වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ලතා තුන්වැනි තැනට දැමූ ශ්‍රෙයා ගී ලොව සුරූපිනිය

ලතා තුන්වැනි තැනට දැමූ ශ්‍රෙයා ගී ලොව සුරූපිනිය

දහ අට හැවිරිදි සුරූපී යෞවනිය චිත්‍රාගාරයට පිවිසියේ ගැහෙන හදිනි. වැසි පොද පොළොව සිප ගනිමින් පැවැති ඒ මොහොතේදී එහි හඬ ද පරයමින් ඇයට සිය හද ගැස්ම ඇසුණි. ඊළඟට හද ගැස්ම හා වැසි පොදවල නාදය පරයමින් ශ්‍රෙයාගේ ස්වර නාද වන්නට පටන් ගත්තේය. ‘ඛේරි පියා’ ගීතය ඇරැඹිණි. අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ඇතුළු ශබ්දාගාරයේ සියල්ලන්ම මොහොතකින් දෑස් පියාගෙන ශ්‍රෙයාගේ ගීයට දැහැන්ගත විය. ඇය දෑස් විවර කළේ ‘එහෙනම් අපි පටිගත කරමු’ යන අන සංජේගෙන් ලැබේවි යන බලාපොරොත්තුවෙනි. ‘ ගීතය පටිගත කරලා ඉවරයි, අති සාර්ථකයි.’ අධ්‍යක්ෂවරයාගේ ඒ වදන් පෙළින් ඇය අදහාගත නොහැකි පුදුමයකට පත් වූවාය. ඒ දැන් විසිනව හැවිරිදි වියේ පසුවන ශ්‍රෙයාගේ සිනමා ගීත චාරිකාවේ ආරම්භයයි.

දේව්දාස් ඇයගේ ගායන ක්ෂේත්‍රයට ආශිර්වාද වැස්සක් විය. සිනමාපටයේ පාරෝගේ මුවින් ගැයුණු ‘සිල් සිලා යේ චාහත් කා, මොරේ පියා, ඩෝල රේ ඩෝලා, චලක් චලක්, ඛේරි පියා, ගීත පහේම හඬ ශ්‍රෙයාගේය. පාරෝගේ චරිතයේ ජීවත්වෙමින් ඇය අවදි කළ ගී හඬට සම්මාන පිට සම්මාන ලැබුණි. 2002 වසරේදී ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම ගායිකාව, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම ගායිකාව, කුසලතා පිරි නවක ගායිකාවට හිමි ආර්. ඩී. බර්මන් ෆිල්ම්ෆෙයාර් සම්මානය තිළිණ වුණේ ඇයටයි.

භාරත ගීත ක්ෂේත්‍රයට මේ කෝකිල ගී නාදය එක් රැයකින් උරුම වූවක් නොවෙයි. එය ශ්‍රෙයාගේ මව ඇයට ළමා වියේ සිට ලබා දුන් දායාදයයි. ශ්‍රෙයා 1984 මාර්තුª 12 වැනිදා උපත ලැබුවේ බෙංගාලි හින්දු පවුලක දියණියක වශයෙනි. න්‍යෂ්ටික බලාගාර ඉංජිනේරුවරයකු වූ පියා බිෂ්වජිත් ගෝෂාල් සහ සාහිත්‍ය උපාධිධාරිණියක වූ මව ෂර්මිස්තා මුලදී ඇය පරමාණු ඉංජිනේරුවරියක කිරීමට සිහින දුටුවාය. එහෙත් රාජස්ථානය අසල පිහිටි ගැමි පරිසරයකින් යුතු රාවත්බාතාහි පරිසරය ඔවුන්ගේ ජීවිත, කලාවේ සෞන්දර්යයෙන් මුසපත් කිරීමට සමත් විය. විශේෂයෙන්ම ශ්‍රෙයාගේ ගීතවත් හඬ තව තවත් අවදිකර ලෝකයාට අසන්නට සැලැස්වීමට තරම් ගීතයට ප්‍රේමයක් මවගේ සිතෙහි ඇති විය.

