වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




විජයගේ හදවතේ ඇතුළු පැත්ත
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

විජයගේ හදවතේ ඇතුළු පැත්ත

අම්මා, ආදරය, ගැහැනිය, අනාගත බිරිඳ, විවාහය, බොරුව, මිතුරන් ගැන විජය එදා මට කී කතා

විජය කුමාරතුංග අප අතරින් වියෝ වී වසර 30 ක් ගත වී ඇතත්, ඔහු ජීවත් වූ විසි පස් වසරක් මට ඇසුරු කිරීමට මම වාසනාවාන්ත වීමි. 50 වසරක් සපුරා ඇති මගේ සිනමා මාධ්‍ය ජීවිතයේ මට හමු වූ විශිෂ්ට එමෙන්ම මානව දයාවෙන් පිරි මහා රංගධරයන් පස් දෙනා අතරින් සුවිශේෂ චරිතයකි විජය. ඔහු මට මුලින්ම හමු වූයේ ආනන්දයේ මගේ සුමිතුරු රංජිත් ලාල්ගේ (නිම්වළල්ල චිත්‍රපට අධ්‍යක්ෂ) මිනුවන්ගොඩ පීල්ලවත්තේ මහ ගෙදරදී 1969 දී පමණ අප මිතුරන් සමඟ නිපද වූ නිම්වළල්ල චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරන අතරතුරේදීය. එදා හඳුනාගත් විජය යළි මට හමු වන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේදීය. එවකට විජය කේමදාසයන්ගේ ‘සිතිජය’ ඔපෙරාවේ ගී ගැයීමට පැමිණ සිටි අවස්ථාවකදීය. එහිදී විජය හා යුග ගැයූ සෝමා හෙට්ටිගේත් ඒ ගීය රචනා කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර ද එහි සිටියහ. මේ අවස්ථාවට ආනන්දයේ උගනිමින් සිටි මාත් කුලරත්න ආරියවංශත් (අද සම්මානනීය ගීත රචක) සංගීත මංජරියට ගියේ අප විසින් සංස්කරණය කළ පාසල් පුවත්පතට කේමදාසයන්ගේ මිතුරන්ගේ අනුග්‍රහයෙන් වෙළඳ දැන්වීමක් ලබා ගැනීමටය. එදා අපට යළිත් විජයගේ මිත්‍රත්වය අලුත් කර ගැනීමට හැකි විය. එකල මටත්, කුලරත්නටත් ‘විසිතුර’ සිනමා පුවත්පතට එහි කර්තෘ ආතර් යූ. අමරසේනයන්ගේ මඟ පෙන්වීමෙන් පාසල් වියේදීම විශේෂාංග ලිවීමට අවස්ථාව ලැබිණි. එහෙත් මට විසිතුරට විජය ගැන විශේෂාංග ලිවීමට අවස්ථාව නොලැබුණේ 1969 වසරේ මා ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධවීම නිසාය. එහෙත් මා සන් මිත්‍ර කුලරත්න ආරියවංශ විජය ගැන විසිතුරට විශේෂාංග ලියුවේය. ඉන් එක් විශේෂාංගයක් මට මතකය. ‘කැලැහඳ දුටු දා රුක්මණී ගැන ආදරයක් හිතුණා’ යයි විජයගේ අතීත රසවත් සිද්ධීන් ඇසුරෙන් ‘ජීවිතයේ ලස්සනම දවස්’ නම් විශේෂාංගය කුලරත්න ලියා ඇත්තේ 1973 සැප්තැම්බර් 15 වෙනි සෙනසුරාදා ‘විසිතුර’ පුවත්පතටය. පසු කලෙක ගීත රචනයට පිවිසි කුලරත්න විජයගේ කැසට් පටයක් සඳහා ‘පායා සීත රැයේ’, ‘ඔරුකඳ පාවී’ ගීතත්, චිත්‍රපට සඳහා ‘සිතුම් විහිඟ’ (සූරියකාන්ත), ‘මල්හස රැල්’ (විජය, චන්ද්‍රලේඛා හා කීර්ති පැස්කුවල්) (සහරාවේ සිහිනය) යන ගීත රචනා කිරීම විශේෂයකි.

