ප්‍රතිචාර
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ
ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.
සිනමා අදියරු ධර්මසේන පතිරාජයන්ගේ සමුගැනීම
සිංහල සිනමාවේ නව ගමන් මඟක් ඇති කළ අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ
වැනි රසික සිත් සතන් තුළ නොමැකෙන සිනමා නිර්මාණයන් සිත්තම් කළ සිනමා අදියරු ධර්මසේන
පතිරාජයනි, ඔබ දැයෙන් සමුගෙන ගිය ද ඔබ හෙළ සිනමාව තුළ සදා මතකයේ රැඳෙනු ඇත.
මාතලේ ධර්මා ඒකනායක
සිංහල සිනමාවට විශිෂ්ටතම සේවයක් කළ ප්‍රවීණ සිනමාවේදී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ
තිර රචක ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අභාවය මුළු සිනමා කර්මාන්තයටත්, රසික අපිටත්,
ලංකාවටත් ලොකු පාඩුවකි.
යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය
ධර්මසේන නම් වූ කලාකරුවා!
ධර්මය රකිමින් සිටින ඒ උත්තමයා රසික රසිකාවන් දුක් සයුරේ ගිල්වා යන්නට ගියේය.
ඔහු සම්භාව්‍ය චිත්‍රපට තනා සිනමාව අවධි කොට නික්ම ගියේය.
'බඹරු ඇවිත්', 'සොල්දාදු උන්නැහේ' රසික හදවත් එකලු කොට මුසපත් කළේය.
ඔහු වගේ කලාකරුවෙක් නැවතත් අප අතරට එක් වේවා . . .
දයානන්ද සිල්වා
හික්කඩුව
විප්ලවීය සිනමාවේදියාට
ස්වකීය නිර්මාණයක් වෙත කිරා, පෙරා, මැන තෝරාගත් දක්ෂයින්ම පමණක් යොදා ගනිමින්
කලාත්මක සිනමා කෘතීන් සමුච්චයක් හා තමන් හට ශේෂ වූ ප්‍රබුද්ධ රසික කැලක් බිහිකර
දැයෙන් සමුගත් හෙතෙම ආචාර්ය ධර්මසේන පතිරාජයන් වන්නේය.
එහෙයින් ඔබගේ නාමය අප හදවත්හි සදාකල්හිම ග්‍රන්ථාරූඩව පවතින්නේය.
රන්මුතුගල සරත් ලියනගේ
ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිනමාවේ පෙරළිකාර විප්ලවකාරී සිනමා දැක්ම තුළින් කොරා
සහ අන්ධයා වේදිකා නාට්‍ය රචනය කර නිර්මාණ කරමින් 1970 දී කලාවට පා තැබූ හෙතෙම කෙටි
චිත්‍රපට. ටෙලි නාට්‍ය සහ වාර්තා චිත්‍රපටවලින් 1974 දී අහස් ගව්ව, එයා දැන් ලොකු
ළමයෙක්, බඹරු ඇවිත්, පාර දිගේ. සොල්දාදු උන්නැහේ, මතු යම් දවස, සක්කාරම්, අවසන් වරට
ස්වරූප අධ්‍යක්ෂණය කරමින් සිනමා අම්බරයේ වැජඹී ලාංකික ඉතිහාසය විනිවද යමින් කලාත්මක
සිනමාවේ පුරෝගාමිත්වය ලබාගෙන ඉතා දුෂ්කර කාර්යයක් ඉටු කරමින් අප විශ්මිත කළ ආචාර්ය
ධර්මසේන පතිරාජයන් දැයෙන් වෙන් වීම කලා ලොවම අඳුරු කළ බව නියතය. එය යළි ගොඩ නැඟුමට
කවරෙකු සිනමාවේ බිහිවේද යන්න සිතාගත නොහැකිය. භවයෙන් භවය ඔබට නිවන් සුවම අත්වේවායි
පතමි.
ලියනගේ සෝමරත්න ද සිල්වා
මරදාන, අහුන්ගල්ල
ධර්මසේන පතිරාජ මහා සිනමාවේදියාණෙනි, අහස් ගව්වෙන් පටන්ගෙන සිනමා ප්‍රේක්ෂකයන්ගේ
ජනාදරය දිනාගත් ඔබ අප අතර සැමදා රැඳේවි.
ඔබට නිවන් සුව.
සුගත් ගමගේ
උදයපුර, අම්පාර
හෙළ සිනමාවට සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කළ අනුපමේය මෙහෙයක් කර, හිඩැසක්
ඉතිරි කරමින් අපෙන් සමුගෙන ගිය සිනමාපති ආචාර්ය ධර්මසේන පතිරාජ සිනමාවේදියාණනි, ඔබට
නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
අතුල රම්‍යසිරි
පානදුර
ප්‍රියංගා තුෂාරා දුලීකා සුසී සංගීතා වාසනා වේවා
රොමියො ජුලියට් සැලී සකුන්තලා කාංචනා ගීතිකා කීවා
කිඳුරු කුමාරිගේ පාරමිතාවන් අංජනා දෙව්දුව වූවා
සඳමාලි කෝකිලා අහිංසා තත්තිට තරිකිට පද නැටුවා
සිකුරුලියගේ ලස්සන දවසත් පස මිතුරෝ හා ගතවූවා
එක හිත ඇති ගැහැනියක අනුපමා බදුලු කෝච්චියෙන් ආවා
හොඳම වෙලාවට ටක් ටික් ටුක් ලෙස රන්දම් වැල් ගත සැරසුවා
රණ දෙරණකදි සිව්රඟ සේනා පෙරළිකාරයෝ බැබලූවා
යුගයෙන් යුගයට රජ වැඩකාරයෝ මමයි රජා කියමින් ආවා
හිත හොඳ සූරයෝ රජ දවසක්දා ලස්සන දවසක් ගත කෙරුවා
සූරයන් අතර වීරයා ශක්තියෙන් දියමන්තිය ලෙස දිස්වූවා
ඔබටයි ප්‍රියේ ආදරේ කියමින් පෙම්බර මධු හිත සැනස්සුවා
මරුවා සමඟින් වාසය කළ මුත් විශ්මය ලෙස මධු සිහින මවා
උන්නත් දාහයි මලත් දාහයි රහසක් නැති රහසක් කිව්වා
සහරාවේ සිහිනයක් දකින්නට සිටිය අපගේ මේ හොඳම නළුවා
කරුමක්කාරයෙක් හින්දා විජය ඔබ ක්‍රිස්තු චරිතයෙන් දිවි පිදුවා
ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත, වත්තල
විජයතු විජය
පළමු විජයගෙන් උපන් දේශයම
එවන් විජයට දිවි අහිමි කළ දේශයම විය
කරුමය උරුමයට
දිවි රැක්මට හිරු නැග්මෙ සිට
හිරු අවරේ දී පවා
වියැළි හේනේ
ගොවි බිමේ කම්හලේ
දළ සයුරු රළ අතර
දිරි දරණ මිනිසුන්නේ
දුක් හැඟුම් වැලඳගෙන
නෙවිල් පී. විද්‍යාරත්න
කඩුගන්නාව
හන්තානේ කඳු මුදුනින් පැමිණ විජේ
රජ වැඩකාරයෙක් වූවා පසුව විජේ
අංජානා සමඟ පෙම් බැන්ද විජේ
මරුවා සමඟ වාසය කළේ ඔබයි විජේ
සිනමාවේ ලස්සන තරුව ඔබයි විජේ
අද සිටියා නම් නායකයා ඔබයි විජේ
වෙඩි වරුසාවක් මැද සිටියෙත් ඔබයි විජේ
තාමත් ආදරෙයි අපි ඔබට විජේ
ජාඇල, කලඑළිය
පාතිමා මාවතේ
සරත් සේනාධීර
සංසාරෙන් නික්මෙන තුරු ඔබ අප හදවත් තුළයි
ඉපදීම මියයෑම සොබා දහම අනුව සිදු වුවත් 1988 පෙබරවාරි 16 වන දින මුලු දිවයිනම
හඬවමින් ලේ පිපාසිත රුදුරු මිනීමරුවන්ගේ වෙඩි පහරකින් අප හැර ගිය ආදර විජය
කුමාරතුංග කලාකරුවාණනි, ඔබ අප අතර නැතත් අදත් රසිකයන්ගේ ප්‍රියතම රංගධරයා ඔබයි.
ජීවිතයේ වියපත් නොවුණ මතකයක් ඉතිරිකර ගිය ඔබ සදාතනිකයි. ඔබගේ මතකය අප ද මේ සංසාරෙන්
නික්මෙන තුරු අප හදවත් තුළ පවතී. ඔබට නිවන් සුව පතමු මෙසේ.
සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව
මානව හිතවාදී ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංගයන්ගේ 30 වැනි ගුණ අනුස්මරණය මෙම
පෙබරවාරි 16 වැනි දින අප සිහිපත් කරන්නෙමු. ඔහු අද ජීවත්ව සිටියා නම් සිංහල සිනමාව
රිදී තිරය ජය පිට ජය වාර්තා තබනු ඇත. ඔහුගේ අඩුව පිරවීමට තවමත් කෙනෙක් බිහි වී නැත.
යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය
'විජය කුමාරතුංග මහතා වෙඩි තබා ඝාතනය කරයි . . . යන්න 1988 පෙබ: 16 අඟහරුවාදා
දහවල් ගුවන් විදුලියෙන් ඇසුණ ඒ පුවත අදටත් දෝංකාර දේ.
