|
අම්මත් එක්ක දුවත් ඇවිත්
චන්ද්‍රිකා සමඟ මාධවී
දෙමව්පිය ආභාසයෙන් කලා ලොවට පිවිසි ශිල්පීන්, ශිල්පිනියන් බොහෝ වන්නේය. බහ තෝරන වියේ පටන් කලාව ඇසුරේ හැදී වැඩෙන එවන් බොහෝ දරුවන් නිතැතින්ම කලාවට පිවිසෙනුයේ ඒ ලද බොහෝ අත්දැකිම් තමා නොදැනුම්වත්ව හෝ උකහා ගනිමින්ය. එවන් මවක් සහ දියණියක් පසුගිය දිනෙක අපට හමු විය. ඒ මව චන්ද්‍රිකා රත්නමාලියි. ඇය වසර ගණනාවක රංගනය පිළිබඳ අත්දැකීම් සමුදායක් ඇති ජනප්‍රිය චරිතාංග නිළියකි. වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව ද ඇයට එක ලෙස හුරු පුරුදුය. ජයන්ත චන්ද්‍රසිරිගේ 'මෝරා', ලයනල් දැරණියගලගේ 'ආඳා' ලයනල් කුරුවිටගේ 'නූර්දීන්' ශාන්ත දේශබන්දුගේ 'තාප්පෙන් එහා' ඇතුළුව වේදිකා නාට්‍ය 20 ක පමණ ඇය රංගනයෙන් දායක වී ඇත. චන්ද්‍රිකා පුංචි තිරයේ වඩාත් ජනප්‍රිය වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'කෝපි කඩේ' ටෙලි නාට්‍ය මාලාවේ පොලී මුදලාලිගේ දියණිය 'ස්වර්ණමාලි' ලෙසිනි. ඒ හැරුණුකොට එම නාලිකාවේම විකාශය වූ 'මුතුපන්ති', 'කළු කුරුල්ලා' හිරු නාලිකාවේ විකාශය වූ 'වස්සානයේ ප්‍රේමය' සිරස නාලිකාවේ විකාශය වූ 'සල්සපුනා' යන ටෙලි නිර්මාණ සඳහා ද ඇය රංගනයෙන් දායක වී තිබේ. මේ අතරතුර සිනමා රංගනයට ද පිවිසෙන ඇය රෝයි ද සිල්වාගේ 'චෙරියෝ ඩොක්ටර්', 'චෙරියෝ කැප්ටන්', දිනේෂ් ප්‍රියසාද්ගේ 'දෙමෝදර පාළම', සුනිල්සෝම පීරිස්ගේ 'චාන්දනී', ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාකටින්', ප්‍රසන්න විතානගේ ගේ 'අනන්ත රාත්‍රිය', ජැක්සන් ඇන්තනිගේ 'ඇඩ්ඩ්‍රස් නෑ', වසන්ත ඔබේසේකරගේ 'මාරුතය', අමරසිරි කලංසූරියගේ 'විජය සහ යසා' යන සිනමා නිර්මාණ සඳහා ද රංගනයෙන් එක් වී ඇත. 'මම රංගන ක්ෂේත්රයේ මෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ද බොහෝ දුරක් පැමිණ තිබෙනවා. මගේ දියණියත් මේ වන විට ඒ ක්ෂේත්‍ර දෙකේම නියුතුව සිටිනවා. ඇය විශ්වවිද්‍යාල වරම් ලබා ඇති දරුවෙක්' චන්ද්‍රිකා තම දියණිය, මාධවී ඉෂිනි කුලසේකරට අවකාශ සලසා දුන්නේ එලෙසිනි. මාධවී කුඩා කල සිටම කලාවට හුරු පරිසරයක හැදුණු වැඩුණු ශිල්පිනියක්. පෙර පාසල් අවදියේ පටන්ම රංගනයට බොහෝ සේ ඇලුම් කළ ඇය, ස්වාධීන රූපවාහිනියේ 'ටිකිරි පැය' ගුවන් විදුලියේ 'හඳ මාමා' වැනි වැඩසටහන්වලට දායක වූවාය. ඒ වකවානුවේදීම ඇයගේ පියාණන් සේවය කරනු ලබන පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පැවැත් වූ අවුරුදු උලෙළක දී සිඟිති අවුරුදු කුමරිය ද වූවාය. පසුකාලීනව පාසල් අවධියේදී ඇය ප්‍රවීණ නර්තනාචාර්ය මුදියන්සේ දිසානායක යටතේ නර්තනය ද හැදෑරුවාය. ඇයගේ මව විසින් නිර්මාණය කළ 'ශ්‍රී බස් සටන' වේදිකා නාට්‍යයේ නර්තන අංගයන් සඳහා ඉදිරිපත් වෙමින් වේදිකාවට අවතීර්ණ වූ ඇය, මේ වනවිට සිනමා නිර්මාණ සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී ඇත. ජයන්ත චන්ද්‍රසිරිගේ 'සමනල සංධ්වනිය' සිනමා නිර්මාණයේ සුළු චරිතයකට දායක වූ මාධවී, දැනට තිරගත වන රංජන් රාමනායකගේ 'ඩොක්ටර් නවරියන්' චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නීය.
