වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

ඇරිස්ටෝටල්ගේ ට්‍රැජඩි මෙන්න

ඇරිස්ටෝටල්

ක්‍රි පූ. 384-322 කාලයේ ජීවත් වූ ග්‍රීක දර්ශනිකයෙකි. ඔහු මැසිඩෝනියාවේ දෙවන ඇමින්ටාස් රජුගේ වෛද්‍යවරයා සහ මිත්‍රයෙකු වූ නිකොමැක්ස්ගේ පුත්‍රයාය. එම නිසා ඔහුගේ ජීවිත කාලය පාලකයන් සහ ප්‍රභූන් ඇසුරේ ගෙවුණකි. ඔහු මුල් කාලයේ 'ප්ලේටෝ' නම් දර්ශනිකයාගේ ශිෂ්‍යයෙකු වශයෙන් සිප් සතර හැදෑරුවේය. පසුකාලීනව 'ලයිසියම්' නම් වූ ගුරු කුලයේ ප්‍රධාන තනතුරට පත් වූයේය. ඔහු විසින් රචනා කරන ලද ප්‍රධාන ග්‍රන්ථ ත්‍රිත්වයකි.

1. ටොපිකා (Topica)

2' අලංකාර ශාස්ත්‍රය (Rhetorics)

3. කාව්‍ය ශාස්ත්‍රය (Poetics)

කාව්‍ය ශාස්ත්‍රය (Poetics)

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්්ත්‍රය නම් කෘතිය තරමක් දුරට ආධුනික නාට්‍ය රචකයන් උදෙසා සපයනු ලැබූ උපදේශ මාලාවක් ලෙස ආර්. ජී. කොලිංවුඩ් හඳුන්වා දී ඇත. කාව්‍ය ශාස්ත්‍රය රචනා වී ඇත්තේ ග්‍රීක නාට්‍ය රචනා වී බොහෝ කාලයකට පසුවය. කාව්‍ය ශාස්ත්‍රය රචනා කරද්දී සොෆොක්ලිස්ගේ 'ඊඩිපස් රජ' නාට්‍ය කෘතිය අත පොවන මානයේ තබාගෙන ඇත. ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ කාව්‍ය වර්ග සතරක් දක්වා ඇත.

1. වීර කාව්‍ය (Epic)

2. ශෝකජනක (Tragedy)

3. හාස්‍යජනක (Comedy)

4. වෘන්ද ගායන කාව්‍ය (Dithyrambic Poetry)

ශෝකජනක (Tragegy)

ඇරිස්ටෝටල් සිය කාව්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයේ ඉහත කාව්‍ය වර්ග සතර අතුරින් ප්‍රමුඛස්ථානය ලබාදී ඇත්තේ Tragedy (ට්‍රැජඩි) හෙවත් ශෝකජනක නාට්‍යවලටයි. එයට හේතු දෙකක් දැක් විය හැක.

1. වින්දන ශක්තිය ප්‍රබල වීම

2. අර්ථ සිද්ධියෙන් උසස් වීම

Tragedy නාට්‍ය සඳහා සිංහලයට පරිවර්තන කළ නාමයන් කිහිපයක්ම දක්නට ලැබේ. ශෝකාන්ත, ශෝකජනක, ශෝකාත්ම එම නාමයන් වේ. මෙහිදී භාවිතයට ගන්නා ශෝකාන්ත යන නාමය දෝෂ සහිතය. එයට හේතුව Tragedy නාට්‍යයක් ශෝකයෙන්ම අවසන් වීම අනිවාර්ය නොවන බැවිනි. මහාචාර්ය ඒ. වී. සුරවීර සිය 'සාහිත්‍ය විචාර ප්‍රදීපිකා' ග්‍රන්ථයේ දක්වා ඇත්තේ Tragedy නාට්‍ය සඳහා සුදුසුම නම 'ශෝක ජනකය' යන්නයි. ශෝකාත්ම යන නම භාවිත කිරීමේද දෝෂයක් නොපෙනේ.