විජය ගැන විශේෂාංග රැසක් සරසවිය පුවත්පතට මම ලිවීමි. ඒ හැම නැවත කියවා බැලීමේදී එහිදී විජය අම්මා, ආදරය, අනාගත බිරිඳ, ගැහැනිය, මිතුරන් හා බොරුව ගැන විටින් විට කී කතා ආවර්ජනා කිරීමට මම සිතුවෙමි.

මෙම අදහස් විජය විසින් පළ කරන ලද්දේ ඔහු සිනමාවට එක්වූ මුල් යුගයේය.

අම්මා

අම්මාට අප කවුරුත් වැඩියෙන් ආදරේ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මට අම්මා තරම් වටිනා තවත් වස්තුවක් මිහිපිට නැත. එහෙත් අම්මා මියගිය පසු යම් හෙයකින් අවමඟුලට සහභාගි වීමට නොහැකි වුණොත් මම කනගාටු නොවෙමි. මන්ද අම්මා ජීවතුන් අතර සිටින විට මගේ යුතුකම් ඉටු කළා නම් අම්මා මිය ගිය පසු දක්වන ගෞරවය මා ජීවතුන් අතර සිටියදී යුතුකම් ඉටු නොකර අම්මා මියගිය පසු ඇගේ අවමඟුල් පෙරහර මුළු රට පුරාම ගෙන ගියත්, කර තබාගෙන ගියත් ඉන් තමා තමාව රවටා ගැනීමකුත්, මියගිය අයට අගෞරවයකුත් කරන කෙනකු ලෙසයි මට හැඟී යන්නේ. මිනිසුන් මියගිය පසු බොරු ගුණ කථන කියා, මල් වඩම් තැබීමට වඩා ඔවුන් ජීවතුන් අතර සිටින විට හැකි අයුරින් උපකාර කිරීම හා යුතුකම් ඉටු කිරීම වඩා සෑහේ යයි මම සිතමි.

ආදරය

‘ආදරය’ යන වචනය මම හඳුන් වන්නේ අනිත් අය දකිනවාට, කියනවාට වඩා වෙනස් අයුරකින්. පළමුකොට මා මට ආදෙර්ය. මා තරම් තවත් ශ්‍රේෂ්ඨ මිනිහෙක් මට තවත් නැත. මට ප්‍රිය කරන මිනිසුන්ට ද මම වඩා ආදරය කරමි. මුළු රටම මට ආදරේ නම් මාත් ඔවුනට ආදරය කරන අතර ඒ හා සමාන තවත් අගය කළ හැකි දෙයක් මගේ ජීවිතේ නැත.

ආදරය යනු එක්තරා ආත්මාර්ථකාමි, තෘෂ්ණාව වැඩි කරන සිතුවිල්ලකි. කෙනෙකුගේ සිතේ ඇතිවන ආදරය ක්‍රමයෙන් නැතිව ගිය පසු එය අනාදරයකට හැරේ. එවිට නරක චේතනා ඇති වෙයි. අප අකමැති කෙනෙකුට අප ආදරේ කිරීමට කැමති නැත. අපි වැඩියෙන් මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට මෙන්ම ‘මගේ’ යන සිතිවිල්ල ඇති හැම වස්තුවකටම ආදරේ කරමු.

ගැහැනිය

ඇතැම් විට මට ප්‍රිය නැති පුද්ගලයන්ටත්, මා නොහඳුනන පුද්ගලයන්ටත් මා ආදරය කිරීමට කැමතිය. කාටත් එපා වූ මුළු සමාජයම කොන් කළ ගැහැනියකට වුවත් ආදරේ කිරීමට මා වඩා කැමතිය. ඒ ආදරය කායික ආදරයක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුට ආදරේ කිරීම මිනිහෙක් ගැහැනියකට ආදරේ කරනවා වඩා වෙනස් අමුතු ආදරයකි.

