|
මටත් අනාවැකියක් කියන්න පුළුවන්ද?
රංජිත් පියසිංහ
මේ දවස්වල දෙරණ රූපවාහිනියේ සතියේ දින පහෙහි රාත්‍රී 8.30 ට විකාශය වන ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයෙහි ‘ශාන්ත මිනිසා’ ලෙස රඟමින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණෙන ඔහු රංජිත් පියසිංහයි. පසුගිය දිනවල තිරගත වූ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයෙහි කොණ්ඩඤ්ඤ බමුණා ලෙස ඔබ හමුවට පැමිණි රංජිත්, රංගන ක්ෂේත්‍රයෙහි දිගුª ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටියි.
* මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ ‘ශාන්ත මිනිසා’ නිසා මම මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා. සමහරු මටත් අනාවැකියක් කියන්න පුළුවන් දැයි කියලා අහන වෙලාවල් නම් බොහොමයි. ඒක මට සතුටක්. ඒ වගේම මා රඟපාන චරිතය පුළුවන් තරම් හොඳට කරන්නත් මහන්සි ගන්න බවත් කියන්න ඕනෑ.
* පස්වග මහණුන්ගෙන් බාලම බමුණා වුණු කොණ්ඩඤ්ඤ වීමට ඔබට ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේදී අවස්ථාව හිමි වුණා. ඒක ඔබට ලැබුණු අලුත්ම අත්දැකීමක්ද? ‘ඒ වෙන කොට මම ‘සොඳුරු ගිම්හානය’ ටෙලි නාට්‍යයෙහි රඟපාලයි තිබුණේ. ඊට අමතරව නිර්මාණ කිහිපයකටමත් රංගනයෙන් දායක වී තිබුණා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයට ශිල්පීන් ගන්න බව මම මුලින්ම දැනගත්තේ අනරාධපුරයේ සිටින මගේ හිතවතෙක් වූ අජිත් අයියාගෙන්. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට හිටිය කීර්ති රත්නායකගෙන් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගත්ත මා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණා. බමුණන් සමූහයට තේරුණ මම පළමු රූගත කිරීමට පැමිණි දිනයේදී පස්වග තවුසන් අතර සිටින කොණ්ඩඤ්ඤ බමුණා විදියට තෝරා ගත්තා. චරිතයට මාව යෝජනා වුණාට පස්සේ තරමක බියක් හිතේ ඇති වුණා. ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි ද කියන කාරණය නිසයි. විදේශ ජාතිකයෙක් වුණු රොබට් ලින්ක් වගේම සමන් වීරමන්, නවීන් ගුණරත්න, චන්ද්‍ර රත්නම් කියන මහත්වරුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා චරිතය ප්‍රති නිර්මාණය කිරීම මට පහසු වුණා. රූගත කිරීම් අතරෙදි සිදුවුණේ අපූරු සිදුවීමක්. එදා රූගත කිරීම් තිබුණේ සිතුල්පව්වේදී. සිතුල්පව්ව පාමුල තවුසන් වගේ සිවුරු පොරවා ගෙන සිටි අපේ පිරිසට එතනට ආව බැතිමත්තු පිරිසක් වඳින්න ගත්තා. අපට කිසිවක් කියන්න ලැබුණේ නැහැ. ඒ අය ගියාට පස්සේ අපට තේරුම් ගිය කාරණයක් වුණේ අපිව තවුසන් විදියට ඒ අයුරින්ම වෙස් ගන්වා ඇති බවයි.’
* ඔබ රංගනයට පිවිසෙන පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද? ‘මම ඒලෙවල් කරන්නේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ. පාසලේ තිබුණ කලා උළෙලේදී නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. සංගීතය වගේම සටන් කලාවත්, බැලේ නර්තනයත් හැදෑරුවේ සිතේ තිබුණු ආශාව නිසා. ඒ සියල්ල හදාරන මම ගිටාරයට බොහොම ආදරය කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මා රංගනය කියන අංශයට යොමු වන්නේ විජය කුවේනි චිත්‍රපටයේ යුද සෙබලෙක් විදියටයි. ‘රූට්ස් තියටර් ඇකඩමියේ’ වැඩිදුරටත් රංගනය හදාරන මා ‘කුස පබා’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ඒ අරක්කැමියෙකුගේ චරිතය මඟින්. මේ වන විට වෘත්තිය රංගනය ලෙස තෝරා ගෙන තිබෙන මා දේවින්ද කෝන්ගහගේ ‘බව සසර’ චිත්‍රපටයේ ‘ධීර’ ගේ චරිතය රඟපෑවා. මේ දවස්වල චන්දික විජේසේනගේ සිහින සින්ඩරෙල්ලා. ඊට අමතරව ‘උපන්දා’ චිත්‍රපටයේත් රංගන කටයුතුවල යෙදෙනවා. විජේසිංහ මලල්පොළගේ ‘සීතාවක රාජසිංහ’ වේදිකා නාට්‍යයේ කොනප්පු බණ්ඩාරට පණ පොවන්නේත් මමයි.’ මෙවැනි නිර්මාණ රැසක් සමඟ රංගනයෙහි ඉදිරි ගමන් යන මේ රංජිත්ට කතා කිරීමට ඔබත් කැමැති නම් 0716445136 යන දුරකථන අංකයට කතා කරන්න ඔබටත් හැකියි.
|