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයේ ශෝකජනක නාට්‍ය නිර්වචනය කර ඇත්තේ පහත දක්වෙන අයුරිනි.

'ශෝකජනකය වූ කලී යම්කිසි පරිමාණයකින් යුක්ත වූද, පරිපූර්ණ වූද, යහපත් ක්‍රියාවක අනුකරණයක් වන අතර, වෘත්තාන්ත ස්වරූපයෙන් නොව පාත්‍ර වර්ගයාගේ ක්‍රියාකාරිත්වය පදනම් කරගනු ලැබුවා වූද, එක් එක් කොටසට උචිත පරිදි රමණීය භාෂා ප්‍රයෝග භාවිතයෙන් සාරවත් වූද, කාරුණ්‍යය හා භය මුල් කරගෙන අපේක්ෂිත භාව විශෝධනය සිදු කරන්නා වූ නිර්මාණයක් වෙයි.'

ග්‍රීක ශෝකජනකයක මූලිකාංග

ඇරිස්ටෝටල් සිය කාව්‍ය ශාස්ත්‍රයේ ද ශෝකජනක මූලාකාංග 6 ක් දක්වයි. වැදගත්කමේ අනුපිළිවෙළ අනුව එය මෙසේ දක්වා ඇත.

1. වස්තුව (කථා වින්‍යාසය)

2. චරිත

3. චින්තනය

4. වාග් විලාසය

5. ප්‍රේක්ෂාව

6. සංගීතය

වස්තුව (කථා වින්‍යාසය)

කථා වින්‍යාසය යනු 'සිද්ධි ගැළපීමේ පිළිවෙළයි' එය හේතුඵල සම්බන්ධතාවයකින් යුක්ත විය යුතුය. මෙම කථා වින්‍යාසයේ අඩංගු විය යුතු ලක්ෂණ 3 කි.

1. පරිසමාප්තියෙක් තිබීම

2. පරිපූර්ණත්වයක් තිබීම

3. සැලකිය යුතු දිග පරිමාවකින් යුක්ත වීම

කථා වින්‍යාසය දෙයාකාර වේ.

1. සරල කථා වින්‍යාසය

2. සංකීර්ණ කථා වින්‍යාසය

සරල කථා වින්‍යාසය

සිද්ධිවල සංකීර්ණතාවයක් නොමැතිව කථා නායකයාගේ ඉරණම් පෙරළිය සිදුවීමයි. මෙහි ප්‍රත්‍යාවර්තනයක් හෝ ප්‍රත්‍යාභිඥානයක් අන්තර්ගත නොවේ.

සංකීර්ණ කථා වින්‍යාසය

සිද්ධිවල සංකීර්ණත්වයක් ඇති කරමින් කථා නායකයාගේ ඉරණම් පෙරළිය සිදුවීම සංකීර්ණ කථා වින්‍යාසය ලෙස හඳුන්වා දිය හැකිය. මෙහි ප්‍රත්‍යාවර්තනය සහ ප්‍රත්‍යභිඥානය අන්තර්ගත වේ.

ප්‍රත්‍යාවර්තනය

ක්‍රමයෙන් අනාවරණය වෙමින් ආ සිද්ධි මාලවෙහි ඇති පරිවර්තනයෙන් කථාව සංකීර්ණ වීම හෙවත් අනපේක්ෂිත ගැටලු මතුවීම.

ප්‍රත්‍යභිඥානය

ප්‍රත්‍යාවර්තනය නිසා සංකීර්ණත්වයට පත් වූ සිද්ධි දාමය ඇසුරෙන් ලබන නව ඥානයයි.

