර්හාදිගේ මුල්ම යුරෝපා සිනමා නිර්මාණය සාර්ථකව තිරගත වන මේ මොහොතේ රටවල් විසි අටක බෙදා හැරිමේ කටයුතු වෙනුවෙන් මෙමන්ටෝ ෆිල්ම් ආයතනය සූදානමින් සිටියි. වර්ෂ 2012 ගෝල්්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම විදේශ චිත්‍රපටය වෙනුවෙන් සම්මානය ලබා ගත් මොහොතේ අස්ගාර් මුවින් පිට වුණු වදන්වලින් මේ ලිපිය අවසන් කිරීම වඩා සුදුසු වන්නේ ඔහුගේ ඒ වදන් කීපය තුළින් ලෝකයා තම මවුබිමේ වැසියන් දෙස බලනා බැල්මට මනා පිළිතුරක් ඔහු සපයන හෙයිනි. ඔහු මෙසේ කීවේය. මේ වේදිකාවට පැමිණෙන මොහොතේ කිව යුත්තේ කුමක්දැයි මා සිතුවා. මගේ නළු නිළියන් ගැන කියන්නේ ද, මගේ කාර්මික ශිල්පීන් ගැන කියන්නේ ද, මගේ කාරුණික බිරිඳ ගැන කියන්නේ ද, එහෙත් මේ මොහොතේ මා මගේ මව්බිමේ වැසියන් ගැන යමක් කියන්නට කැමතියි. ඔවුහු සාමය අගය කරන ජනතාවක් . . .
|