|
කමල් හසන්ගෙන් රජිනිට කොන්දේසි ?
ඉන්දියාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන වාර්ෂික ඉන්දීය සමුළුවේ ප්‍රධාන දේශනය දකුණු ඉන්දීය නළු කමල් හසන් විසින් කරන්න නියමිත බව පසුගිය කාලයේ පුවත් ගෙන ආවා. ඔහු තමිල්නාඩුව ගැන තමයි කතා කරන්නේ කියලත් එම පුවත්වල සඳහන් වුණා. කිව්වත් වගේම ඔහු කතා කළේ තමිල්නාඩුව ගැන. "මගේ කතාව තමිල්නාඩුව. මම ඒ ගැන කතා කරන්න තීරණය කළේ අත්‍යාවශ්‍ය නිසා. අපේ රාජ්‍ය අගටම කිඳාබැහැලා තියෙන්නේ. මම පුරවැසියෙක් විදියටත් දෙමළ ජාතිකයෙක් විදියටත් ඒ ගැන වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා" ඔහු පැවසූ අයුරින්ම කතාව කළා. අනතුරුව ජනතාව ගෙන් යොමු වූ ගැටලුවලටත් ඔහු පිළිතුරු දුන්නා. දේශපාලන ගමනේදී කමලහසන්, රජිනිකාන්ත් සමඟින් අත්වැල් බැඳ ගැනීම ගැනත් ප්‍රශ්න යොමු වුණා. කලකට ඉහතදී මේ ප්‍රශ්නයේදී රජිනි නම් කිව්වේ කාලය විසින් එයට පිළිතුරු සපයනු ඇති බවයි. "රතුපාට මගේ දේශපාලන පාට නෙවෙයි. සැෆ්රන් (ළා තැඹිලි) පැහැය රජිනිගෙ පාට වුණා නම් මේ කතාව ගොඩක් අපහසු එකක් වෙන්න ඉඩ තිබුණා" කමල් හසන් පැවසුවා. ඒ වගේම නුදුරු සතියකදී ඔහු තම දේශපාලන ගමන පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කරන්න නියමිත බවත් ආරංචියි.
මධුරි වගේ නටන්න බැහැ
බොලිවුඩයේ නම දිනූ ශ්‍රී ලංකා රූ රැජන ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මේ දිනවල Baaghi 2 චිත්‍රපටයේ රූගත කිරීම් සමඟින් කාර්යබහුල වෙලා ඉන්නේ. එහිදී ඇයට සුවිශේෂ නර්තන අංගයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා. කලකට ඉහතදී මධුරි ඩික්සිත් Tezaab චිත්‍රපටයේදී ඉදිරිපත් කළ "Ek Do Teen" ගීතමය දර්ශනය Baaghi 2 චිත්‍රපටය වෙනුවෙන් ඇතුලත් කිරීමේදි තමයි ජැක්ලීන්ට මේ අවස්ථාව ලැබුණේ. එම අවස්ථාව තම රංගන ජීවිතයේ තිගැස්මක් ඇති වූ අවස්ථාවක් බව ඇය පවසනවා. "ඒ වෙලාවේ ඇත්තෙන්ම මට ආතතියක් දැනුණා. මේ වගේ පැරණි නර්තනයක් ඉදිරිපත් කරන්න මට බැරි වේවි ද කියලත් හිතුණා. බය නිසාම මට ඒක හොඳීන් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. මම මධුරි වගේ නටන්න උත්සාහ කළේ නැහැ. මම ඇයගේ රසිකාවක්. අපි මේ නර්තනය "Ek Do Teen" ගීතයට ගෞරවයක් ලෙසින් ඉදිරිපත් කළේ. හින්දි සිනමාවේ මේ වගේ සංකේතාත්මක ගීතමය ජවනිකාවක් නැවත ඉදිරිපත් කරන්න ලැබීම නිළියක් විදියට මා ලද ගෞරවයක්. මධුරි වගේ මට නටන්න බැරි බව මම දන්නවා. මම එහෙම ඇයට අනුකරණය කරන්න උත්සාහ කළෙත් නැහැ. ඇයට ගෞරවයක් ලෙසින් වඩාත් හොඳන් එය ඉදිරිපත් කරන්න උත්සාහ කළා" ජැක්ලීන් බොහොම නිහතමානිව තමා ලද එම අවස්ථාව ගැන පවසනවා.
