වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

මේ තීරුවට තැපැල්පත් යොමු කරන විටදී කෙටියෙන්, පැහැදිලිව තැපැල්පත්වල පමණක් ඔබේ ප්‍රශ්නය ලියා එවන්න. එකම පැනය තැපැල්පත් කිහිපයක ලිවීමෙන් ද වලකින්න.

සිංහල සිනමාවේ ඔබ දුටු හොඳම සටන් ජවනිකා තුන නම් කරන්න. මගේ අදහස නම් රුහුණු කුමාරි, හාර ලක්ෂය හා සිරිපාල හා රන් මැණිකා හි සටන් ජවනිකා තුනයි.

මහලේකම් ප්‍රනාන්දු - මොරටුව

ඔබේ අදහස එසේ නම් මගේ අදහස වන්නේ ගැටවරයෝ, චණ්ඩියා හා හාර ලක්ෂය යන චිත්‍රපට ත්‍රිත්වයේ සටන් ජවනිකායි.

කෝමළ හසරැලි පාමින් මධුර භාෂිත සුමිහිරි හඬින් නිිවේදන කටයුතු කරන නව පරපුරේ එෆ්. එම්. බටිලිති නිවේදිකාවන්, පැණි බේරෙන වේග රිද්ම සිංදු කියන ගායක, ගායිකාවන්ගේ හඬ ඇසෙන පෞද්ගලික බස් රථයක ගමන කෙතරම් සුවදායකද? ආශ්වාදජනක ද නේද අර්ජුන්?

විමල් රණසිංහ - කොළඹ 14.

හ්ම් . . . හ්ම් . . . සමහර වෙලාවට නම් හොඳයි. ඒත් සමහර වෙලාවට නම් බස් රථයේ ජර බර සද්දෙ ඊටත් වැඩිය හොඳයි විමල්.

ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති අසෝක සේරසිංහ මැතිතුමා රංගන ශිල්පී වින්සන්ට් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ යුවළගේ පුතෙක්ද? සහෝදරයෙක්ද?

යූ. එම්. සුමනදාස - මූතියම්මගම, තිස්සමහාරාමය

පේන හැටියට නම් කිසිම නෑකමක් තියෙයි කියලා හිතන්න බැහැ.

සිංහල සිනමාවේ නොමැකෙන නමක් තැබූ ප්‍රේම් ජයන්ත් වැනි නළුවන් ගැන අමතක වෙලාද? ඔහුගේ සිනමා දිවිය ගැන කෙටියෙන් යමක් ලියන්න.

කරුණාසේන කොට්ටහච්චි – නැදිමාල, දෙහිවල

ප්‍රේම් ජයන්ත් මියගොස් දශකයකටත් වඩා වැඩියි. ඔහු මෙරට සිනමාවේ පළමු සුපිරි නළුවා හැටියට හැඳින් විය හැකියි. උමතු විශ්වාසය චිත්‍රපටයේ සුළු චරිතයකින් සිනමාවට ඇවිත්, සුජාතා චිත්‍රපටයෙන් මේ රටේ ජනප්‍රියම නළුවා වූ ප්‍රේම් ජයන්ත්, සැඩ සුළං වැනි චිත්‍රපට හරහා අතිශය ජනාදරයට පත් වුණා. ඔහුගේ ජනප්‍රියතාව කෙතරම් ද යත් ඒ දවස්වල උපන් දරුවන්ට ඔහුගේ නම හෝ නමේ කොටසක් තබන්නට මවුපියන් උත්සුක වුණා. මම දවසක් පුවත්පතක දුටුවා ගරු අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් නමටත් ඇදී ඇත්තේ ඒ ජනප්‍රිය නමෙන් කොටසක් බව.

නමුත් ඔහු සමඟ රඟපෑ ඩොමී ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති වැනි නළුවන් සමඟ සසඳන විට දී ප්‍රේම් කිසිසේත්ම දක්ෂයකු නොවේ. ඔහුගේ ජනප්‍රියත්වය හැටේ දශකය ආරම්භයත් සමඟම අනුක්‍රමයෙන් නැතිව ගියා. ඊට පසු ඔහු මිය යන තෙක්ම සිංහල සිනමාවේ හොඳම ප්‍රචාරක පුවරු නිර්මාණය කළේ ප්‍රේම් ජයන්ත් බවයි මගේ හැඟීම. මරදාන හන්දියේ ඒ දවස්වල ප්‍රේම් ජයන්ත්ගේ නමින් ඇඳුණු අති විශාල චිත්‍රපට පුවරු ඒ ඇතැම් චිත්‍රපටවලට වඩා ලස්සන බවයි මගේ හැඟීම. කෙසේ වුවත් අද ප්‍රේම් ජයන්ත් නම් නළුවකු ගැන දන්නේ ඉඳහිට හෝ ඔබ වැන්නකු පමණයි.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ සිනමාවට නැගුණ කෘතීන් මොනවාද?

