|
ඔබේ සුවඳ දෝ සිිත දැවටෙන්නේ...හරියටම තිස් වසරකට පසු විජය ගැන සටහනක්
හෙට පෙබරවාරි 16 වැනි දින.හරියටම අවුරුදු තිහකට පෙර අතීතයට යා යුතුය.අවුරුදු තිහකට පෙර ලංකාව මේ වගේ යැයි හිතන්නට අද පරම්පරාවට හැකියාවක් නැත.අතීත කාමයෙන් පමණක් ජීවත්ව අතීතය මරුයැයි සිතමින් අනාගතයක් නොදැක ජීවත්වන බොහොමයකට එසමය සිහිපත් වනුයේ ත්‍රාසජනක සිනමා කෘතියක එන කවරකින් කුමක්වේදැයි සිතිය නොහැකිමොහොතක් හැටියටය.ඒ කාලයේ රටේ තැන තැන මරණයේ පණිවිඩය හමා ගියේය.කිසිවක් ගේ ජීවිත අයිතිය පිළිබඳ තින්දු ගනු ලද්දේ අද මෙන් බහුල වශයෙන් මෝටර් රථ රියැදුරන් නොවේ.නාඳුනන තුවක්කුකරුවන් විසිනි.ගෙයින් එළියට බැස එනවාද නැද්ද හෝ රැය පහන්ව පසුදා හිරු එළිය දකියි ද යන්න දැන සිටියේ ඔවුන්ය.අවසන් ගමන යන මිනිසා ගේ මළගම මහ මග ද නැතහොත් දනින් ඉහළට නොඑසැවෙන්නේ ද යන්න දැන සිටියේ ද මේ දෙපාර්ශවය පමණී.මරණයේ ගිණුම කාගේ දැයි කිසිවකු දැන සිටියේ නැත.එමෙන්ම එම වකවානුවේ වහා තොරතුරු දැන ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.තොරතුරක් දැන ගත්තේ ගුවන් විදුලියෙනි.නැතහොත් රජයේ ටෙලිවිෂන නාලිකාවකිනි.නැතිනම් පුවත්පතකිනි.පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තිබුණේ නැත.අන්තර්ජාලය හෝ සමාජ ජාලා ගැන සිහිනෙන් වත් හිතුවේ ද නැත.චිත්‍රපට පෙන්වූවේ සිනමා ශාලාවලය.නැතහොත් නිශ්චිත කාලයක දී ටෙලිවිෂන නාළිකවකය.එහෙම යුගයක් තිබිණිදැයි වර්තමානිකයෝ දන්නේ ද නැත.අද මෙන් ලෝකය පාලනය ඩේටා මත සිදුවූවක් නොවීය. 1988 පෙබරවාරි 16 වැනි දින හරියටම දහවල් 12 යි 45 ට මධ්‍යහ්න ප්‍රවෘත්ති විකාශය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව මගින් ආරම්භ කළේය.නිවේදිකාව විසින් සිරස්තළ කියවා ප්‍රවෘත්ති විකාශයේ මුල් ප්‍රවෘත්තියද කියාපෑවාය.එකවරම දොරක් ඇසෙන හඬක් ඇසිණ.අනතුරුව ඒ වන විට රටම ආදරය කළ හඬ ප්‍රවෘත්ති විකාශයට බාධා කළේය. එම හඬ ද එයින් වසරකට පසු එකී මරණයම උරුම කරගත් ප්‍රේමකීර්ති ද අල්විස් ගෙනි. මෙන්න මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්.ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ජනපිය නළු විජය කුමාරතුංග මහතා අද දහවල් දොළහයි පහට පමණ කොළඹ පොල්හේන්ගොඩ පාරේ පිහිටි ඒ මහතාගේ නිවස අසළ දී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කළ බව....... ඉන් එහා ප්‍රවෘත්තිය කවරේදැයි කිසිවකු හෝ විමසුවේ නැත.ප්‍රවෘත්ති ඇසුවෝ නොඇසුවන්ට කීහ.නොඇසුවන් දන්නා අයට කීහ.දන්නා අය නොදන්නා අයට කීහ.ඇසිල්ලකින් රටම හඬන්නට වන්නේය. විජය ගැන ඇසූ සියල්ලෝම ළෙයෙහි අත් ගසා අඩන්නට වන්හ.සාප කරන්නට වන්හ.1945 වසරේ ඔක්තෝබර් 09 වැනි දින උපන් ඔහුගේ දිවි ගමන වසර 43ක් වැනි කෙටි කාලයක දී අතරමග නතර කරන්නට නාඳුනන තුවක්කකුරු බාර ගෙන තිබිණ.ඒ වන තෙක් ඉහෙන් බහින රෝගයක් විජයට තිබුණේ නැත. ඔහු තරම් කාලය කළමනා කළ වැඩ රාශියක් එකවර කරපු කෙනෙකු සිටියේද නැත. විජය කුමාරතුංග සිනමාවට පිවිසෙනුයේ මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයේය.ඒ වන විට සියලු ඉන්දියානු සිනමාකරුවන් මෙරටට ශිල්ප සාදා දී මෙරටින් බැහැර ගොසිනි.කර්මාන්තයේ නියැලි සියලු ශිල්පින් ලාංකිකයන් වූහ.තරුණ සිනමාව පිළිබඳ ආකල්ප රට පුරා පැතිරමින් තිබිණ.විජය කුමාරතුංගයන්ගේ මුල්ම චරිත නිරූපණය හන්තානේ කතාවයි.එහි ගෞරවය හිමි වන්නේ සුගතපාල සෙනරත් යාපාටය.හන්තානේ කතාව මෙරට තරුණ සිනමාවක මුල් පියවරක් ලෙස සැළකීම යුක්ති සහගතය.එයින් බිහි වුවන් ලංකික සිනමාවේ හැඩ රුව වෙනස් කිරීමට බෙහෙවින් දායක වූහ.යම් හෙයකින් විජය සිනමාවට ගෙන ඒමේ ගෞරවය යාපාට අහිමි වුව හොත් එම ගෞරවය ලැබීමට සුදුසු තවත් පෙරළිකාර සිනමාකරුවන් දෙදෙනෙක් සිංහල සිනමාවේ සිටියහ.එක් අයෙක් ටයිටස් තොටවත්තයන්ය.තොටවත්තයන් නිර්මාණය කරන්නට සැරසුණු පුරන් අප්පු චිත්‍රපටය සඳහා විජය තෝරා ගෙන තිබිණ.අවාසනාවට එම චිත්‍රපටය නිර්මාණය වූයේ නැත අනිත් සිනමාකරු ජී.ඩී.එල්.පෙරේරා ය.විජය ජී.ඩි.එල් පෙරේරා ගේ රෝමියෝ ජුලියට් කතාව චිත්‍රපටයේ රඟපෑවේය.එමෙන්ම විජය නිහාල් ජයසිංහගේ මනමාලයෝ චිත්‍රපටයට ද දායක වි සිටියේය.මෙකි පෙළගැස්ම සිනමා නළුවකු වීමේ අභිලාෂය ඇති තරුණයකුගේ චරිතය කියාපාන අවස්ථාවකි.තමා සිනමා නළුවකු නොවූයේ නම් අනිවාර්යනේම පොලිස් නිළධාරියකු වනු ඇතැයි විජය එකල සරසවියට පවසා තිබූ අයුරු පාඨකයකුව සිටි මට මතකය. විජය වරක් කියා සිටියේ අක්කර පහ චිත්‍රපටයේ චරිතයක් උදෙසා තමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සොයා ගිය වගය.