(කථා වින්‍යාසයෙහි ඇති ප්‍රත්‍යාවර්තනය සහ ප්‍රත්‍යභිඥානය නිසා ප්‍රේක්ෂකයා තුළ භාව විශෝධනයක් සිදු වේ)

ආකුලීකරණය සහ අනාවරණය

නාට්‍යමය ක්‍රියාව ප්‍රේක්ෂක රස ජනනයට හේතු වන සේ ගැටලු ඇති කරමින් යම් උපරිම තත්ත්වයකට වර්ධනය වීම ආකුලීකරණයයි.

උපරිම තත්ත්වයකට වර්ධනය වූ ගැටලුව නිරකාරණය වීම අනාවරණයයි.

(මෙය සරල සහ සංකීර්ණ යන කථා වින්‍යාසය දෙකෙහිම දක්නට ලැබේ).

භාවවිශෝධනය

(ම්චබඩචපඵඪඵ)

ශෝකජනක නාට්‍යයක් නැරඹීම මඟින් ඇතිවන කාරුණ්‍යය සහ භය හේතු කොටගෙන ප්‍රේක්ෂකයා තුළ භාව විශෝධනයක් සිදුවේ.

(ශෝකජනක නාට්‍යයේ කථා වින්‍යාසයක අවසාන අරමුණ ප්‍රේක්ෂකයා තුළ භාව විශෝධනයක් සිදු කිරීමයි).

ත්‍රිවිධ ඒකත්වය

කථා වින්‍යාසයක ත්‍රිවිධ ඒකත්වයක් තිබීම අනිවාර්ය යැයි අද සම්මතයක් බවට පත් වී ඇත.

1. කාල ඒකත්වය (Unity of Time)

2. කාර්ය ඒකත්වය (Unity of Action)

3. ස්ථාන ඒකත්වය (Unity of Place)

* කාල ඒකත්වය - ශෝතජනක නාට්‍ය හැකිතාක් දුරට සූර්යයාගේ එක් භ්‍රමණ වාරයකට හෙවත් දවසකට සීමා වීම

* කාර්ය ඒකත්වය - පරිපූර්ණත්වයෙන් ද, පරිසමාප්තියෙන් ද, මුල මැද අග යන කෙටස් තුනෙන් ද යුක්ත කාර්ය අනුකරණයක් පැවතීම කාර්ය ඒකත්වය වේ.'

(ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ අවධානය යොමු වී ඇත්තේ කාල ඒකත්වයට සහ කාර්ය ඒකත්වයට පමණි).

ස්ථාන ඒකත්වය

නාට්‍යයේ සියලු සිදුවීම් එක් ස්ථානයකට ගෙනුකර දැක්වීම (රජ මාළිගාව ඉදිරිපිට) ස්ථාන ඒකත්වයයි. මෙහිදී නාට්‍යයේ ගායක කණ්ඩායම හෙවත් කොරසයට නාට්‍යයේ වැදගත් තැනක් හිමි වූ නිසාත් ඔවුන් අදාළ නගරයේ නගරවාසීන් නියෝජනය කරන නිසාත් ඔවුන්ගේ ස්ථානය වෙනස් කළ නොහැක වූ නිසාත් ස්ථාන මාරුවක් සිදු නොවුණි.

ත්‍රිවිධ ඒකත්වය රැකී ඇති අවස්ථා

ත්‍රිවිධ ඒකත්වය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ. ඊඩිපස් රජ නාට්‍යයේ කථා වස්තුව දිග හැරීම උදයෙන් ආරම්භ වී සවස් වන විට සමාප්ත වන නිසා කාල ඒකත්වය දක්නට ලැබේ. ඊඩිපස් රජ නාට්‍යයේ සියලු සිදුවීම් තීබ්ස් මාළිගය ඉදිරිපිට පමණක් සිදු වන නිසා ස්ථාන ඒකත්වය රැකී ඇත. පරිසමාප්තියකින් ද, පරිපූර්ණත්වයෙන් ද, මුල, මැද, අග යන කොටස් තුනෙන් ද යුක්ත කාර්ය අනුකරණයක් ඊඩිපස් රජ නාට්‍යයේ ඇති නිසා කාර්ය ඒකීයත්වයක් දක්නට ලැබේ.

