වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කෝටිපතියෝ අංජලී

කෝටිපතියෝ අංජලී

හිතපු නැති විදියට මං වැලේ පැටළුණා

තුෂිණි ප්‍රනාන්දු

මේ දිනවල බොහෝ සෙයින් ජනාදරයට පත් වු ස්වර්ණවාහිනියේ විකාශය වන කෝටිපතියෝ ටෙලි නාට්‍ය මාලාව තුළින් ප්‍රේක්ෂකයින් හමුවන සුන්දර නවක රංගන ශිල්පිනියක් වන තුෂිණි ප්‍රනාන්දුගේ තොරතුරු සොයා අපි ඇය සොයා ගියා. ඉතාලියේ ජීවත් වූ ඇය සිය රැකියාව සහ පවුලේ සාමාජිකයින් අතහැර මෙහි පැමිණෙන්නේ ටෙලි නාට්‍යයේ රඟපෑමට ඇයට ලැබූ ආරාධනය හේතුවෙන්.

* කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ අංජලී, කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත්ම හොඳයි. ඇත්තටම මම රංගනයෙන් එකතු වෙන පළවෙනි නිර්මාණය නිසා මට ලැබෙන ප්‍ර‍්‍රතිචාර ගොඩක් වැදගත්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ යහළුවන්ගෙන් වගේම මම පාරට ගියත්. මම රඟපාන කොටස්වලින් දැනට ප්‍රේක්ෂකයින් අතරට ගිහින් තියෙන්නේ ඉතාම සුළු කොටස් ප්‍රමාණයක් විතරක් වුණත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේතරම් සුළු කොටස් ප්‍රමාණයක් දැනට විකාශය වුණත් ඒ වගේ ලොකු ප්‍රතිචාරයක් ලැබෙද්දී ඇත්තටම මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා.

* ඔබට අංජලීගේ චරිතය දැනෙන්නේ මොන වගේද?

ඇත්තටම ඒ චරිතය ගොඩක් ක්‍රියාශීලී චරිතයක්. සාමාන්‍යයෙන් අපි වැඩිපුර චිත්‍රපටවල ටෙලි නාට්‍යවල දකින සාම්ප්‍රදායික චරිතයක් නෙමෙයි මේ අංජලී කියන චරිතය. සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක්ට රඟපාන්න ලැබෙන චරිතයක් නෙමෙයි. මුලින්ම කතාවේ විදිහට මගේ පෙම්වතා මිය යනවා. ඒ දුකෙන් ඉන්නේ. ඒ වගේම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඒ හැමදේටම මුහුණ දෙමින් පෙම්වතා වෙනුවෙන් සටන් කරන ගොඩක් ක්‍රියාශීලී නිර්භය චරිතයක්. ඇත්තටම මේ චරිතය රඟපාද්දී මම ඒක රස විඳිනවා. රූපගත කිරීම්වලදී මට ලැබෙන අභියෝග සහ ඒවාට මම මුහුණ දෙන ආකාරය විවිධයි. එකිනෙකට වෙනස්. ඒ නිසා ලොකු උද්යෝගයක් තියෙනවා මේ චරිතය තුළ.

* ඔබට මේ චරිතය ගොඩනඟාගන්න ලැබුණ සහයෝගය මොන වගේද?

මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අධ්‍යක්ෂකතුමාව ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාව. ඔහු අනෙක් අය වගේම මාවත් හොඳින් මෙහෙයවනවා. පිටිපස්සෙන් ඉඳගෙන ලොකු උදව්වක් දෙනවා. ඒ වගේම මගේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ නිෂ්පාදන කණ්ඩායමේ අයගෙන් ලැබෙන සහයෝගය අති විශාලයි. මම අලුත් කෙනෙක් වුණත් මාව හරිම ආදරයෙන් එයාලා පිළිගත්තා. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන සාරංග අයියා වගේම රොහාන් අයියා මේ හැම දෙනෙක්ම ඔහොම නෙමෙයි මෙහෙම කරන්න කියලා ගොඩක් උපදෙස් දෙනවා මට. හරි විනෝදයෙන් හැමදේම වෙනවා. නිෂ්පාදන කණ්ඩායමේ අය වුණත් මට උපදෙස් දෙනවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඇත්තටම ඒක මම ගොඩක් අගය කරනවා.

* ඔබට මේක නුහුරු අත්දැකිමක්. කොහොමද මේ දේවල්වලට හැඩ ගැහෙන්නේ?

මේ කණ්ඩායම එක්ක මම වැඩ කරන්නේ ගොඩක් ආසාවෙන්. රූපගත කිරීම්වලට පාන්දරින් යන්න වුණත් මම යන්නේ හරිම ආසාවෙන් සහ ලොකු කැමැත්තකින් වගේම හරිම උද්යෝගයකින්. මොකද මම යන්නේ මම ආස තැනකටනේ කියන හැඟීම මට තියෙනවා. ඇත්තටම මගේ පවුලේ අය පවා අමතක වෙන තරමට මම ඒකට කැමැතියි. මේ කණ්ඩායම එක්ක එකතු වෙලා වැඩ කරන්නේ හරිම කැමැත්තෙන්.

* ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම ඉතාලියේ හිටියේ. මගේ යහළුවෙක් මාර්ගයෙන් මට උදිත් අබේරත්න මහත්මයාව අඳුනගන්න ලැබුණා. ඒ මාර්ගයෙන් මට නාට්‍යයේ නිෂ්පාදක මහතා වන චාමර සමරවික්‍රම මහතාව අඳුනගන්න ලැබෙනවා. ඔහු තමයි මාව සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට හඳුන්වලා දෙන්නේ. ඔහු මාව නාට්‍යයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහත්මයාට හඳුන්වලා දෙනවා. දුරකතනයෙන් තමයි හැමදේම වුණේ මම හිටියේ ඉතාලියේ නිසා. මට කිව්වා මම රඟපාන වීඩියෝ පටයක් එවන්න කියලා. මට රඟපාන්න පුළුවන්ද කියලා එයාලට බලාගන්න ඕන වුණා. මගේ පින්තූර එයාලා දැකලා තිබුණත් මට කැමරාවක් ඉස්සරහ රඟපාන්න පුළුවන්ද කියලා එයාලා දන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම හාරකෝටිය රසිකාවක්. මම ඒ කතාවට ඇබ්බැහි වෙලා වගේ බැලුවේ. ඒ තරම් ආදරෙයි. මම හාරකෝටිය කතාවෙම කොටසක් රඟපාලා එව්වා. පස්සේ ඒක බලලා එයාලා සාකච්ඡා කරලා මට කතා කළා. මාව තෝරගෙන තියෙනවා එන්න පුළුවන්ද කියලා. මම ඒ වෙද්දී ඉතාලියේ රැකියාවක නිරත වෙලා හිටියේ. මට හදිසියේ රැකියාවෙන් ඉවත් වෙන්න හැකියාවක් නැහැ. ඒත් මම ගොඩක් සතුටු වුණා මාව තෝරගෙන කිව්වම. මට හිතාගන්න බැරි වුණා. මම ඇහුවා මම ජනවාරිවල එන්නද කියලා එන්න අපහසුතාවක හිටිය නිසා. එයාලා කිව්වා දෙසැම්බර්වල රූගතකිරීම් ආරම්භ කරනවා කියලා. එයාලා කිව්වා මට මේ ලැබුණු අවස්ථාව ගැන හිතන්න කියලා. ඉතින් මම ගෙදර අය එක්ක කතා කරලා රැකියාව කළ ආයතනයේ ප්‍රධානියා එක්ක කතා කළා. එතනදි ගොඩක් ප්‍රශ්න ඇති වුණා රැකියාවෙන් අස්වෙන්න වුණ නිසා. කොහොම හරි මම ලංකාවට දවස් දෙකක් ඇතුළත ආවා.

* ඔබ ආවේ ඉතාලියේ රැකියාව අතහැරලා. එතකොට ඉදිරියට ඔබ වෘත්තීය විදියට රංගනයට යොමු වෙනවාද?

ඔව්, මම කැමැතියි මගේ වෘත්තීය විදිහට රංගනය තෝරා ගන්න. මම මගේ වෘත්තිය දාල ආවේ. දැනට මම ඇවිත් මාසයක් වගේ වෙන්නේ. මම පෙනී ඉන්න කොටස් කිහිපයක් විතරයි තාම විකාශය වුණේ. තාම මිනිස්සු හරියට මාව දන්නේ නෑ. ඉදිරියේ මේ නාට්‍යය හරහා මාව එළියට එද්දී මට අවස්ථාව ලැබෙන විදියට මම ඒ දේවල් කරනවා. හොඳ දේවල් තෝරා බේරා ගෙන ඉදිරි ගමනක් යන්න මම කැමැත්තෙන් ඉන්නේ.

* ඔබේ පවුලේ අය පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ. ඔබ මේ වෙනුවෙන් පවුල සහ රැකියාව දාලා ලංකාවට එද්දී මව්පියන්ගේ අකමැත්තක් තිබුණේ නැද්ද?

මම මුලින්ම කිව්වේ ඒ ගැන අම්මට. අම්මා තමයි මුලින් අකමැති වුණේ. ඒ අකමැති වුණේ මම රඟපානවට නෙමෙයි. මම පවුලෙන් අයින් වෙනවට. මම එහේ ගිහින් වසර 3 කට වැඩියි. මම ඉගෙන ගත්තේ ලංකාවේ. අම්මලා හිටියේ එහේ. අධ්‍යාපන කටයුතු ඉවර කරලා අපි පවුලක් විදිහට එහේ එකට ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි. අම්මට මම ටික කාලයකට හරි ආයෙත් පවුලෙන් ඈත් වෙනවා කියන එක දරාගන්න බැරි වුණා. අම්මට මම නැතුව හරිම පාලුයි. ඒත් මම අන්තිමේ තාත්තා එක්ක ලංකාවට ආවා. දැන්නම් අම්මා කියනවා මාව රූපවාහිනියේ දකිද්දී හරිම ආසයි කියලා. එයාගේ යාළුවෝ එහෙම කතා කරලා කියද්දී අම්මා කියනවා එයාට ඇඬෙනවා කියලා. අම්මා කියනවා මම හිතුවේ නෑ මෙහෙම කියලා. මුලින් අකමැති වුණත් දැන්නම් ලොකු සහයෝගයක් ලැබෙනවා.

* ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද?

මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව කන්‍යාරාමයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළ හැදෑරුවේ කටුනේරිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවේ. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. එයාලා තුන් දෙනාම අධ්‍යාපනය තවමත් හදාරනවා. මමත් රැකියාව කරන අතරේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න හිටියේ. නමුත් ඒ දේවල් දාලා මම ආවා.