ප්‍රදේශයේ පැවැත්වෙන කලා උළෙලවලදී පුංචි දියණියට ගී ගැයීමට පුරුදු පුහුණු කළේ මව ෂර්මිස්තාය. ශ්‍රෙයාට වයස අවුරුදු හතරේ සිට මවගෙන් ගී ගැයීමට මනා පුහුණුවක් ලැබුණි. විවිධ සමාජවල ගීත සන්දර්ශනවලට ළමා ගායිකාවක ලෙසින් ඇය සම්බන්ධ කිරීමට ද මව වග බලා ගත්තාය. ශ්‍රෙයාගේ හඬ සංගීතඥානයෙන් සවිමත් කිරීමට ද මව බුද්ධිමත් වූවාය. වයස අවුරුදු හයේ සිටම ශ්‍රෙයාට හින්දුස්ථානී රාගධාරී සංගීතය ඉගැන්වීම ඇය ඇරැඹුවේ දියණියට ජීවිතය ගීතයෙන් ජය ගැනීමට ඇති හැකියාව දුටු නිසාම විය හැකියි.

1995 ඇයගේ සංගීත චාරිකාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි. නවදිල්ලියේ ‘ඕල් ඉන්ඩියා ලයිට් වෝකල් මියුසික්’ තරගයේ ජයග්‍රාහිකාව වූයේ ශ්‍රෙයායි. 1996 ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ළමා රියැලිටි වැඩ සටහනක් වූ ‘ස රි ග ම’ ( දැන් ස රි ග ම ප) 75 වැනි විශේෂ වැඩ සටහනේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි. ‘ඉන්ඩියා ලයිට් වෝකල් මියුසිකල්’ තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් වූ කල්‍යාන්ජී – ආනන්ද්ජී යටතේ සංගීතය හැදෑරීමට තරම් වාසනාවක් ශ්‍රෙයාට ලැබිණි. ‘ස රි ග ම’ වැඩ සටහනට සහභාගි වූ ශ්‍රෙයාගේ අහිංසකත්වය මුසු වූ රිදී සීනු හඬ ඊට සහභාගි වූ සංජේ ලීලා බන්සාලිගේ දෙසවන් පැහැර ගත්තේය. ‘මේ නම් දේව්දාස් සිනමාපටයේ පාරෝගේ හඬමයි’ ඔහුගේ සිත පැවසුවේය. එය සැබෑවක්ම විය.

දේව්දාස්ට සම්බන්ධවීමට පෙර 1998 දී පමණ ඇල්බම සඳහා ශ්‍රෙයා විවිධ ඉන්දීය ප්‍රාන්ත භාෂාවලින් ගී ගයා තිබුණි. එහෙත් ඇයට වාසනාව ගෙනාවේ ‘දේව්දාස්’ ගීත පහයි.

තමන්ගේ සිහින තාරකාවක වූ අයිශ්වර්යා වෙනුවෙන් ගී ගැයීමට ලැබීම ශ්‍රෙයාට සම්මානයක් තරමටම සොඳුරු අත්දැකීමක් විය. දර්ශන තලයේදී දෙදෙනා එකට හිඳගෙන විනෝද වූ අයුරු අද ද ඇයට නොමියෙන මතකයකි. දර්ශන තලයේදී සංජේ, ශ්‍රෙයාගෙන් ලතා මංගේෂ්කාර්ගේ ගී ගයන ලෙස ඉල්ලා සිටි අතර ඇය ද ඒ ඉල්ලීම් නොපිරිහෙලා ඉටු කළාය. සංජේ මෙන්ම ඈෂ් ද මේ ගීතවලට සවන් දී ඇත්තේ දෙඇස් වසාගෙන සිත සමාධිගත කරමිනි.

වසර 2002 දී ඇරැඹුණු සිනමා සුගායනය දැන් බොලිවුඩ් තිර පසුබිමට නැතිවම බැරිය. ඇයගේ කෝකිල නාදයේ මිහිර අමෙරිකාව තෙක් පැතිර ගොස් අවසන්ය. අමෙරිකාවේ ඔහියෝ ජනපදය 2010 ජූනි 26 සිට නම්කර ඇත්තේ ශ්‍රෙයා ගෝෂාල් දිනය වශයෙනි.