එය ඔහුගේ උනන්දුව පෙන්වා දෙන කරුණකි. ඔහු හා තරග වැඳුණ සමකාලින තරුණ නළුවන්ට වඩා විජය කැපී පෙනෙන කාරණයක් වනුයේ ද එයයි.අතිශය කඩවසම් හා කැමරාව ආදරය කරන වර්ගයේ රූපයක් හිමි විජය චරිත සොයා යන්නේ ලාංකික සිනමාවේ හැඩ රුව වෙනස් කරන සිනමාකරුවන් වෙතටය.එය සමකාලින නළුවන්ගේ අභිප්‍රායෙන ඔහු වෙනස් වන්නකි. හැත්තෑවේ එළැඹෙන නව සිනමාවට විජය නැතුවම බැරි චරිතය වෙයි.එමෙන්ම ඒ හා සමගාමිව පිබිදෙන ප්‍රධාන ප්‍රවාහයේ නව සිනමාකරුවන්ට ද විජය අවශ්‍ය වෙයි.ආචාර්ය ධර්මසේන පතිරාජ,වසන්ත ඔබේසේකර,එච්.ඩී.ප්‍රේමරත්න,තිස්ස අබේසේකර සුමිත්‍රා පීරිස්, සුනිල් ආරියරත්න වැනි සිනමාකරුවන් විජය ඔවුන්ගේ සිනමාවේ ලා යොදා ගනිති.මේ අතරින් පතිරාජයන්ගේ චිත්‍රපට හතරකම විජය රඟපාන්නේය.අහස් ගව්ව,එයා දැන් ලොකු ළමයෙක්,බඹරු ඇවිත් ,පාරදිගේ එම චිත්‍රපට හතරයි.ලංකික සිනමාවේ මහා සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විජය මුලින් රංගනයට දායක කර ගත්තේ ද ගෝඩ් කිං චිත්‍රපටය උදෙසාය.එමෙන්ම මුල් දශකයේ සිනමාවට පිවිස සිනමාකරුවන් අතරින් කෙනකු වන සිරිල් පී.අබේරත්න ද සිය නව චිත්‍රපට උදෙසා විජය තෝරා ගන්නට උත්සුක වෙයි.ඒ අති සාර්ථක වන සුසී චිත්‍රපටය සමගය.යසපාලිත නානායක්කාර සිය මුල්ම චිත්‍රපටය වූ තුෂාරා හරහා විජය ජනප්‍රිය සිනමාවේ ඉහළ තළයට ගෙන යාම අරඹයි.සැබැවින්ම විජය ජනප්‍රිය සිනමාවේ ප්‍රතිරූපය බිහි කරනුයේ යසපාලිතය.ඒ ජනප්‍රිය ධාරාවේ කැපි පෙනෙන සිනමාකරු වකු වන ලෙනින් මොරායස් ගාමිණී ෆොන්සේකා වෙනුවට විකල්ප ලෙස තෝරා ගන්නේ විජය කුමාරතුංගය. ඒ වන විට අපේ සිනමාවේ රංග රීතිය ඉන්දියානු ගුරුකුලය සහමුලින් බැහැර කරන යුගය වුවත් ඇතැම් ජනප්‍රිය නළුවන් ගේ රංගනය සමකාලින දෙමළ සිනමාවේ ලක්ෂණ හා සැසඳීය හැකි අවස්ථා එමට පෙන්වා දිය හැකිය.එහෙත් විජය තමන්ට ආවේණික රටාවකට රූපණයේ යෙදෙන්නට මත් වෙයි.මෙහිදී මහා රංග රීතියක් ගොඩ නංවනවාට වඩා විජයගේ කඩවසම් රූප කායට සිනමා කැමරාව ආදරය කරන්නට පෙළඹුණ වග එකල චිත්‍රපට රූපරාමු අපට සාක්කි දෙයි.එහෙත් විජයගේ විලාසිතාවන් අනුකරණය කරන්නට තරුණයන් පෙලඹී සිටි ආකාරයටම විජයගේ ඝාතනයෙන් පසු ඔහුගේ රංගනය අනුකරණය කරන්නට පෙලඹුණ තරුණ නළුවන් සමූහයක් ද බිහිවිණ.