ත්‍රිවිධ ඒකත්වය බිඳී ඇති අවස්ථා

1. ස්ථාන ඒකීයත්වය බිඳී ඇති අවස්ථා

* ඊස්කිලස්ගේ පර්සියන්වරු, ඉයුමිනිඩීස්

* ඇරිස්ටොෆනීස්ගේ වලාකුළු

මචග්ඩුකයෝ, සාමය (හාස්‍යජනක නාට්‍ය)

2. කාල ඒකත්වය බිඳී ඇති අවස්ථා

සොෆොක්ලිස්ගේ - ඇන්ටිගනී

යුරිපිඩීස්ගේ - ඇල්කෙස්ටීස්

චරිත

ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේදී චරිතවලට දෙවන ස්ථානය ලබාදී ඇති හේතුව පහත පරිදි දක්වා ඇත.

'ක්‍රියාවෙන් තොරව ට්‍රැජඩියක් සම්පූර්ණ විය නොහැකිය. එහෙත් චරිතවලින් තොරව ට්‍රැප්ඩියක් සම්පූර්ණ විය හැකිය'

චරිත ඉදිරිපත් කිරීමේදී කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු විය යුතු බව දක්වා ඇත.

1. යහපත් හෙවත් හොඳ චරිත නිර්මාණය කිරීම.

2. චරිත යථාර්ථවත් විය යුතුය.

3. චරිත උචිත විය යුතුය (ඖචිත්‍යය)

4. චරිත සංගත විය යුතුය.

චින්තනය

චින්තනය පිළිබඳ පැහැදිලි අදහසක් කාව්‍ය ශාස්ත්‍රයේ ඉදිරිපත් කර නැත. නමුත් යොදාගෙන ඇති ඡේදවලින් අවධාරණය වන්නේ 'යමෙකු මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ වූ ද යෝග්‍ය වූ ද දේ පැවසීමේ ශක්තිය' චින්තනය බවයි.

වාග් විලාසය

අර්ථ ප්‍රකාශනය සඳහා වචන භාවිත කිරිමයි. මෙහිදී කරුනු 03 ක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

(1) රිද්මය

(2) ස්වර මාධූර්ය

(3) ගීතයෙන් සමන්විත වූ රමණීය භාෂා ප්‍රයෝග භාවිතය

එසේම භාවිත කර වචන පැහැදිලි විය යුතු බවත් අධම නොවිය යුතු බවත් පෙන්වා දෙයි. විධානය, යාඥාව, තර්ජන, ආයාචන, ප්‍රශ්න, පිළිතුරු ලෙස වාග් පිලාසයේ අංග කිහිපයකි.

ප්‍රේක්ෂාව

මෙය කවියාගේ කාර්යයක් නොව වේදිකා පාලකගේ වගකීමක් ලෙස ඇරිස්ටෝටල් දක්වා ඇත. වේදිකාව මත මොහොතින් මොහොත මැවෙන රූපය නැතහොත් වේදිකාවේ දෘෂ්ටි ගෝචර බව ප්‍රේ්ක්ෂාව ලෙස හඳුන්වා දිය හැකිය.

සංගීතය

ආස්වාදනයෙහිලා සංගීතය මූලික තැනක් ගනියි. එහි භාවයන් ප්‍රබෝධමත් කිරීමේ ශකතියක් ඇත. එසේම වීර කාව්‍යයට සහ ශෝකජනක නාට්‍යයට සංගීතය වැදගත් වේ. ග්‍රීක නාට්‍යවල කෝරස් ගායනයට ප්‍රධාන තැනක් හිමිවීම තුළින්ම සංගීතයට දී ඇති වැදගත්කම අපට අවබෝධ වේ.