කැමරාව ඉදිරියේ සිය පළමු රංගන අත්දැකීම මාධවී අප සමඟ පැවසුවේ එලෙසිනි. 'රංගනයෙන් ඉදිරියට යන්න කැමතියි. ඒත් දැන් ක්ෂේත්රයේ ගුණාත්මක ආදර්ශවත් නිර්මාණ බිහිවෙනවා අඩුයි. ඒ කෙසේ වෙතත් ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් යටතේ සිනමා හෝ ටෙලි නිර්මාණයක දඟකාර චරිතයකට රංගනයෙන් දායකවීමට මගේ විශාල ආසාවක් තියෙනවා.' මාධවී සිය අපේක්ෂාවන් අප සමඟ පැවසුවාය. රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ ද මාධවී සිය දස්කම් පෙන්වන්නියකි. මනාලියන් හැඩගැන්වීම ඇතුළුව සියලුම රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා ආයතන දෙකක් ඇය ඇගේ මවත් සමඟ පවත්වාගෙන යන්නීය. මාධවී හිරිමල් වියේ පසුවන යෞවනියකි. කෙදිනක හෝ විවාහයෙන් පසුව ඔබට ක්ෂේත්රයෙන් ඉවත්වීමට සිදු වුවහොත්? මා නැඟුවේ අතුරු පැනයකි. 'තාම එහෙම බලාපොරොත්තුවක් නම් නෑ. සුදුසු සහකරුවෙක් පිළිබඳ අම්මාත්, අප්පච්චිත් සොයා බලයි. කොහොම වුණත් මාව තේරුම් ගත් කෙනෙක් ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න බලපෑමක් කරයි කියලා නම් මම හිතන්නේ නෑ.' ක්ෂේත්රය මෙන්ම යෞවනය පිළිබඳව ඇගේ සිතැඟි මාධවී අපට පවසන විට ඇගේ මව සිනාමුසු මුහුණින් එදෙස බලා සිටියේ එය එසේ වනු ඇතැයි හඟවමිනි. තමා ලද අත්දැකීම් ගුරුතැන්හී තබා ගනිමින්, සිය දියණියට ක්ෂේත්රයට පිවිසීමට නිවැරැදි මඟ පෙන්වීමට චන්ද්‍රිකා සමත් වූවාය. ඇය අනුව යමින් සිය මවගේ සෙවණ රැකවරණය යටතේ ක්ෂේත්රයේ බොහෝ දුර යෑමට මාධවී ද සූදානම්ය. එලෙසම ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීමට ද ඇය නිරතුරුව සැදී පැහැදී සිටින්නියකි. ඒ සියලු අත්දැකීම් ලැබ හෙට දින සිනමා ලොව දිදුලන නාමයක් රඳවා ගන්නට මාධවී ඉෂිනි කුලසේකර උත්සාහ දරන්නීය. එදින උදාවන තුරු ඇයගේ මව චන්ද්‍රිකා රත්නමාලි කුලසේකර තුළ ද ඇත්තේ අහිංසක බලාපොරොත්තුවකි. සටහන - දිනේෂ් හේවාවිතාරණ ඡායාරූප - නිශ්ශංක විජේරත්න |