මෙය ඔහුගේ රංගනය දෙස හිතා බලන්නට අපට යළි අවස්ථාවක් දෙයි.ඔවුන් පූර්වාදර්ශ කොට ගත්තේ විජයගේ රංගන විලාසයයි. විජය සිනමාවට පිවිසෙනුයේ නළුවකු වශයෙනි.ඔහු පිට පිට පස් වතාවක්ම ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලද්දේය.මේ වන විට ඔහු දේශපාලන වශයෙන් එවකට පැවැති රජය සමග අර්බුදයකට මුහුණ පා සිටියේය.එහෙත් එය ඔහුගේ ජනප්‍රියත්වයට කිසිසේත් හානියක් ගෙන දුන්නේ නැත. 1980 දශකයේ මැද භාගය වන විට සිංහල සිනමා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය.කිසි කලක නොවූ විරූ ලෙස චිත්‍රපට දවසින් දෙකින් ගැලවිණ.එතෙක් සිනමාව හා ඇලි ගැලි සිටි බොහේ ප්‍රේක්ෂකයන් සිංහල සිනමාවෙන් ඇත් වන්නට පටන් ගත්තේය.සිනමා කෙෂත්‍රයේ නියැළුණ ඇතැම් ශිල්පින් ද රැකියා විරහිත තත්වයට පත් විය.මේ අවදියේ යන්තම් හෝ විශ්වාස කළ හැකි එකම චිත්‍රපට නම් විජය රඟපෑ චිත්‍රපටයන්ය.එහි පුදුමය නම් ඒ වන විට පැවැති රජය මගින් නිළ නොළත් වාරණයක් විජය අරබයා පළ කිරීමය.ඒ අනුව එකල විජයගේ රුව ටෙලිවිෂනයේ තහනම්ය.විජයගේ නම ගුවන් විදුලියට තහනම්ය.හඬ තහනම්ය.ජය සිකුරුයි චිත්‍රපටය තිර ගත වනුයේ මේ නිල නොලත් වාරණයත් එක්කය.ටෙලිවිෂනයේ චිත්‍රපට දැන්වීම් වැඩ සටහනේ ගීතා කුමාරසිංහ පමණක් නටයි.විජයගේ රුව එයින් වාරණය කර ඇත.එහෙත් විජය ගීතා රඟපෑ ජය සිකුරුයි අනෝරාවට පැල් බැඳගෙන දිව්වේය.මරදානේ ඔලිම්පියා සිනමාහලේ පමණක් දින සියය ඉක්ම විය.විජය ගේ ජනප්‍රියත්වය දේශපාලන ලෝකයේ ඔහුට ඉදිරි ගමනක් සඳහා අනියමින් මග පාදා දුන්නේය. එහෙත් විජය කිසි කලකත් දේශපාලනය සහ කලාව එකිනෙකා පටලවන්නට තරම් මුග්ධයකු නොවිය.ඔහු හැමවිටම සිනමාවට මුල් තැන දුන්නේය.එයට ගරු කළේය.එබැවින් ම තමන්ට එරෙහිව දේශපාලනයේ යෙදුණ කිසිවකු සමග හෝ එකට සිනමා කෘතියක රඟපාන්නට විජයට දෙවරක් සිතිය යුතු නැති විය.සිය සිනමා කෙෂත්‍රෙය් කිසිවකු චිත්‍රපටයක් නිපදවා එහි රඟපාන්නට විජයට ආරාධනා කළ විට එයට මුදල් ඉල්ලා විජය කරදර කළේ නැත.කොහොමටත් දර්ශන තලයක දී විජය සෙසු ශිල්පින් සමග කටයුතු කළේ පැමිණි දුක් පැණි රසයි න්‍යායන් බව එකල ශිල්පින් පවසයි. මාධ්‍ය කෙෂත්‍රයේ හිතවතුන් වූ සැනින් එයට ප්‍රතිඋපකාරයක් ලෙස ප්‍රතිරූප නැංවිම සිදු කිරීම ලොව පුරා මධ්‍ය ලෝකයේ සවිඥානිකව සිදුවන්නකි.