|
ඔබේ සෙනෙහෙ ගඟ නැත වියැකෙන්නේ
කුමාර තිරිමාදුර ගැන දුක හිතෙන කතාවක්
‘මේ සම්මානය මගේ අම්මාට ලැබුණු සම්මානයයි’ ඔහු පසුගිය දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය අතැතිව කළ ඒ ප්‍රකාශයේ මේ වදන් පෙළ තවමත් මට මතකය. කුමාර තිරිමාදුර නම් අපට සිටින ඒ දක්ෂ රංගන ශිල්පියා එතරම් ආදරය කළ සිය මෑණියෝ පසුගියදා මෙලොව හැර ගියහ. මේ සටහන වෙන් වනුයේ ඒ දයාබර මෑණියන්ගේ නාමයටය.
‘පුරා පෙර දින පෑයූ පුන් සඳ මෙන් ඔබ ද මගේ පවුලෙහි සරා සඳ විය. සරා සඳ පායා මුළු
ලොවම එළිය කරන්නා සේ ඔබ ද මගේ මුළු පවුලටම ආලෝකය ගෙන පැමිණියාය. ඔබගේ සෙවණෙහි හැදී
වැඩුණු මා ඇතුළු පවුලෙහි අටදෙනා ගුණ දහමින් පෝෂණය කළේ ද ඔබමය. සන්ධ්‍යා, උද්‍යා,
රම්‍යා, සෞම්‍යා යන වැඩිමහල් සොහොයුරියන් සිව් දෙනාත් කෝසල, අයියණ්ඩිත්, බාල
සොහොයුරිය වූ භාග්‍යාත්, බාල සොහොයුරා වූ චමිලත් සමඟ මොරටුව රාවතාවත්තේ ගෙවුණු
ජීවිතය තරම් සොඳුරු ජීවිතයක් අද ද මගේ මතකයට නොනැෙඟ්.
වැලෙහි ගෙඩි වැලට බර වැඩි නොවූවා සේ ඔබ අප ඇති දැඩි කළේ අපමණ සෙනෙහසින් යුතුවමය. අප සියල්ලන්ටම එක සේ ආදරය කළ ඔබගේ ආදර රශ්මියේ කිරුළෙහි රශ්මියෙන් අපට ලැබුණේ නොමඳ ආලෝකයකි. ආරක්ෂාවකි. එපමණක් නොව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙසින් ඔබගෙන් ලද අපූරු මඟ පෙන්වීම අද ද මගේ ජීවිතය ආලෝකවත් කරන්නේ මා හඬවමිනි. පවුලෙහි සයවැනියා වූ මා සතු දක්ෂතා කුසලතා හොඳින් හැඳීනගත් ඔබ කුඩාකල පටන් මා යොමු කළේ එක්තරා දිශාවක් දෙසටය. සර්වෝදය මොන්ටිසෝරියට අකුරු කරන්නට ගිය ගමන මට අද මෙන් මතකය. පොත් බෑගය දෙඋරෙහි එල්ලා මා පාසල් ගියේ ඔබගේ සුළැඟිල්ලෙහි එල්ලීය. එතැනින් ඇරැඹි මගේ පාසල් ගමන රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයටත්, ඉන් පසුව වේල්ස් කුමර විදුහලටත් මාරු විය. පාසල් දිවියේදීී මා සතු දස්කම් විස්කම් අපූරු ලෙස අවබෝධ කර ගත් ඔබ, ඒ මඟම යවන්නට පෙරමුණ ගත්තේ පියාටත් හොරෙනි. ඔබගේ හදවතේ වූ කලාකාමී සිතුවිලි මා අද ද සිහිපත් කරන්නේ බැතියෙනි. ඔබත්, ඔබගේ වැඩිමහල් සොහොයුරියගේ පුත් සංඝදාසත්, අප සමඟ චිත්‍රපට නරඹන්නට පැමිණිය අයුරු මට අද මෙන් මතකය. ඒ පළමු චිත්‍රපට නැරැඹුම සිදු වූ දිනය මගේ ජීවිතයේ නොමැකෙන පිටු අතර සිහිවටනයකි. වැල්ලවත්තෙහි රොක්සි සිනමා ශාලවේ රාත්‍රී 9.30 දර්ශනය නැරැඹූ අපට නිවෙසට පැමිණීමට තරම් අද මෙන් එදා ප්‍රවාහන පහසුකම් නොතිබුණු බව සැබෑවකි. ඉන් අධෛර්යයට පත් නොවූ ඔබ අපව පෙරදැරිව පත්තර ලොරියක නැඟී නිවෙසට පැමිණි අයුරු මම අද ද සිහිපත් කරන්නේ රටක් රාජ්ජ්යක් ලද්දෙකු ලෙසය. එදින තිරගත වූයේ ගාමිණී ෆොන්සේකා රැඟූ ‘චණ්ඩියා’ චිත්‍රපටය බව මට අද මෙන් මතකය. මෑණියනි, එතැනින් ඇරැඹුණු මගේ කලා දිවියේ පිඹුරුපත් සකසන්නට දිරිය දුන්xනේ ඔබමය. අවට පරිසරයෙහි වූයේ ද කලාකාමී වටපිටාවකි. නිවෙසට දකුණු පසින් පිහිටියේ මානෙල් මොරටුව, ටවර් හා එමෙස් මොරටුව යන චිත්‍රපට ශාලාය. වම්පස පිහිටියේ පද්මා රත්මලාන, විජිත රත්මලාන ය. ඕඩියන් ගල්කිස්ස, රොක්සි හා ප්ලාසා වැල්ලවත්ත යන චිත්‍රපට ශාලා ද පිහිටියේ තරමක් සමීපවය. බොහෝ සේ චිත්‍රපට නරඹන්නට ඇලුම් කළ මම ඒ අපූරු පරිසරය නිර්මාණය වී තිබුණේ මා අරඹයාම යැයි වරෙක සිතුණු වාර අනන්තය. බොහෝ අගහිඟකම් මැද ගෙවුණ ජීවිතයෙහි චිත්‍රපට නරඹන්නට වත්කමක් අපට නොවුව ද ඔබ මට ඒ අවස්ථාව සලසා දුන්නේ නිවෙසේ අන් අයට හොර රහසේය. මේ නිසා පැරැණි චිත්‍රපටවල මිතුරෙකු වන්නට අද ද මට හැකි වූයේ ඒ නිසාවෙනි. දිනක් සිදු වූ අපූරු සිද්ධියක් මගේ මතකයට පිවිසේ. මා එදින නැරැඹූයේ සවස 2.30 චිත්‍රපට දර්ශනයයි. චිත්‍රපට ප්‍රදර්ශනයේ සිදු වූ විවිධ බාධාවීම් නිසාම චිත්‍රපටය අවසාන වන විට රාත්‍රිය උදා වී ඇති බව මට පසක් වූයේ ඉන් එළියට පැමිණි පසුවය. කළුවර වැටුණු පසුව තනිව එහා මෙහා නොගිය මා, බියට පත් වී සිටියෙන් යා අත සොයා ගැනීමට කාලයක් ගත විය. මෙපමණ වේලාවක් නිවෙසට නොපැමිණීමත් නිසා තාත්තා කලබල වී මා සොයන්නට වූ කළ ඔබ නිශ්ශබ්දව පාරට වී මඟ බලා සිටි අයුරු මට මැවි මැවී පෙනේ. මේ සිදුවීම සිදු වූයේ මා උසස් පෙළ උගන්නා සමයෙහිය. සෝවියට් ශ්‍රී ලංකා මිත්‍ර සංගමයෙන් නාට්‍ය වැඩමුළුවක් පැවැත්විණි. පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, ඩග්ල්ස් සිරිවර්ධන, වසන්ත විට්ටච්චි යන කලාකරුවන් රැසක් සහභාගි වූ මේ වැඩමුළුව එක දිගට සති දෙකක පුහුණුවක් ලෙස පැවැතියකි. කලා උණෙන් බොහෝ සේ රෝගාතුරව සිටි මා පාසල් ගමනට සති දෙකක නිවාඩුවක් ලබාදීමට තීරණය කළේය. එනමුදු පාසල් ශිෂ්‍යයකු මෙන් සැරැසී ඩී. එස්. සිසුවකු ලෙස පාසල් බසයට නඟින මා නාට්‍ය පුහුණු ඇඳුම පොත් අස්සේ බහා වැඩමුළුවට පැමිණියේ පියාට අසු නොවන අයුරිනි. ඊට ඔබගෙන් ලැබුණු සහයෝගය නොවෙන්නට අද මා මෙතැන නැති වග නම් සක්සුදක් සේ පැහැදිලිය. රංගනයට මා සහභාගි වන්නේ අ. පො. ස සාමාන්‍ය පෙළ උගනිමින් සිටිය කාලයේදීය. බී. එම්. අයි. සී. එච්. ගොඩනැඟිල්ල අසල වූ ජනකලා කේන්ද්‍ර භූමියේ පුහුණුවීම් කෙරුණු අතර එහි ගමන් වියදම් සඳහා මුදල් සොයා දෙන ලද්දේ ද ඔබ විසිනි. ජගත් මාරසිංහගේ ‘පරවේණි’ නම් වේදිකා නාට්‍යයෙහි මා රඟපෑවේ අවුරුදු පනස් පහක මහලු පුද්ගලයකුගේ චරිතයකි. බොහෝ දුෂ්කරතා මැද වුවද මා එහි පැමිණියේ ඔබගේ සහයෝගය නිසාම බව කිව යුතුමය. ඊට පසුව නිහාල් සුරංජිත්ගේ ‘ගිරි මුදුනේ සාදය’ සඳහා ද රංගනයෙන් දායක වූ බවක් මගේ මතකයෙහි රැඳී තිබේ. නාට්‍ය බලන්නට පයින් ඇවිද යෑමට අප පුරුදු වූයේ ඇවිද්ද පය දහස් වටිනන්නේ යැයි ද සිතමිනි.
