වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




හෙළ සිනමාවේ ආදරණීය මිත්තණියගේ‘ආලකමන්දාවට’ ගියෙමි

හෙළ සිනමාවේ ආදරණීය මිත්තණියගේ‘ආලකමන්දාවට’ ගියෙමි

‘ආලකමන්දාව’ යළි තැනෙණ අපූරුව සොයා සරසවිය ගිය ගමනක වගතුග

‘ආලකමන්දාව’ ආයෙත් පටන් ගන්නලු යන්නේ.

නිල නොලත් ආරංචියක් මා සවනතට වැටුණා. ඒත් එක්කම ඒ පිළිබඳ ඇති මගේ මතකය ද අවදි වූයේ නිරායාසයෙන්. ඒ මතකයට අනුව ආලකමන්දාවෙහි අවසන් වැඩසටහන ජාතික නාළිකාවේ විකාශය වූයේ අදින් වසරකට පමණ පෙරාතුවයි.

සඟරාමය වැඩසටහන් ගණයට වැටෙන ‘ආලකමන්දාව’ මෙරට කලා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් කලාකරුවන්ට කරන උපහාරයක් බඳු වූවා. ආලකමන්දාවෙන් රූප මාධ්‍යයට ගෙනාවේ ඔවුන්ගේ අතීත මතක සටහන්. ඇතැම් වැඩ සටහන්වලදී සමහර කලාකරුවන් කොතරම් සංවේදී වුණාද කිවහොත් ඔවුන්ගේ දෑසින් කඳුළක් වැටුණේ නිරායාසයෙනි. ඒ මන්ද යත් ඒ ඒ කලාකරුවන්ගේ ජීවන ගමන් මගෙහි නොමැකෙන සංධිස්ථාන එය සිදු වූ තැනදීම යළි රූගත කිරීමයි.

මේ හේතුවෙන් ආලකමන්දාව වටා අත්වැල් බැදගෙන සිටි ප්‍රේක්ෂකයන් ප්‍රමාණය ද අප්‍රමාණයි. එහි හදිසි විරාමය ඔවුනට ද දරාගත නොහැකි වූවා. ආලකමන්දාවට සිදු වූ දෙය ගැන ඇතැමෙක් ‘සරසවිය’ අපෙන් ද විමසුවා.

ඇත්තටම ආලකමන්දාව ආයෙත් පටන් ගන්නවාද? මේ පැනයට නිවැරැදිව පිළිතුරු ලබා ගත හැක්කේ එහි අධ්‍යක්ෂිකා විනීතා කරුණාරත්නගෙන්.

මා ඇයගේ දුරකථනයට ඇමතුමක් ගත්තා.

‘ඔව්. ඒ කතාව ඇත්ත. හරියට ලබන දෙවැනිදා මෙහි පළමුවැකි වැඩසටහන ජාතික නාලිකාවේ විකාශය වන්නේ. ඒක හරියට ආලකමන්දාවේ දෙවැනි උපත කියලා කියන්න පුළුවන්. ඒක නෙවෙයි හෙට අපේ ෂූට් එකක් තියෙනවා අයිරංගනී සේරසිංහ මිස්ගෙ. හෙට ආවොත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි මේක ෂූට් කරන විදිහත් බලාගන්න පුළුවන්නෙ.

කොළඹින් ඇරැඹි අප ගමනේ පළමු නවාතැන වූයේ බෙලිහුල්ඔයයි. පුංචි තේ කඩයකින් උදෑසන ආහාරය සරිකරගත් අප සැම ඒ සුන්දර පරිසරයේ අපූරු නිවෙසක් ළඟ නතර වුණා.

මේ පළාතට මං හරිම ආසයි. කවුරු හරි මගෙන් ඇහැව්වොත් ලංකාවේ කැමැතිම තැන මොකක්ද කියලා මං කියන්නේ බෙලිහුල්ඔය. ඒකයි මං මෙහෙ පොඩියට ගෙයක් හදා ගත්තේ.

මෙතෙක් වේලා තරමක නිහැඬියාවකින් පසු වූ මාතර හාමිනේ හෙවත් අයිරාංගනී සේරසිංහ නම් මහා රංගවේදිණිය කටහඬ අවදි කළා.

ඕන තැනක ඇවිදින්න. මේ මගේ ගේ. ඇය අපට අවසරයක්ද ලබා දුන්නා. මාත් සමඟ සිටි අප ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නට එම අවසරය තටු දුන්නාක් වගේ. ඔහු රිසි සේ තම කාචයේ සේයාරූ සටහන් කරගත්තා. ඒ අසලම ලෙස්ටර් සිනමාවේදියාණන් අධ්‍යක්ෂණය කළ සංදේශය චිත්‍රපටයේ ද දර්ශන තල තිබෙනවා. එය සේරසිංහ මැතිනියගේ දෙවැනි සිනමාපටයයි. එම දර්ශන තලවලද රූගත කිරීම් සිදු වූවා.

