වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු ගීතය මොස්කව් යයි

ගුරු ගීතය මොස්කව් යයි

ලොව ඉහළම ගණයේ සිනමා උලෙළක් ලෙස සැලකෙන මොස්කව් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගීතය තෝරා ගෙන ඇත.

මේ එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළක් නියෝජනය කරන දෙවැනි වතාව වේ. මීට ප්‍රථම කසකස්ථානයේ යුරෝෂියා සිනමා උලෙළ සඳහා ගුරු ගීතය තේරී පත් විය.

උපාලි ගම්ලත්ගේ පළමු සිනමාපටය වන ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. රොෂාන් රවීන්ද්‍ර, දමයන්ති ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, කල්පනි ජයසිංහ මෙහි චරිත මවති.

රුසියානු ලේඛක විංගිස් අයිත්මානව්ගේ ගුරු ගීතය නවකතාව පාදක කොටගෙන තැණුනු මේ චිත්‍රපටය නේපාලයේ රූ ගැන්වූවකි.


අර්ජුනගේ කුසල් 23 දා තිරයට

ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයකු බවට පත් වූ සිනමා නළු අර්ජුන කමලනාත් තවත් සිනමාපටයක් මෙම මස 23 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. එය නම් කොට ඇත්තේ කුසල් යනුවෙනි. ළමා සිනමාපටයක් වන කුසල් සඳහා අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, නිරෝෂා තලගල, අනුර ධර්මසිරිවර්ධන, රජිත හිරාන් චාමිකර, ඉෂාන් මෙන්ඩිස්, චාමි සේනානායක, අනුර බණ්ඩාර රාජගුරු, ශිරෝමිකා ප්‍රනාන්දු, හේමන්ත ඊරියගම, ප්‍රේමදාස විතානගේ, කුමාරි සේනාරත්න, ලක්ෂ්මන් අමරසේකර, සඳුන් බණ්ඩාර, සරත් සිල්වා, නිමල් සූරිය බණ්ඩාර, රාජි මෙන්ඩිස්, ලලිත පියුමි, සිරි සුසන්ත, සිසිර කුමාරතුංග, අනිල් ජයසිංහ, ගයාන් වීරසිංහ රංගනයෙන් දායක වේ. තිව්රු දිසානායක, සඳරු කුමාරසිංහ, සමීර වින්විත්, කනිෂ්ක හිරුණ, දිල්මිත් රණවීර, සෙනුරි දේශානි, ඉමල්ෂා උවිඳු ළමා නළු නිළියන්ය.


සුදත් රෝහණගේ

දියණියට මංගලම්

සම්මානනීය ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂක සුදත් රෝහණයන්ගේ සහ රෝහිණී කන්නන්ගරගේ වැඩිමහල් දියණිය රංගන ශිල්පිනී, ගායිකා කෞශල්‍යා කන්නන්ගර පසුගියදා යුග දිවියට එළැඹිණි. ඒ ඕස්්ට්‍රේලියා පර්ත් නුවරදී. ඇයගේ අත ගත් මනාලයා වූයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි අසාන් ජයසේකරයි. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පර්ත් නුවර පගෝඩා රිසෝට් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ විවාහ උත්සවයේ විශේෂ අවස්ථා කීපයකි.


අලුත් ගී හතරක්

ගීත නිබන්ධක උපාලි එස්. රානිගේ විසින් රචනා කරන ලද ගීත හතරක් පසුගියදා පටිගත විය. ඒ සඳහා හඬ මුසු කරනු ලැබුවේ වික්ටර් පීරිස් විසිනි. මේ ගීතයන් සඳහා මල්කාන්ති නන්දසිරි යුග ගායනයෙන් දායක විය. මෙම ගීත හතරේම සංගීත අධ්‍යක්ෂණය සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගෙනි.


විජය වෙනුවෙන්

ගුණ සැමරුම අද

විජය කුමාරතුංග තිස්වැනි ගුණසැමරුම මෙම මස 15 වැනිදා එනම් අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ කථානායක කරු ජයසූරිය මෙහි මුලසුන හොබවති. විජය සමරු දෙසුම අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් පවත්වයි. මෙය නවම් විරු සමරුව ලෙස නම් කොට ඇත.


ආලකමන්දාව විජය වෙනුවෙන්

මෙම මස 20 වැනිදා එනම් එන අඟහරුවාදා රාත්‍රී 10.30 ට ජාතික නාලිකාවෙහි විකාශය වන ආලකමන්දාව වැඩ සටහන වෙන් වනුයේ විජය කුමාරතුංගයන් වෙනුවෙනි. එය විනීතා කරුණාරත්නගේ නිෂ්පාදනයක් වේ.


සුළං කිරිල්ලී කතිකාවත

ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටය පිළිබඳ කතිකාවක් මෙම මස 15 වැනිදා එනම් අද සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේදී පැවැත්වෙනු ඇත. එහිදී එම සිනමාපටය තිරගතවීමට ද නියමිතය. කතිකාවත හි දේශන දායකත්වය භූපති නලීන් වික්‍රමගේ සහ විදර්ශන කන්නංගරගෙනි.


සැමටම සුබ උපන් දිනයක් කියන

සිරි කහවලට සුබ උපන් දිනයක්

උදේ හිරු මල පිපෙන යාමේ අප උපන් දින අපට සිහි කර

සුවහසක් වූ කලා තරු හැම සෙතකි ඔබතුම කරන මෙහෙවර

අගය කරමින් පතන්නෙමු සුබ උපන් දිනයක් සිතට සුවබර

නිදුක් නිරෝගීව වැජඹේ චිරං ජයතු ඔබට පිංබර