එහෙත් මේ ඇතැම් ප්‍රතිරූප සහ සත්‍යය අතර ඇත්තේ බරපතළ දුරස් බවකි.හැම මිනිසකුටම පොදු ගුණාංග කලාකරුවන් කෙරෙහි ද අඩු වැඩි වශයෙන් බලපායි.ඒ ඔවුන් ද මනුෂ්‍යයන් බැවිනි.එහිදි ඇතැමකු සතු දුර්ගුණාංග පෞද්ගලික අමිහිරි මතකයට පමණක් සීමා කොට රැක ගන්නට මාධ්‍ය ලෝකයේ ඇතැම්හු කටයතු කරති.එහෙත් විජය සම්බන්ධයෙන් මේ කාරණය වෙනස්ය.විජය දැන හඳුනා සිටි සියල්ලන්ගේම එක් පොදු මතයක් විය.ඒ ඔහු හොඳ මිතුරෙක් බවය.මානව දයාවෙන් පිරිපුන් මිනිසකු බවය.සැබැවින්ම ආදරනීය මිනිසකු බවය.විජය එක් වරක් හෝ දුටු සිනමා රසිකයකුට පවා විජය වෙනුවෙන් එක් අපූරු මතක සටහනක් මුළු ජිවිත කාලය පුරාම පවත්වා ගෙන යන්නට තරම් ඉතිරි කර තිබිණ.එය ඉතා දුර්ලභ මනුෂය ගුණාංගයක් විය.එහි ප්‍රතිඵලය නම් විජය ගේ වියෝව ඉවසා සිටිය නොහැකි එක් රසිකයකු විජය ගේ දේහය තැන්පත් කර තිබුණු දේහය අබියස දි සිය දිවි නසා ගැනීමය.මෙරට සිනමා නළුවකු අරබයා දිවි නසා ගත් එකම තැනැත්තා ඔහුය.තවත් සමහරුන්ට හෘදයාබාධ වැලඳීණ.ජීවිත කාලයටම නැවත චිත්‍රපටයක් නරඹන්නේ නැතැයි සපථ කර ගත්තෝද සිටියහ.ගායකයකු වශයෙන් විජය කලඑළි බසින්නේ ඔහු ජනප්‍රියත්වයේ කිරුළ පැළඳී සමයේ වුව එයට පෙර ද හෙතෙම ගායනයේ නිරත ව සිටියේය.ප්‍රේමසිරි කේමදාසයන්ගේ ක්ෂිතිජය ඔහු රංගනයට දායක වූ ගිත නාටකයකි.එමෙන්ම ඔහු ධර්මසිරි වික්‍රමරත්නගේ රන් තෝඩු වේදිකා නාට්‍යයේ ද රගපෑවේය.එහෙත් කාර්ය බහුල සිනමා දිවිය ඔහු වේදිකාවෙන් ඉවත් කරන්නට ඇත.විජය මුල් වරට චිත්‍රපට පසුබිම් ගායනයට එක් වනුයේ ද කේමදාසයන්ගේ සංගිතය යටතේය.ඒ පාර දිගේ උදෙසාය.පසුව ඔහු කේමදාසයන්ගේ සංගිතයට දොළොස් මහේ පහන උදසා ද ගිත ගැයුවේය.විජය ගායකයකු ලෙස වඩාත් ජනාදරයට පත් වුයේ නිමල් මෙන්ඩිස් ගේ සංගිතයට ගයන ලද ගග අද්දර ගිතයටය.ඒ සුමිත්‍රා පීරිස් ගේ ගඟ අද්දර උදෙසාය.සිය මිතුරු ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසු විජය තමා රගපෑ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් ද දායක විය.ගුවන් විදුලියේ වාරණය යෙදෙද්දි විජය එවකට නැගී ආ අලුත් මාධ්‍යය වන කැසට් පට සඳහා ගීත රාශියක්ම ගැයුවේය.විජය මුලින්ම ගියන ලද්දේ ගී තැටියකටය.එහි විජය ගේ ගායනා හතරක් අඩංගු විය.මගේ මතකය නිවැරදි නම් එම ගීත තැටිය එකල පැවැති සිල්වර්ලයින් ආයතනයේ තැටියකි .ඒ බොහෝ ගීත ඔහු විසින් ගයන ලද්දේ නොමිළයේ වීම විශේෂයකි.මේ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනා අනුව ගයන ලද දඟගෙයි දඩුවම් ගීතය ඇතුළු ගීත රැසක් වේදනා නම් කැසට් පටයක් සඳහා විජය විසින් ගයන ලදී.වේදනා කැසට් පටය නිපද වන ලද්දේ ද විජය විසින්මය.එකම තේමාවක් යටතේ ලියැවුණු එම ගීත මහාචාර්ය සුනිල් ආරියරත්න ලවා ම ලියවා ගැන්මට විජයට වුවමනා විය.කැසට් පටය බෙදා හරින ලද්දේ විජයගේ මිතුරකු වූ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේනය.මේ ගීත විජයගේ දේශපාලන දර්ශණය පිළිඹිබු කරන්නකි.සිනමාව හරහා ඔහුට ගොඩ නැගිය හැකි සීමාව හඳුනා ගත් විජය එහිදී උපයෝගි කර ගත්තේ ගායනයයි. උපාලි අත්තනායකගේ පද රචනා අනුව ද විජය වරක් කැසට් පටයකට ගී ගැයුවේය.බලන්න අරුණ සමග ගීතය ඇතුළත් වූයේ එහිය.මේ සියලු ගී ජනප්‍රියත්වයෙන්ම ඉහළ අගයක් ගත්තේය.ජනප්‍රිය සිනමාකරු සේන සමරසිංහ විජය හා චන්ද්‍රලේඛා ගේ ගී එකතුවක් වරක් කැසට් මගින් නිකුත් කළේය.එහි එන විශේෂත්වය නම් විජය හා සේන කිසි කලක එක්ව චිත්‍රපටයකට දායක නොවීමය.විජය කිසි කලක ටෙලිවිෂන නාටකයක රංගනයට දායක නොවිය.ටෙලිවිෂනය සිනමාවේ හතුරෙකුයැයි විජය සැළකූ වගක් ඇතැම් විට සිතිය හැක්කේ ඔහු වරක කියා තිබුණේ තමා රගපෑ චිත්‍රපට කිසි වටෙකත් ටෙලිවිෂනයේ නොපෙන්විය වගකි..ඒ වන විට මෙරට ටෙලිවිෂනයේ ජනප්‍රිය වැඩ සටහන සිංහල චිත්‍රපට ප්‍රදර්ශණයයි. සිනමාවේ විජයගේ මුල්ම පෙම්වතිය වූයේ ස්වර්ණා මල්ලවාරච්චිය.ඉන් පසු ඔහු සිනමාවේ සියලු සුරූපිනියන්ට පෙම් බැන්දේය.නීටා ප්‍රනාන්දු,ගිතා කුමාරසිංහ,සබීතා පෙරේරා සෝනියා දිසා මේ අතර සිටිති.ලාංකික සිනමා ඉතිහාසයේ වඩාත්ම සුන්දරම පෙම් යුවළ කවුරුන්දැයි විමසන කළ ඒකායන පිළිතුර විය යුත්තේ විජය හා මාලිනි ෆොන්සේකා බවය.ඔවුන් එකට රගපෑ සියලු චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය.කලක් සැබෑ ජීවිතයේ ද ඔවුන්ගේ පෙම් සබදතාවක් තිබිණ.