වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘සොඳුරු තුරුණු පැතුම් අතරේ සැඟවුණු ඛේදවාචකය’

‘සොඳුරු තුරුණු පැතුම් අතරේ සැඟවුණු ඛේදවාචකය’

‘ඒ ලෙවල්’ සිනමා විමසුම

මෙය අහිංසක සිතිවිලි පිරුණු සොඳුරු සිහින මැද ගෙවුණු සුන්දර ජීවිතයක සැඟවුණු අතිශය ඛේදනීය පැතිකඩක ඉස්මතුවකි. සාකච්ඡාවට බඳුන් වන්නේ ද එයයි. ඒ අතරින් තුරුණු යෞවනයේ අවසන් පාසල් කඩ ඉම ගැන නවමු සාකච්ඡාවක මෙහි අන්තර්ගතයයි. තුරුණු හැඟුම් මුසු හීන පිරුණු යෞවනය, පොපියන චමත්කාරය නොඅඩුව කතාබහ විලාස රංගන තුළ ඇති තරමට ගැබ්ව තිබේ.

අහම්බෙන් දැකගත හැකි ආකර්ෂණීය නාමාවලියකින් සමන්විත 'ඒ ලෙවල්' චිත්‍රපටය තුළ සියල්ල හසුරුවා ගන්නේ භාෂිත කෙටි දෙබස් ඉතා ඉක්මනින් චරිත තුළ ඉස්මතු කරමිනි. ඒ ලෙවල් පන්තියේ සිසු සිසුවියන් අපූරු සොයා ගැනීමකි. අපූරු ගැළපීමකි. අපූරු මුසුවකි. එම තුරුණු වියේ සොබාව, තාරුණ්‍යයේ මිහිරි රසය පිරි තෝතැන්නක් වැනි තුරුණු ජවය මුසු පන්ති කාමරයක විලාසයයි.

මුණගැසෙන චරිත අතරේ අනුත්තර, අෂාන්, යොමාල්, අහිංසා ලොකු හීන මැද ජීවත්වන තුරුණු දරුවෝ වෙති. උසස් පෙළ කඩඉම ජය ගැනීමේ බලාපොරොත්තු මත ඔවුහු ජීවත් වෙති. සුන්දර හීන පිරුණු සමනල දිවියේ සිසු සිසුවියන් වන ඔවුන් සතුව අපරිමිත අපේක්ෂා අඩු නැතිව පිරී තිබේ.

අහිංසාගේ හිස මත පැට වී තිබෙන්නේ ප්‍රශ්න කන්දකි. එහෙත් ඒවා විනිවිදව නොදකින තරමට සැඟ වී තිබේ. ඒ ප්‍රශ්න මැද, ජීවිතයේ අහිංසක රසය ඇය විඳියි.

කොපමණ අරගල තිබුණත් මේ සිසු සිසුවියෝ හිනාවෙති. දබර කරති. ක්‍රීඩා කරති. ප්‍රශ්න කතාබහ කරති. මිතුරු වෙති.

පන්ති කාමරය තුළ රැග් කිරීම් තිබේ. විනෝද චාරිකා සඳහා ද එක් වෙති. සොඳුරු සමනල විය සුන්දර වන්නේ කෙසේද? යන ප්‍රශ්න අතරින් සුන්දරත්වය අතරේ සැඟවුණු අසුන්දර මතකයන් ද අහිංසාට තිබේ. දඟ කළත් සියුම්ව අහිංසා හැම විට හදවතින් කඳුළු සැලූ බවට ඉඟි සපයන්නේ අපූර්ව ලෙසිනි. ඇය වරින්වර පාරමී, ඇගේ සොයුරිය හමුවීමට කොළඹ එන්නේ එනිසාවෙනි. අතිශය ඛේදනීය ඉරණම් කතාවක පසුබිම නිසාවෙනි.

මෙය අහිංසක සිතිවිලි පිරුණු සොඳුරු සිහින මැද ගෙවුණු සුන්දර ජීවිතයක සැඟවුණු අතිශය ඛේදනීය පැතිකඩක ඉස්මතුවකි. සාකච්ඡාවට බඳුන් වන්නේ ද එයයි. ඒ අතරින් තුරුණු යෞවනයේ අවසන් පාසල් කඩ ඉම ගැන නවමු සාකච්ඡාවක මෙහි අන්තර්ගතයයි. තුරුණු හැඟුම් මුසු හීන පිරුණු යෞවනය, පොපියන චමත්කාරය නොඅඩුව කතාබහ විලාස රංගන තුළ ඇති තරමට ගැබ්ව තිබේ.