මුළු සමාජයටම පිළිකුලක් වූ මුළු සමාජයම කොන් කළ ගැහැනියක් ඇගේ පෙර ජීවිතය අමතක කොට අවංකව එක් මිනිහෙකුට ආදරේ කිරීමට හිතාගෙන ජීවිතය අමුතු මඟකට යොමු කර ගතහොත් ඇය ශ්‍රේෂ්ඨ ගැහැනියක් වනු ඇත. එවැනි ගැහැනියකට මා වඩා ආදෙර්ය. යමෙක් සිගරට් බීම මුල සිටම අකමැති යැයි සිතමු. ඔහු ජීවිතේට සිගරට් බී නැත. නමුත් තවත් කෙනෙකු දිනකට සිගරට් පැකට් 10 ක් බොනාවා යයි සිතමු. මේ පුද්ගලයා හිතුවොත් අද සිට මම සිගරට් නොබොමි යයි කියා. ඔහු පෙර පුද්ගලයාට වඩා ශ්‍රේෂ්ඨයකු ලෙසයි මට පෙනෙන්නේ. හොඳ මිනිසකු, හොඳ වෙනවාට වඩා නරක කෙනෙකු හොඳවීමේ ආනිශංස වැඩියි.

අනාගත බිරිඳ

කෙදිනක හෝ මා විවාහ වුණොත් මගේ බිරිඳගේ අතීතය ගැන මම නොබලමි. ඇගේ අතීතය සෙවිය යුත්තේ මා පළමුව සුදනෙකු වූ පසුවයි. මගේ ජීවිතය හරියට හැඩ ගස්වාගෙන නැති නම් මා ඇයගේ පසුගිය ජීවිතය සොයන්නේ කුමටද? මා සෙවිය යුත්තේ ඇගේ ඉදිරි ජීවිතය ගැනයි. මගේ බිරිඳට යම් කලෙක මා එපා වුවහොත් මා අත්හැර යාමට ඉඩ තිබේ. එවිට ප්‍රශ්න හුඟක් අඩුයි.

මට බිරිඳක් සිටිනවා නම් මා මගේ බිරිඳට චිත්‍රපටයක් බැලීමට කතා කළ විට ඇය අදිමදි කරන්නේ යයි සිතමු. ඇය කැමති චිත්‍රපටයක් බලනවාට වඩා මිතුරන් හා මිතුරියන් සමඟ විනෝදවීමට නම් මා මෙතැනදි අනුගමනය කළ යුත්තේ කුමක්ද? මේ ප්‍රශ්නය අද විවාහකයන්ගෙන් සියයට 90 කට බලපාන දෙයක්.

‘නෑ. උඹ මා සමඟ චිත්‍රපට බැලිය යුතුයි’ කියා ඇගේ හිතට වධ දී අකමැත්තෙන් ඇය කැඳවාගෙන යනවාට වඩා ඇයට ප්‍රිය සමාගමේ මිතුරු මිතුරියන් සිටින තැනකට ගෙන ගොස් මා චිත්‍රපට බැලීමට යාම ඇය මට තියෙන ආදරය පලුදු නොකිරීමක් සිදු වෙනු ඇත. විවාහය යනු කඩදාසියකට සීමා වූ ප්‍රෝඩාවක් නොවේ. යමෙකුට තව කෙනෙකු ආදරේ නම් එය පමණක් සෑහේ. මේ අතර ඇතැම් අය විවාහයෙන් පසු බිරිඳ ගේ කීම් බස් අසා තම ජීවිතේ ඇසුර කරන මිතුරන්, නෑයන් නැති කර ගනී. මෙය මෝඩ ක්‍රියාවකි. මේ නිසා මිනිස්සු ගැහැනුන් යටතේ ජීවත්ව මැරි මැරී උපදී. තමාගේ නිදහස පාවා දී විවාහ වීම මෝඩ කි‍්‍රයාවකි. මෙය මම අනුමත නොකරමි.