ඉන්දියානු සිනමාවේ රාජ් කපූර් නාර්ගිස් යුවළ එකට රඟපෑ සියලු චිත්‍රපට රූප රාමු තුළ ඔවුන්ගේ සැබෑ ආදරය ද්ස වන්නේ යම් සේ ද විජය හා මාලිනි තම තරුණ වියේ පෙම්වතුන් ලෙස රගපෑ චිත්‍රපට ද ආදරය උතුරා යන බව නොරහසකි. විජය ඝාතනය වන විට මෙරට තිර ගත වමින් තිබුණේ ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටයයි.ඒ වන විට ප්‍රදර්ශනයේ අවසන් දින කිහිපයට ළග වෙමින් තිබුණ එම චිත්‍රපටය නොකඩවා දින 124 ක් බොරුල්ල රිට්ස් සිනමාහලේ තිර ගත විය.විජයගේ මරණයන් පසු තිර ගත වූ මමයි රජා සහ නොම්මර 17 යන චිත්‍රපට යුගළම දින 200කට වඩා තිර ගත වී මෙරට සිනමාවේ ප්‍රදර්ශන වාර්තාවන් තැබීය.එච්.ආර්.ජෝතිපාලයන් ගේ අභාවයත් විජයගේ ඝාතනයක් සිදුවුයේ ඔවුන් ජනප්‍රියත්වයේ ඉහළම සිටියදීමය.ඒ වන විට දහසක් එකක් අර්බුද මැද පැවැති සංහල සිනමාවට විජයගේ ඝාතනය හදිසි අකුණු පහරක් විය.ඝාතනයට දින කිහිපයකට මත්තෙන් ඔහු රඟපාමින් සිටියේ මධු සිහින චිත්‍රපටයේය.එහි රූ ගැන්වීම් නිමා ව තිබිණ.තවත් චිත්‍රපට කිහිපයක්ම අතරමගය.ඒ ඇතැමක් කතාව වෙනස් කරමින් හෝ ආද්ශක නළුවන් යොදමින් වැඩ අවසන් කෙරිණ.මිය යන විට විජය චිත්‍රපට නිෂ්පාදකවරයකුව සිටියේය.ඒ දිනේෂ් ප්‍රියසාද් නිර්මාණය කළ වරදට දඬුවම් චිත්‍රපටයයි.විජය මාලිනි රඟපෑ එම චිත්‍රපටය තිර ගත වූයේ විජයගේ ඝාතනයෙන් පසුවය.ඔහු නිපද වූ සමාව චිත්‍රපටය තිර ගත වූයේ නැත.ලින්ටන් ද සිල්වා අඩක් නිපදවා අතරමග නතර වුණ දැවැන්ත චිත්‍රපටයක් වුන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ මං මුලා වැල් විජය විසින් මිළයට ගන්නා ලදී.එය සම්පූර්ණයෙන් රූ ගැන්වීම හමාර කළ ද එය ද තිර ගත නොවීය. විජය ජීවත්ව සිටියා නම් මේ ගෙවනුයේ සිය ජීවිතයේ 73 වැනි වසරයි.මේ තිස් වසර ඇතුළත කිසිවකුට ඇදහිය නොහැකි අන්දමින් ලෝකය ඉතිහාසය වෙනස් විය.සිනමාව සහමුලින්ම කණපිට හැරිණ.එය පොදු රසිකත්වයේ සිට පෞද්ගලික වින්දනයට විතැන් විය.අද විජය කුමාරතුංගයන්ගේ චිත්‍රපට අලුත් පරම්පරාව නරඹන්නේ ටෙලිවිෂනයෙනි.නැතිනම් වෙනත් මාධ්‍යයන්ගෙනි.ඒ කිසිවකුට හෝ විජය හෝ සමකාලින සිනමා තරු ලද ජනප්‍රියත්වය විග්‍රහ කොට කියා දිය නොහැක.