බලාපොරොත්තු සුන් කළ ස්පයිස් ගර්ල්ස්
ස්පයිස් ගර්ල්ස් කියන්නේ අනූව දශකයේ ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් කාන්තා පොප් සංගීත කණ්ඩායමක්. වික්ටෝරියා බෙකම්, ජෙරී හෝනර්, එමා බන්ටන්, මෙලනි බ‍්‍රවුන් සහ මෙලනි චිෂොල්ම් ගෙන් සමන්විත ස්පයිස් ගර්ල්ස් 1994 වසරේදී ආරම්භ කර වරින්වර විසිර ගිය ද 1994 -2000, 2007–2008, 2012 - 2016 කාලයන්හිදී ඔවුන්ගේ ප්‍රසංග අත්විඳීන්න ලොවපුරා රසික රසිකාවන්ට අවස්ථාව ලැබුණා. ඔවුන් 1996 වසරේ නිකුත් කළ Wannabe ඇල්බමයේ පිටපත් මිලියන 80ක් අලෙවි වූයේ, කාන්තා සංගීත කණ්‌ඩායමක් ලද ඉහළම අලෙවි වාර්තාවට හිමිකම් තබමින්. පසුගිය දිනෙක මේ කණ්ඩාමේ ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ වීම සමඟින් යළිත් සංචාරයක බලාපොරොත්තු රසික රසිකාවන්ට ඇති කර තිබුණා. එපමණක් නොව ඔවුන් පෙර කළමනාකරු පවා හමු වී ඇති බවත් වාර්තා වුණා. එයින් කියවුණේ ස්පයිස් ගර්ල්ස් කණ්ඩායම පසුගිය දිනෙක ලන්ඩනයේදී දිවා ආහාරය ගැනීමට ද එක් වී සිටි අතර එය දුටු බොහෝ දෙනා පවසා සිටියේ, නුදුරේදීම සංචාරයක් ආරම්භ කරනු ඇති බවයි. නමුත් වික්ටොර්යි බෙකම් කළ ප්‍රකාශයක් ඒ බලාපොරොත්තු සුන් කර තිබෙනවා. ඇය එවැනි ප්‍රසංගයකට සහභාගි නොවන බව පසුගිය දිනෙක සාකච්ඡාවකදී පවසා තිබුණා. "මම සංචාරයකට සහභාගි වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමත් සංචාරයකට සහභාගි වෙන්නේ නැහැ" යනුවෙන් එහි දී ඇය පැවසුවා.
මේගන්ට රාජකීය පාඩම්
හොලිවුඩ් නිළි මේගන් මාර්කල් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමඟින් විවාහය ගැන නිල නිවේදනය පසුගිය වසරේදී නිකුත් කළා. රාජකීය පවුලට සම්බන්ධ වීමට පෙර මේ දිනවල ඇය රාජකීය පාඩම් රැසක් ඉගෙන ගනිමින් සිටින බවයි හොලිවුඩ් ආරංචි ගෙන එන්නේ. ඒ වෙනුවෙන් ඇය රාජකීය සිරිත් විරිත්, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උච්චාරණය, කෑම මේසයේ පුරුදු, රාජකීය මෝටර් රථයෙන් බසින අයුරු, විදේශීය රාජකීයයන් සමඟ හැසිරෙන්නේ කෙසේ ද වැනි පාඩම් මේ අතරට ඇතුළත් බවයි කියවෙන්නේ.
බොක්ස් ඔෆිස් රැජන
දීපිකා පදුකෝන්හට බොලිවුඩයේ බොක්ස් ඔෆිස් රැජන ලෙසින් කිරුළ හිමිවන බව බොලිවුඩ් පුවත් ගෙන එනවා. Om Shanti Om චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි ඇයගේ අලුත්ම රංගනය දැක්වෙන Padmaavat චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරෙනවා. ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් පවා ඇති කළත් එය ඇගේ තරු බලය පෙන් වූ චිත්‍රපටයක් බවට පත් වෙලා. Padmaavat බොක්ස් ඔෆිස් වාර්තා සමඟින් තිරගත වීම සමඟින් දීපිකා ලෙහෙසියෙන් තවත් නිළියකට කැඩිය නොහැකි වාර්තාවක් තබන බවයි බොලිවුඩ් පුවත් පවසන්නේ. මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 402.94ක ආදායමක් වාර්තා කර ඇති Padmaavat චිත්‍රපටය සමඟින් ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවූ චිත්‍රපට ත්‍රිත්වයක දායකත්වය ඇයට හිමි වෙනවා. ඒ Happy New Year ~ƒ Chennai Express චිත්‍රපට සමඟින්. ඇයගේ දායකත්වය ලද චිත්‍රපට අතරේ ඉන්දීය රුපියල් කෝටිය ඉක්ම වූ චිත්‍රපට හතක් ඇතුළත්. හොඳම චිත්‍රපට දහයක පමණක් ඇයගේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 1500ක්. බොලිවුඩයේ නළුවන් ගෙන් පවා ඒ තත්ත්වයට පැමිණ සිටින්නේ කිහිප දෙනෙකු පමණක් බවත් මෙම වාර්තා ගෙන එනවා.
|