ඩඩ්ලි ගෝමස් - මොරටුව

මඩොල් දූව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය

ගංගා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා කවුරුන්ද?

ජයලත් – මල්කෝන

එහි අධ්‍යක්ෂණය පතිරාජ එල්. එස්. දයානන්ද සමඟින් සී. ටී. පෙරේරා. එහි නිෂ්පාදනය ඩී. ටී. පෙරේරාගේ.

ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රධාන චරිතය රඟපාන වේදිකා නාට්‍යයකට ‘රඟපෑම් ඉවරයි’ කියලා යොදා ගන්නේ ඇයි?

චාමර ප්‍රේමනාත් විජේසිංහ – පිළියන්දල

චාමර, කරුණාකරලා නාට්‍යය බලන්න.

හොලිවුඩ් රිදී තිරයේ මාලන් බ්‍රැන්ඩෝ, හින්දි රිදී තිරයේ දිලිප් කුමාර්, දෙමළ රිදී තිරයේ ශිවාජි ගනේෂන්, සිංහල රිදී තිරයේ ගාමිණී ෆොන්සේකා යන නළුවන්ගේ රඟපෑමේ දක්ෂතාව එක හා සමානයි නේද?

ජයම්පති නවරත්න – මාතලේ

මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ශිවාජි ගනේෂන්ට කිසි විටෙකත් දිලිප්, බ්‍රැන්ඩෝ, ගාමිණී යන අය අසලටවත් එන්න බැහැ. බ්‍රැන්ඩෝට දිලිප් හෝ ශිවාජි වෙන්නත් බැහැ. හැබැයි ගාමිණීට මේ ඔක්කොම කරන්නට පුළුවන්කම තිබුණා. දිලිප්ට කවුරු වෙන්න පුළුවන් වුණත් ශිවාජි වෙන්න නම් බැහැ.

වේදිකාවේදී දක්ෂතම රංගනයන් ඉදිරිපත් කරමින් සිංහල සිනමාපට කිහිපයකම රඟපෑ රංජිත් සුරංග දැන් කෝ?

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව

ඔහු මිය ගියා.

රන්දෙණිගල සිංහයා චිත්‍රපටයේ ‘තප්පදෝරුවාගේ’ චරිතය රඟපෑ තරබාරු නළුවා කවුද?

මහින්ද වෑකව - බෙලිගල

ඔහු ජයලත් ප්‍රනාන්දු. ක්ෂේත්‍රයේ හිත හොඳ මිනිසකු ලෙස සිත් දිනා සිටි ඔහු කලකට ඉහත දී දිවියෙන් සමුගත්තා.

පැරැණි චිත්‍රපට හා අනෙකුත් චිත්‍රපට රජය විසින් සංරක්ෂණය නොකළත් එදා චිත්‍රපට දැනට සංරක්ෂණය කරන තිස්ස නාගොඩවිතානට අදාළ බලධාරීන් සහයෝගය දිය යුතුයි නේද?

සරත් රණසිංහ – මාලිඳ

කාරණාව ඇත්ත.

එම්. එස්. ආනන්දන් මහතා දැන් කෝ?

එච්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

ඔහු කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ යන දෙරටේම ජීවත් වෙනවා.

කරුණාරත්න අබේසේකර මෙතෙක් රචනා කළ ගීත අතුරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීත පහ නම් කරන්න.

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා, ඥානා කුමාරි පෙරේරා හා මධු සුරංග පෙරේරා - කළුබෝවිල

ඔබ මට එක සමාන වටිනා මැණික් කැට අතරින් කොයි මැණික අගේද යන වර්ගයේ පැනයක් විමසුවේ. එයට හේතුව කරුණාරත්න අබේසේකර සූරීන්ගේ සමහරක් ගීත අග්‍රගණ්‍ය නොවුණත් අතිශය හෘදයංගම රචනා වන නිසයි. මේ අතරින් ප්‍රථමයෙන් මගේ මතකයට නැගෙන ගීත පහ ඔබට කියන්නම්.

බුද්ධං සරණං ගච්ඡාමි, ඉපිද මැරේ, අද පමණක් නොවේ අපට, අම්මා මාව දොයි කරන්න, මධු මල ලෙස මුදු.

ගුවන් විදුලියේ විනෝද සමය රඟපෑ ශිල්පීන්ගෙන් දැනට ජීවත්ව සිටින්නේ කවුද?

වික්ටර් පල්ලිමුල්ල – හැඳල

බර්ටි ගුණතිලක, මර්සි එදිරිසිංහ සහ ඇල්ෆ්‍රඩ් පෙරේරා.