ශ්‍රෙයා ගයන සෑම ගැයුමක්ම එකිනෙකා පරයමින් ජනතා දෙසවන් පිනවයි. 2005, 2006 වසරවල ඇයගේ ගී හඬ තිරයේ එකම ගී හඬ කිවහොත් වරදක් නැත. සෙහර් (2005) – ‘අගර් තුම් මිලා ජාඕ’, පරිනීතා (2005) – ‘පියු බෝලේ’, පහේලි (2005) – ‘ධීරා ජල්නා’, ක්‍රිශ් (2006) – ‘ප්‍යාර් කි එක් කහානි’, ‘ලගේ රහෝ මුන්නා බායි’ (2006) – ‘පල් පල් ඛ්ර් පල්’ ලෝ පුරා රසික රසිකාවන්ගේ දෙනෙත්හි සදා රැව් පිළිරැව් දෙන ගීත බවට පත් විය.

මේ වෙන විට හින්දි සිනමාවට පමණක් නොව, මලයාලම්, බෙංගාලි, කන්නඩ, දමිළ සහ තෙළිඟු සිනමාව ද ශ්‍රෙයාගේ ගී හඬින් මිහිරි වෙයි. ‘වෙන් හැරී ට්‍රයිස් ටු මැරි’ ස්වාධීන ඉංග්‍රීසි සිනමාපටයට ඇය සිය ගීතවත් හඬ එක් කළේ 2010 දීය.

රියැලිටි වැඩ සටහනකින් ගීත ලොවට දොරට වැඩි ශ්‍රෙයා දැන් ඉන්දියාවේ රියැලිටි වැඩ සටහන් රාශියකම විනිසුරු මඬුල්ලේ සිටින තාරකාවකි.

ශ්‍රෙයාගේ හඬයි රුවයි රන් රස සේ අපූරුවට සුසංයෝග වී ඇති නිසාදෝ ඇය ගායිකාවක පමණක් නොව තාරකාවක ලෙසින් ද බැබළෙන්නියකි.

සායා (2003) සිනමාපටයේ ‘හර් තරෆ්’ ගීය ගයමින් දර්ශනයකට ඇය පෙනී සිටියාය. ඇය දැන්වීම් තාරකාවක ද වන්නීය.

මේ වන විට ශ්‍රෙයා හොඳම ගායිකාව ලෙස පස්වරක් ෆිල්ම්ෆෙයාර් සම්මාන හා ජාතික සිනමා සම්මාන දිනාගෙන තිබේ. සිනේ, ස්ක්‍රින්, අප්සරා, මිර්චි සංගීත සම්මාන උළෙලවල් ගණනාවකම ඇය හොඳම ගායිකාව ලෙස කිහිපවරක්ම සම්මානයට පාත්‍ර වූවාය. පසුගියදා පැවැති අයිෆා සම්මාන උළෙලේදී ද හොඳම ගායිකාව වූයේ ඇයයි. ඇයට සම්මාන පිරිනැමුණේ ‘චික්නි චමේලී’ ගීතයටයි. ජනප්‍රියත්වය අහස උසට ගොඩ නැගුණත් අර්ථවත්, මධුර තනුවලින් යුතු ගී ගැයීම ඇයගේ පරමාශාවයි.

ද ශ්‍රෙයාගේ එකම සොයුරු සෞම්‍යදීප් පෙනිසිල්වේනියානු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්.

* සංගීත දිවියේ ජයග්‍රහණ
ජාතික සිනමා සම්මාන
2002 දේව්දාස් - ඛේරි පියා (හින්දි)
2005 පහේලි - ධීරා ජෛයිනා (හින්දි)
2007 ජබ් වී මෙට් - යේ ඉෂ්ක් හායේ (හින්දි)
2008 අන්තහීන් - ෆෙරාරි මොන් (බෙංගාලි)
ජොග්වා - ජීව් රන්ගලා (මරාති)
* ෆිල්ම්ෆෙයාර් සම්මාන
2003 දේව්දාස් – දෝල රෙ
2004 ජිස්මි – ජාදු හෛයි නශා හෛයි
2008 ගුරු - බර්සෝ රේ
2009 සිං ඊස් කිං - තේරී ඕරේ

* ඉන්දියාවේ සර්වකාලීන විශිෂ්ට ගායිකාවන් දස දෙනා අතර පෙරමුණේ සිටින්නේ ශ්‍රෙයා ගෝෂාල්ය. ඇය ප්‍රථම ස්ථානයේ පසුවන්නේ චෙනායි කෝකිලාව විරුදාවලිය ලත් කේ. එස්. චිත්‍රා දෙවැනි තැනට සහ භාරතයේ ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් තෙවැනි තැනට පත් කරමිනි.