ඊළඟට අප පිටත් වූයේ මිද්දෙණිය වලව්ව කරාය. අයිරාංගනී මහත්මිය උපත ලද එම ස්ථානය ළඟ නැවැතී ඇය මොහොතක් කල්පනාවකට වැටුණා.

මට පොඩි කාලේ මතක් වුණා.

ඇගේ නෙතෙහි උනන්නේ සොම්නස් කඳුළක්ද, දොම්නස් කඳුළක්ද මා දන්නේ නැහැ.

මං හිතන්නේ මිස්ට පොඩි කාලේ මතක් වෙන්න ඇති.

එසේ කීවේ විනීතාය.

දැන් ඔයා ඇස් දෙකෙන්ම දැක්කා නේද? මේ වැඩසටහනට එන අය ඉබේම අතීතයට යනවා. ඒ අය එක්කම ප්‍රේක්ෂකයනුත් ජීවත් වෙනවා. ඒකයි මේ වැඩසටහන ගොඩක් ජනප්‍රිය වුණේ.

බෙලිහුල්ඔයත් මිද්දෙණියෙත් රූගත කිරීම් හමාර කොට ඊට පහුවැනිදා අපි කොළඹ එන්නට පිටත් වුණා.

ඒ අතරවාරයේදී උදෑසන ආහාරය ගැනීමට මෙවරද නතර කළේ සාමාන්‍ය කඩයක් ළඟයි.

ඊයෙත් මේ වගේ කඩයක් ළඟ නැවැත්වූයේ. අයිරාංගනී මිස්ට කේන්ති යයි ද දන්නේ නැහැ.

අමිත් රහසින් මෙන් විනීතාට කීවා. එය සේරසිංහ මැතිනියට ද ඇසුණා. අපෝ මට ඕන කඩයක් එකයි, රහට කෑම තියෙනවා නම්.

එදින උදෑසන එකොළහ පමණ වෙද්දී අප කොළඹට ළඟා වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජ ශාලාව.

අප ඊළඟට නතර වූ තැනයි.

එහි වේදිකා පරිශ්‍රයට ගිය සේරසිංහ මැතිනිය නළල බිම තබා වේදිකාව සිපාචාර කළා.

මේ වේදිකාවේ තමයි මං ඉස් ඉස්සෙල්ලාම වේදිකා නාට්‍යයක රඟපෑවේ. අදටත් මං මෙතැනට ගරු කරනවා.

ඒ අවටම සේරසිංහ මැතිනිය මුල්වරට කැමරාවක් ඉදිරියේ කළ රංගනය වූ ලෙස්ටර් මහතාගේම අධ්‍යක්ෂණයක් වන වැටෙනු නැතිනම් තැවෙනු කෙටි චිත්‍රපටයේ දර්ශනයක් ඒ අයුරින්ම විනීතා සිය වැඩසටහනට ඇතුළත්කර ගත්තාය. එදා එය රූගත කරද්දී ගත් බේබි ඔස්ටින් කාර් රථයත් මෙදින ද යොදාගෙන තිබීම සුවිශේෂීය.

මේ රූගත කිරීම් අවසනදී සේරසිංහ මැතිනිය පිටකෝට්ටේ පිහිටි ඇගේ නිවෙසට පිටත්කර හැරියා.

සේරසිංහ මිස් ගියේ හිතකින් නම් නෙවෙයි.

ඇය යන අන්දම බලා සිටි විනීතාට කියැවුණේ ඉබේටමයි. කෙසේ නමුත් ආලකමන්දාව රූගත කෙරෙන විස්මය දෙදිනක් පුරා අපි සියැසින් දැක ගත්තා. එහි ඇති සුන්දරත්වය ද අපූරුයි. හෙට රාත්‍රී 10.10 සිට ජාතික නාලිකාවේ නැවතත් ආරම්භ වන ආලකමන්දාව සෑම සිකුරාදාවකම එම වේලාවටම විකාශය වේ. එතැන් පටන් ඔබ ආදරය කළ චරිතයන්ගේ ආනන්දනීය මතකයන්ගෙන් ඔබේ සිත ප්‍රමෝදවත් වනු නිසැකයි. හෙට විකාශය වනුයේ ටෝනි රණසිංහයන්ගේ වැඩසටහනයි

ආලකමන්දාව විකාශය වූ කාලයේදී විවිධ සම්මාන උළෙලවල් නියෝජනය කරමින් හොඳම සඟරාමය අංශය යටතේ සම්මාන හතකට නොඅඩු ප්‍රමාණයක් ද ලබාගෙන ඇති වග අවසන සදහන් කරමු.