කෙනෙකුට වරදක් නැති අහිංසක මිනිසෙකි විජය. ඔබගේ රඟපෑම අදටත් බලද්දී ඔබ තාමත් අප අතර
සිටින බව අපට දැනේ. ආදර විජය ඔබ මිය ගියේ නැත. තාමත් අප සමඟ සිටී. ඔබගේ ලස්සන
සිනහවත් අරගෙන එන්න . . .
යක්විල, ඊරියගොල්ල
ඒ. එම්. උපාලි නන්දසේන
පතීට නිවන් සුව පතමු
අහස්ගව්ව නැඟ කන්දෙදි හන්තානේ
කතාවෙන් රිදී තිර රන් රජදානේ
පතා සොඳුරු යුගයක් මැව් රසසීනේ
පතී එළි කළා ලැබ ජන සම්මානේ
පේරාදෙණිය සරසවි බිම සුවඳ කෙත
පාරාදීසයක් විණි රස හැඟුම් සිත
මෝරා වැඩුණි හෙළ සිනමා සොඳුරු කත
තෝරා ගති පුදා සෙනෙහස අපරිමිත
පොන්මනි එයා දැන් ලොකු ළමයෙක් කැන්දා
ගම්මානයක තතු නිසි ලෙස පෑ හින්දා
ආනන්දයෙන් පැන මඟ සෙවු මනනන්දා
සිතුවම පෙළහරින් ලොව ජය දද බැන්දා
බිඳුණා සොඳුරුගම පියමැන අඳුර කරා
දනිසුරු බලය හමුවේ නෙත කඳුළු පුරා
හඳුනා ගත්තොත් ඔබ මා උදුම්බරා
බැඳුණා රසික සිත් ගී මධු රසය උරා
බඹරු ඇවිත් නෑ අද ගුම් නද දෙන්නේ
කුමරු නිදනු දැක දැවෙමින් සෝ ගින්නේ
නිසරු නොවිණි දිවිමඟ ඔබ නව පන්නේ
සොඳුරු මිනසෙකුව පෙරමුණමයි උන්නේ
මතු යම් දවස ඔබ එනතුරු සිටිමු පතී
සිතුවම් සොඳුරු මවමින් අප සැවොම රුතී
නෙතු යුග හලන්නට නම් දැන් කඳුළු නැතී
පැතුමන් නිවන් සුව ආදර අපගෙ පතී
පතනෙමු නිවන් සුව පතිරාජයන් හට
අහස් ගව්ව හන්තානෙදි දුටුවාද?
බඹරු ඇවිත් 'ගුම් ගුම්' නද දුන්නාද?
පරිසරයට පෙම් බැඳගන සිටියාද?
සැම දෙන හැරදමා යන්නට සිදුවීද?
අවසන් ගමන නිහඬව ගිය නිසාවෙන්
ගෞරව දක්වන්න බැරි විය විගසින්
සමුගෙන ගියත් හෙළ සිනමා කලා කෙතින්
රසිකයො ලියනවා ඔබේ නම රන් අකුරින්
දස්කම් උගත්කම් කොතෙකුත් දුටුවාට
නිරහංකාර ගති පැවතුම් තිබුණාට
සමු දෙන්නට සිදු විය අනිත දිවියට
පතනෙමු නිවන් සුව පතිරාජයන් හට
ආර්. ඒ. සෝමා රණසිංහ
ධර්මසේන පතිරාජ සිනමාවේදියාණනි
පාර දිගේ ගිය එයා දැන් ලොකු ළමයෙක් වූවා
අහස් ගව්වට යන්නට මං පෙත් විවර වූවා
ඔබ සිනමාවට දුන් ශක්තිය අප සැම නිරතුරු දුටුවා
පතී ඔබ සිංහල සිනමාවේ නව මං පෑදූවා
සිනමාවට කළ සේවය මිල කළ නොහැකිය කිසිදා
අමතක නොවන ලෙස නමක් තැබුවෙ පවතින්නට සැමදා
නිහතමානිකම නිතර ඔබෙ මුහුණේ ඇඳී පෙනුණා සැමදා
විරල මිනිසුන් අතර මිනිසෙකු වූයේ ඔබමයි සැමදා
සැම විට වෙහෙස වූයේ නරඹන්නන් හට යමක් දෙන්නයි
සිතු ලෙසට එය ඔබ අප වෙත ලැබ දුන්නයි
බඹරු ඇවිත් ඔබෙ දස්කම් අප හට පෙන්වූවා මතකයි
ඔබ නැති පාඩුව සිනමාවට දැනෙණුයෙ නොමැකෙන ලෙසටයි
සෝමා එච්.පතිරණ
පන්සල පාර,
කහවත්ත
|