යාමාල්ගේ කුස තුළ යාචකයෙකු ද ලැගුම් ගෙන සිටියි. අනුත්තරට මව පමණකි. අපේක්ෂා ලෝකයකි. අවිහිංසා අවිහිංසාවකි. කොළඹ පාසලකින් සාමාන්‍ය පෙළින් ඒ නවයක්ම ලබා ඇය ගමට පැමිණ මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙනුම ලබයි. හුදෙකලාව ජිවත් වන මවගේ සෙවණේ සිටියි. එහෙත් තම සොයුරිය පාරමීගේ සුරතල් දියණිය සීනි පිළිබඳව ගොඩ නැගෙන ප්‍රශ්නය අනාගත ඛේදයකි. ගැටලුව මුල සිට දන්නේ අහිංසා බව අවසානයෙන් ඒත්තු ගැන්වෙයි. තමා පසුපස එන සෙවණැල්ල සේ අහිංසාගේ ගැටලුව මතුව එයි.

වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව සියල්ල දෘශ්‍යමානව තේරුම් ගත් පසු පාරමීගේ ප්‍රකාශය:

'ආයි සීනිව අල්ලන්න එපා'

'මමනෙ අම්මා'

තම දියණිය අත් විඳි අරුමය සම්බන්ධයෙන් පාරමී සහ නිශ්ශංක අතර ඇතිවන මාපිය සාකච්ඡාව රූපමය අරුත් ගැන්වීමකි. රෙදි සෝදන යන්ත්‍රයේ කිලිටි රෙදි සේදීම හා සැසඳෙන රූප රාමුව සිද්ධිය ධනාත්මක ඉසව්වකට යොමු කරවීමට අධ්‍යක්ෂවරයා සියුම්ව උත්සාහ ගෙන තිබේ.

යටි පෙළ අරුත ඊයේ, අදත්, හෙටත් සදාතනික ගැටලු වී තිබේ. දෙමාපිය සරණ, අන් සරණක් හා නොසැසඳෙන බවට වූ දහම ඉස්මතු කරවයි.

'මං දන්නවා මං නැතිව පාළුයි කියලා'

එසේම සීනිගේ හොඳම සරණ අහිංසා බව පිළිගනියි.

නවමු කතා තේමාවක් කාලීන උධෘතයකින් පිළිසකර ගෙන අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරන කතා රසය ගී රස සමඟින්,

'මතකයන් හිත පාරවයි

වසන්තේ කොහේදෝ ගිහින් . . .'

'ගොළු හදවත' චිත්‍රපටයේ මතු වූ සිහින් ඉඟි රිද්ම රස වෙනත් මානයකින් සිහි ගන්වයි.

ඒ ලෙවල් පන්තියේ ජීවත්වන අංකුර චරිත සියල්ලම පාහේ අපූර්වත්වයකි. අපූරු අංකුර රංගන කුසලතා ඉස්මතුවකි. සැබෑවටම එහි ඇත්තේ ප්‍රාසංගික භාවිතාවකි.

'පුදුම හිතෙනව කොහොම දරා ගත්ත ද කියලා'

තාරුණ්‍යයේ දරා ගැනීම අහිංසා අත් විඳි ආකාරයට හොඳම ප්‍රකාශනයකි. යෞවනයේ හුරුබුහුටි ආස්වාදජනක හැඟීම් සපිරි ආස්වාදය විඳවීමක් නොව විඳීමකි. 'ඒ ලෙවල්' චිත්‍රපටය එහි අලුත් අපූරුවකි.

එක් අවස්ථාවකදී ළදරු පාසලකදී සීනි අලසව ඈනුම් අරිමින් සිටින අවස්ථාව සමීපරූප එකතුවකින් අත් විඳිය හැකි කෙටිම කෙටි දෘශ්‍යමය භාවිතාවකි. අනුත්තර සහ අහිංසා අතර මහමඟ සිදුවන නිදහස් කතාබහ අවස්්ථාවේ වාහන හඬ සමඟින් සිදුවන ක්ෂණික තිගැස්ම හා දිස්වන හැඟුම් චලන භාවිතා තවත් ඉස්මතුවකි.

