|
මෙය මෙගා ටෙලි නාට්‍යයක් නොවෙයිබද්දට සහ කුලියට ගෙනෙන චන්දන හේවාපතිරණ
මං හොඳට මාර්කටිං දන්න කෙනෙක් අපේ නිර්මාණකරුවන් කවදාවත් සංස්කෘතියට පටහැණි දේවල් කරන්නෙ නැහැ
මං ඉන්දීය නාට්‍ය රැල්ලට මේ කළේ අභියෝගයක්. මොනවද බලන්නකො දැන් ඔය ඉන්දීය ටෙලි නාට්‍යවල තියන දේවල්. තනිකරම සමහර දර්ශන අපේ සංස්කෘතියට පටහැණියි. නමුත් ඒවා පෙන්වනවා.
‘බද්දට සහ කුලියට' ලැබෙන ප්‍රතිචාර දිහා බලාගෙන ඉන්න ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ඉන්නවා. ඔහුගේ නම චන්දන හේවාපතිරණ. 'බද්දට සහ කුලියට' කොහොමද ප්‍රතිචාර ලැබෙන්නෙ. එක අතකින් ඒක අපබ්‍රංසයක්. ප්‍රේක්ෂකයන්ට බලපෑම් කරන නිර්මාණවලටනෙ ප්‍රතිචාර ලැබෙන්නෙ. ඒවා කොහොමත් බද්දට හෝ කුලියට ගන්න බැහැනෙ. නමුත් චන්දන නම් මේදිනවල බද්දට සහ කුලියට ලැබෙන අදහස් උදහස් දිහා තමයි බලාගෙන ඉන්නෙ. ඔහුගේ අලුත් නාට්‍යයේ නම තමයි ඒ. බද්දට සහ කුලියට. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රෑ නවයට බද්දට සහ කුලියට විකාශය වනවා. ඒ ගැන චන්දන දැක්වූයේ මෙන්න මේ වගේ අදහස් කිහිපයක්. මං මීට පෙර අධ්‍යක්ෂණය කළා හිට් විකට් සහ මෙහි කුණු දැමීම තහනම් නමැති නාට්‍ය යුවළක්. එවැනි දිගුවක් ලෙසට බද්දට සහ කුලියට නාට්‍යය හඳුන්වන්න පුළුවන්. මේක එක්තරා අන්දමේ ප්‍රහසනයක්. ඒ වුණාට ජීවිතේ යථාර්ථය ගැනයි කතා කරන්නේ. ගෙයක් හදන්න තිබුණු සල්ලිවලින් පුතාව රටයවලා ඊට පස්සේ කුලී ගෙදරක ජීවත්වන පවුලක් වටායි කතාපුවත දිග හැරෙන්නෙ. ඔවුන් හිතනවා පුතා රට ගිහින් සල්ලි හොයලා පවුලම ගොඩදායි කියලා. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අලකලංචි ගොඩකට ඔවුන් මුහුණ දෙනවා. මේ ඔස්සෙයි කතාව දිගහැරෙන්නේ. ඔබ අන්තිමයට අධ්‍යක්ෂණය කළ නාට්‍ය මොකක්ද? තීර්ථ තරණය. මේ නාට්‍යයත් කරලා දැන් අවුරුද්දක් විතර ඇති. බද්දට සහ කුලියට තිරරචනයත් ඔබගෙ. කොහොමද නාට්‍යවලට මේ වගෙ අපූරු කතා වස්තූන් හොයා ගන්නෙ? ඇත්තම කිව්වොත් මේ කතාවෙහි යම් යම් සිද්ධීන් ගැන මගෙත් අත්දැකීම් තියෙනවා. ඊට අමතරව සමාජය තුළ සැරිසරද්දී නිරන්තරයෙන් අපට ඕනෑතරම් වෙනස් අන්දමේ අත්දැකීම් විඳින්නට ලැබෙනවා. ඒවා ඔස්සේයි මං තිරරචනා සකස්කරන්නෙ. මේ දවස්වල ප්‍රේක්ෂක අවධානය වැඩිපුරම යොමුවෙලා තියෙන්නෙ ඉන්දීය හඬකැවූ නාට්‍යවලට. ඒ අතරේ බද්දට සහ කුලියට මොන වගේ තැනකද තියෙන්නෙ? මං ඉන්දීය නාට්‍ය රැල්ලට මේ කළේ අභියෝගයක්. මොනවද බලන්නකො දැන් ඔය ඉන්දීය ටෙලි නාට්‍යවල තියන දේවල්. තනිකරම සමහර දර්ශන අපේ සංස්කෘතියට පටහැනියි. නමුත් ඒවා පෙන්වනවා. අපේ නිර්මාණකරුවකුගෙ නාට්‍යයක් ටී වී එකේ දාන්න කලින් සමීක්ෂණ මණ්ඩලයකින් බලනවා. ඉන්දියාවෙ නාට්‍ය එහෙම බලන්නෙ නැහැ. අපේ නිර්මාණකරුවන් කවදාවත් සංස්කෘතියට පටහැණි දේවල් කරන්නෙ නැහැනෙ. ස්වයං වාරණයක් ඇතුවයි නිර්මාණකරණයේ යෙදෙන්නෙ. අපි දන්නවනෙ අපේ සංස්කෘතිය ගැන. එහෙම වෙලත් අපේ නිර්මාණමයි වාරණය කරන්න හදන්නෙ. ඇතැමුන් කියනවා හොඳ සිංහල නාට්‍ය නැහැ කියලා? කවුද කියන්නෙ. කොතරම් හොඳනිර්මාණකරුවන් ඉන්නවද. ඉන් ඇතැම් අය ක්ෂේත්‍රනේ බැහැර වෙලා. ප්‍රධානම හේතුව චැනල්වලින් ගෙවන ගානෙ අඩුවීම. තුට්ටු දෙකට නාට්‍ය ගන්න අවස්ථාත් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් මත කොහොමද ගුණාත්මක වර්ගයේ නිර්මාණකරන්නෙ. ඔබ කොහොමද මේ අභියෝගයන් ජයගත්තෙ? මං හොඳට මාර්කටිං දන්න කෙනෙක්. මං දන්නවා කොතනින්ද ප්‍රේක්ෂකයන්ව අල්ලන්න ඕන කියලා. කොතරම් බලපෑම ආවත් ඒවා ගානට බැලන්ස් කරගෙන මං මට ඕන නිර්මාණය කරනවා. කාටවත් ඕන විදිහට මං ආර්ටිස්ලව ගන්නෙ නැහැ. කාටවත් ඕන විදිහට කතාව හදන්නෙ නැහැ. කාටවත ඕන විදිහට ටෙලිනාට්‍යයක නම් වෙනස් කරන්නෙ නැහැ. මං හරිම ස්වාධීනයි. අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට කළ නිසා මගෙ බොහෝ නාට්‍ය ඉතාම ජනප්‍රිය වුණා. හිට්විකට් අදටත් මිනිසුන්ට මතකයි. අදත් ගමකට ගිහින් අද්භූතලාම්පුව නාට්‍ය ගැන කතා කළොත් නොදන්න කෙනෙක් නැහැ. ඒ මොකද මං මාර්කටිං එක්ක නිර්මාණ කළ නිසා. බද්දට සහ කුලියට කියන වචන දෙකට වඩා අප සමාජයේ ප්‍රසිද්ධ කුලියට සහ බද්දට කියන වචන යුවළ? ඔව්. පත්තරයක වුණත් දැන්වීමක තියෙන්න කුලියට සහ බද්දට කියලනෙ. ඒ සිස්ටම් එකනෙ ප්‍රසිද්ධ. නමුත් ඒක ටෙලියකට මැච්වෙන්නෙ නැහැ. මං වචන දෙක මාරු කළා. එතකොට හරි. සමහරු අහනවා වචන මාරුකරලා මොකද වැරදිලාවත්ද කියලා. ඔබ පරපුරේ ඇතැම් නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ තුළින්ම කුඩා චරිත හෝ කරමින් රඟපාන්න පෙළඹුණා. ඔබගෙ අදහසක් නැද්ද රංගනයට එන්න. දැන් රඟපාන අධ්‍යක්ෂවරු බොහොමයක් ක්ෂේත්‍රයට අඩිය තියලා තියෙන්නෙ නළුවකුවෙන්න. පසුකාලීනව ඔවුන් අධ්‍යක්ෂවරුන් වුණා. එහෙම වුණාට රඟපෑමෙ ආසාව යටපත් වෙන්නෙ නැහැනෙ. ඉතින් කලකදී තමන්ගෙ නිර්මාණයක රඟපාන්න බලනවා. මං එහෙම නෙවෙයි. අධ්‍යක්ෂණයටමයි ආවෙ. ඔබ වගේ ඇතැම් අය කියනවා පෙනුමත් එක්ක රඟපාන්න කියලා. නමුත් මං ඒකට ආස නැහැ. මෙගා බෙල්ට් එකක විකාශය වුවත් බද්දට සහ කුලියට මෙගා නාට්‍යයක් නෙවෙයි නේද? ඔව්. මේක කොටස් 53 යි. එතැනින් එහාට අදින්නෙ නැහැ. මෙගා නොවුණට මට හිතෙනවා ඒ ටයිම් එක හොඳයි කියලා. ඔබට සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරිමේ හීනය කලක පටන් තිබෙනවා. මේ වසරේදීවත් ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වන්නෙ නැතිද? මට හොඳ නිෂ්පාදකවරයකු මුණගැහුණේ නැහැ. ඒකයි ප්‍රමාද. හොඳ පිටපත් දෙකක් තියාගෙන බලාගෙන ඉන්නවා. මට ගැළපෙන හොද නිෂ්පාදකවරයකු මුණගැසුණ ගමන් මං සිනමාපටයක් අධ්‍යක්ෂණය කරනවා.
|