විවාහය

විවාහය පිළිබඳ මා තුළ තවම නිශ්චිත අරමුණක් නැත. මට හිතට කැමති කෙනෙකු හා මම ඇසුරු කරමි. එවිට මට ඇයට ආදරය කළ හැකිය. එවැනි ආදරයක් හා ඇසුරක් ඇති කර ගත්තොත් ඇය හා විවාහවීමට මා මැළි කරන්නේ ඇගේ ආදරය පෙර ලෙසම විවාහයෙන් පසු පවතීද? එසේ පැවතිය යුතුද? යන ප්‍රශ්න නිසාය. මේ ප්‍රශ්නවලට වඩා ඇය හා පෙර ලෙස ඇසුරු කිරීම වඩා යෙහෙකැයි මට සිතේ.

බොරුව

මා ලෝකයටම බොරු කළත් මා මට බොරුකාරයකු වීමට අකමැතිය. ආත්ම වංචාව තරම් ද්‍රෝහීකමක් තවත් නැත. බොරුවක් කියා ලබන තාවකාලික සුවයට වඩා සංතාපයෙන් ලැබෙන සැපත උපරිම සාධාරණ එකකි.

දරුවන්

මම කුඩා දරුවන් හැමටම ආදෙර්ය. මටත් කුඩා දරුවෝ ආදරේ බව මම දනිමි. අනාගතයේ මට උපදින දරුවන්ට මා අසීමිත ලෙස ආදරය කරනු ඇත. මගේ දරුවන්ට මෙන්ම සකල ලෝකවාසී හැම දරුවන්ටම මම එක ලෙසම ආදරය කරමි. මගේ දරුවන්ට ද ඒ දහම කියා දෙමි.

මිතුරන්

මම මිතුරන්ට බෙහෙවින් ආදරය කරමි. මට බොහෝ මිතුරෝ සිටිති. චිත්‍රපටවල රඟපෑමෙන් පසු ලැබෙන විවේකය මා නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ කුඩා නිවසේ ගත කරන්නේ කොයි මොහොත්දැයි හිතාගෙනය. සවස් වන විට තලකොටුව උද්‍යානයේ පී. බී. ඉලංගසිංහගේ (ඔහු අද ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කතුවරයා. එදා සිළුමිණ පත්‍රයේ සහකාර කතුවරයෙකි) චමරියට මම යාමට ප්‍රිය කරමි. එතැනට මගේ මිත්‍ර නළුවන්, ගායකයන්, ගීත රචකයන්, පත්‍ර කලාවේදීන්, නාට්‍ය නිෂ්පාදකයන්, සංගීතඥයන්, ගුවන් විදුලි ශිල්පීන් එනවා. කිසිම කලාවකට සම්බන්ධ නැති අයත් මේ අතර සිටිනවා. මේ මිතුරන් අතරින් ඉතා සමීපව මා ඇසුරු කරන කිහිප දෙනෙක් ද මේ අතර සිටිනවා. ඔවුන් මා හා පවත්වන්නේ මගේ නළුකම තඹ දොයිතුවකටවත් ගණන් ගෙන නොව හුදෙක් මිතුරෙකු යන ආකල්පයෙනි. මට නළුකම හෙට නැතිව ගියත් මගේ මිතුරන් පෙර ලෙසම මා පිළිගනී යන සිතිවිල්ල මගේ සිත තුළ බෙහෙවින් අරක් ගෙන තියෙනවා.

විජය මා සමඟ එදා කළ ‘සරසවිය’ විශේෂාංගය නිම කරමින් මෙසේ පැවසුවේය.

‘ගැහැනියකට, මිතුරන්ට හා තමා ආදරේ කරන කවරෙකුට වුව එක සමාන මානව භක්තියක් අප තුළ තිබිය යුතුයි. තම මවට මෙන්ම සමාජයේ නරකම ගැහැනියට ද සම මෙත් දැක්වීම මානව භක්තියයි. මේ මානව භක්තිය සුළු ප්‍රමාණයකින්වත් අප තුළ ඇති වුවහොත් මනුෂ්‍යයන් වශයෙන් අපට සතුටු විය හැකිය. එවැනි සතුටක් සෙවීමට මම හැම විටම උත්සාහ කරමි.’