විජය එන තුරු ඇස් කැඩෙන තෙක් බලාසිටි රසිකයන් සමරු සටහනක් ඉල්ලන්නට පොර කෑ රසිකයන් යන්තම් අතින් අල්ලා මේ දිව්‍යමය පිළිරුවක් ද නැතහොත් සාමාන්‍ය මිනිසෙක් දැයි විශ්වාස කරන්නට තැත් කළ රසිකයන් ලංකාවේ සිටි වග ගත වූ තිස් වසර ඇතුළත ඉපඳින තැනැත්තෙකුට විග්‍රහ කරදිම අසීරුය.එදා විජයට ආදරය කළ දස හැවිරිදි දරුවකු අද හතළිස් හැවිරිදිය.විජය ලෙස කොන්ඩය කැපූ විජය ලෙස ඇන්ද තරුණයන්ට පනහ පැනලාය.ලොව පුරා සිනමාවේ සිදු වූ කිසිවකුට හෝ වැළකිය නොහැකි විපර්යාසයන්ට විජය ජීවත්ව සිටියා නම් මුහුණ දිය යුතුය.ඔහු පිළිගත් දේශපාලන අදහස් කවරාකාරයෙන් සිදු වනු ඇතිද? විජය මියගොස් මුල් වසර කිහිපය තුළම ජනපි‍්‍රය නළු සිනමා සම්මානය සඳහා එකිනෙකා පොරබැදූ ජුගුප්සාජනක ආකාරය ඔහු දුටුවා නම් කෙබඳු හැඟීමක් ඇති වෙයිද?. වසර ගණනාවකට පසු රන්ජන් රාමනායක ජනපි‍්‍රය කිරුළ දරන තුරුම එය වසරින් වසර එකිනෙකා අතට මාරුවිය. තිස් වසරකට පසු වෙනස් නොවි විජයගේ ආදරණීය සිනහ රැල්ල දකින ඔහුගේම රසිකයකුට එලෙස හැඟිම වැළැක්විය නොහැක. විජය ඝාතනය කර වසර ගණනාවකට පසු ඒ පිලිබඳ සෙවීමට කොමිසමක් පත් කෙරිණ.විජය ඝාතකයා දාම ඝාතකයකු (ඉඥපඪචත ඬඪතතඥප) ලෙස හෙළිදරවු විණ.එමෙන්ම එය දේශපාලන අවශ්‍යතාවක් මත සිදුවූ වග ද කියැවිණ.විජයට ආදරය කළ රසිකයන්ට අවසානයේ ඉතිරි වූයේ කිසිවකු විසින් හෝ පිළිතුරු ලබා නොදුන් ගැටලු කිහිපයකි. විජය කුමාරතුංගයන් නිරුපණය කළ චරිත අතර මහත් ආන්දෝලනයට ලක් වු එක් චරිතයක් වූයේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ චරිතයයි.එමගින් විජය ගේ අසීමිත ජනප්‍රියත්වය තවත් වර්ධනය වනු ඇතැයි සමහරු කල්පනා කළ විය හැක.එම චිත්‍රපටයට බාධක පිට බාධක යෙදිණ.චිත්‍රපටය සම්පූර්ණ කළ ද විජයට එය දැක ගත හැකි නොවිණ.මට එහි අවසන් ජවනිකාව සිහිපත් වෙයි.මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා ලියා අධ්‍යක්ෂණය කරන ලද ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ (නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු) තිර පිටපතේ අවසන් දර්ශණය මෙලෙසය. ශ්‍රාවකයෝ නින්දේ පසුවෙති.හදිසියේ නිවස තුළට පතිත වූ ආලෝක ධාරාවක් නිසා සියල්ලෝ නිදි ගැට හැර පිබිදෙති.ආලෝක ධාරාව මැද ක්‍රිස්තු තුමා දර්ශනය වෙයි. ‘මා වටහා ගැනීමට මා හඳුනාගැනීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි මිතුරනි.’
|