ඒ අතරේ අධ්‍යක්ෂවරයාගේ නෙතින් ගිලිහුණු තැන් කීපයකි. චරිකාවට පාසලේ ගුරුතුමියක් හෝ ගුරුවරයෙක් එක්ව නොතිබීම තත්‍ය ගැටලුවකි. අනුත්තරගේ ශිෂ්‍ය නායක පළඳනාවේ අක්ෂර වැරැද්ද සියුම් නොසලකා හැරිමකි.

පන්තියේ චරිත හැරුණු විට සෙසු චරිත අතරේ පාරමීගේ චරිතය තුළින් උමාලි තිලකරත්න හැඟුම් පිරි කැපී පෙනෙන රංගනයක යෙදෙයි.

නවමු හැඩ තලයක පිහිටා රචනා වූ අරුත්මුසු ගීත මාදිලිය 'විකෘති' නාට්‍යය නරඹා විඳි අතීත ගීත මතකයකට සිත යොමු කරවයි.

එහෙත් චිත්‍රපටය තුළ පණිවුඩයක් රැගෙන යාමේ සංකල්පය වරින් වර බිඳ වැටේ. බිඳ වැටෙන පණිවුඩය දෝතින් රැගෙන යාමට දෙපැත්තට යාවන කතා සාරය අත්වැල් සපයන්නේ නිරායාසයෙනි. එක් පැත්තකින් අහිංසාගේ පවුල් පරිසරය තුළ ගැටුම නිරාවරණය කරමින් පන්තියේ සිසු ක්‍රියාකාරකම් හා බද්ධ කරන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබේ.

සියල්ල කණපිට හරවන මෙවැනි සිදුවීම්, සිදු නොවිය යුතු එහෙත් සිදුවන අරුම වේ. ඊට විසඳුම් තත්කාලීන සමාජය විසින්ම දැනමුතුකමික් ගොඩනැඟිය යුතු වපසරියකට ඉඩකඩ සැලසේ නම් යහපතකි.

බාලක හෝ බලිකා පාසලක පන්ති කාමරයක් තුළ නැති අපරිමිත එකමුතුව, විනිවිද දකින චමත්කාරය, මිශ්‍ර පාසලක පන්ති කාමරයක් තුළ අදටත් බැහැර කළ නොහැකි අපූර්වයකි. එහි හැඟීම් මුසු සංකලනයක් සදාතනිකව පවතී. අරුමය නම්: එය අද නගරයේ අස්සක් මුල්ලක් නෑර මුල් බැසගෙන ඇති උපකාරක පන්ති කාමර තුළින් සීමාව ඉක්මවා විද්‍යාමාන වී තිබීමයි.

එකමුතුකමේ මිශ්‍ර හැඟීම් තේරුම් ගත් යහ පරපුරක් වෙනුවෙන් අනාගතයට මිශ්‍ර පාසල් සීමා නොවී තවදුරටත් ව්‍යාප්තව ක්‍රියාත්මක විය යුතු බවට අවශ්‍ය මතයක් අධ්‍යාපන බලධාරින් තුළ තවමත් මතුව නොපැවතීමම අභාග්‍යකි. විවිධ නීරස අත්දැකීම් තුරුණු පරපුරට මඟ පාදා දෙන්නේ ඒ නොහික්මවීමේ කලාව බව තේරුම් ගත යුතු සත්‍යයකි.

කෙසේ වෙතත් බොහෝ ඉඩ හසර හකුලුවාගෙන 'හීන හොයන සමනල්ලු' පසුපස ගොස් ලබාගත් ජයග්‍රහණය තුළින් අධ්‍යක්ෂ රොහාන් පෙරේරා තුරුණු පරපුර හඹා ගොස් මතු කරගන්නට දැරූ තැත විජයග්‍රහණයක් නොවී 'ඒ ලෙවල්' චිත්‍රපටය හරහා ලත්තැනම ලොප් වීම හේතුවෙන් ඇත්තේ සියුම් කුකුසකි. පුංචි කනගාටුවකි.