සියලු අභියෝග හ දෙරණ සම්මාන උළෙලේදී මා ලැබූ සම්මානය ද අතැතිව පළමුව පැමිණියේ ද ඔබ අසලටය. ඔබට දණ නමා ආචාර කළේ මගේ හදවතෙහි නැ¼ගුනු සොඳුරු ආදරය හා ගෞරවය නිසාමය. ඒ වනවිට දෙනෙත් නොපෙනෙනා තත්ත්වයේ සිටි ඔබ සම්මානය බදා වැලඳ ගත් අයුරු මා සිත කලඹයි. ඔබ මෙලොවින් සමුගන්නා තුරුම ඒ සම්මානය ඔබට තනි රැක්කේය. ඒ සම්මානය අසලට යන මට ඔබගේ සුවඳ එහි රැඳී ඇති බවක් සිතේ. ඒ සුවඳ ඔස්සේ මම අතීතයට පිවිසෙන්නේ ඉබේමය. ඔබ මිය යන මොහොත වන විට මා සිටියේ කොළඹින් සැතපුම් කිහිපයක් එපිටය. ඒ දැරණියගල ප්‍රදේශයේයි. ඒ ශෝකජනක පුවත සැලවුණු පසුව මට කුමක් වූයේදැයි සිතාගත නොහැකි තරම්ය. පෙර සිදුවීම් සියල්ල එකින් එක මගේ මතකයට පිවිසියේ ඉබේමය. සියලු කටයුතු අතරමඟ දමා මා කොළොම්පුරයට පිවිසියේ ඔබ දැක ගැනීමේ අරමුණෙනි. ශාන්ත නිසසල නිවුණු ඔබගේ උවන මගේ සිත පහන් කරයි. මම දෙණ දෙසම බලා සිටියෙමි. විජිතමුණි මාලනී මියුරින් පෙරේරා අද අවසන් ගමන් යන්නට සූදානම් වී සිටින්නීය. සියල්ල අවසාන වී ඇත. අවසාන කටයුතු කළ ආදාහනාගාරය වෙත රාත්‍රියෙහි මම නැවතත් ගියෙමි. ඒ තනිව සිටින ඔබ බලන්නටය. දරු මුනුපුරන් රැසකගේ ආදරය ලබමින් සිටි ඔබ කිසි දිනක නොඑනා ගමනකට පිළිපන් සේය. ආදාහනාගාරය අවට හාත්පස නිසසලය. ඒ නිහඬ බව මට ජීවිතයේ අරුත පසක් කරන්නේදැයි විටෙක සිතේ. ‘ලොව ඇත්තේ යාම් ඊම් පමණි. ඉක්මනට ගිය තරමට ඉක්මනට එන්නට පුළුවන’ යන සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හි තිබූ අපූරු කියමනක් මසිතට පිවිසියේ එසැනිණි.
‘පුරා පෙර දින පෑයූ පුන් සඳ මෙන් ඔබ ද මගේ පවුලෙහි සරා සඳ විය. සරා සඳ පායා මුළු ලොවම එළිය කරන්නා සේ ඔබ ද මගේ මුළු පවුලටම ආලෝකය ගෙන පැමිණියාය. ඔබගේ සෙවණෙහි හැදී වැඩුණු මා ඇතුළු පවුලෙහි අටදෙනා ගුණ දහමින් පෝෂණය කළේ ද ඔබමය.
|