|
තවත් රූප සුන්දරියක් තිරයට
නිකිණි වැස්ස ද සත්‍ය සිදුවීමකි, ලව් සටෝරි ද සත්‍ය සිදුවීමකි. මෙය අරුණ ජයවර්ධනගේ නවතම චිත්‍රපටය "1970 Love Story" යයි. එහි මුහුරත් උලෙළ පසුගිය දින පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී නැටුම්, ගැයුම්, වැයුම් මැද පැවැත්විණි. ඊට විශේෂ ආරාධිත අමුත්තන් හා ප්‍රවීණ රංගන ශිල්පින් හා ශිල්පිනියන් රැසකගේ සහභාගිත්වය දක්නට ලැබිණි. 70 දශකයේ ආදර කතාවට Star Entertainments & Events වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වන්නේ වෛද්‍ය සමන් එදිරිසිංහයි. සත්‍ය සිදුවිමක් තිර රචනය කෙරුණේ අරුණ ජයවර්ධන, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න, වේෂ නිරූපණය සමරසිරි කඳනගේ ගෙනි. ලාංකීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට දායාද වූ තවත් රූමතියක් වන ගම්‍යා විජේදාසගේ නවතම චිත්‍රපටය "1970 ලව් ස්ටෝරී". ඇය සමඟ එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ හේමාල් රණසිංහයි. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සරත් කොතලාවල, අෂාන් ඩයස්, සඳලි ප්‍රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, සමන් හේමරත්න, මධූ සේනාරත්න, දිනෙත් ද සිල්වා, ප්‍රාර්ථනා සේරසිංහ, සුනෙත් මැල්සිරිපුර, ලසන්ත උඩුකුඹුර, අසංග පෙරේරා ඇතුළු පිරිස චරිත නිරූපණය කරයි.
මාලිනී නමින් බාඳුරා මලක්
හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ නමින් බාඳුරා මලක් නම් කෙරේ. මෙරට බාඳුරා මල් නිෂ්පාදනය කොට බෙදා හරින්නන් විසින් ඉකුත් දිනවලදී ලිඳුල ප්‍රදේශයේ කළ පර්යේෂණයන්ගෙන් අනතුරුව නව බාඳුරා මල් විශේෂ අටක් හඳුන්වා දෙන ලදී. ඉන් එක් මලක් නම්කොට ඇත්තේ නිළි රැජන මාලිනීගේ නමිනි. ක්වීන් මාලිනී ලෙසට එයට නම තබා තිබේ.
ITN ශනිදා සාදයෙන් තලංගම ප්‍රේමදාස
ගත්කතුවර, ගීත රචක තලංගම ප්‍රේමදාස පිළිබඳ වැඩසටහනක් ස්වාධීන රූපවාහිනි සේවයෙන් සෙනසුරාදා පෙරවරුවේ 10.00ට විකාශය කෙරෙන ශනිදා සාදය වැඩසටහන ඔස්සේ ලබන 20 වැනිදා විකාශය කිරීමට නියමිතය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි තිලකරත්න කුරුවිට බණ්ඩාර මෙම අවස්ථාවට දායක වන අතර එහිදී තලංගම ප්‍රේමදාසයන් විසින් රචිත ගීත ද රස විඳීන්නට අවස්ථාව සැළසෙනු ඇත. බටහිර ලේඛකයෝ, ජගත් සුරංගනා කතා, සීනි ගෙදර නපුරු ආච්චි, අමරණීය පුද්ගලයෝ, සිතිවිලි රේඛා, නව සඳක්, පාළු අඳුර නිල් අහස මමයි, මිහිර පැතූ ආදරේ සහ පූජෝපහාරය වැනි කෘති රැසක් ඔහු විසින් රචිත අතර ‘බයිසිකල් හොරා’, ‘අධිෂ්ඨානය’, රජ දවසක්’, ‘කතුරු මුවාත්’ චිත්‍රපට සඳහා ද ඔහු විසින් රචිත ගීත රචනා කෙරිණි.
සරුංගල් දිගහැරේ
නාලක විතානගේ තිරරචනය කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතම චිත්‍රපටය “සරුංගල් “ මාධ්‍ය විශේෂ දැක්මක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.තරුණ ආදරයෙහි අලුත් පැතිකඩක් පිළිබඳ කතාබහ කරනු ලබන “සරුංගල්” තරංග අතුරලියගේ සහ ඒ.පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි. “සරුංගල්”හි චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණී, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ,සූරියා දයාරුවන්, ජනක රණසිංහ චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර ඇතුලු පිරිස රංඟනයෙන් දායක වෙති.එහි උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් ගායනයෙන් දායක වෙයි. “සරුංගල්” හි සහය අධ්‍යක්ෂණය කැලුම් උඩවාවල සහ පැතුම් ඒකනායකගෙනි. ධනුක බාලාරච්චි කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන සරුංගල්හි අංගරචනය අරුණ ශාන්තගෙනි. රංග දසනායගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන සරුංගල් මංජුල කුමාරතුංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වේ. නිෂ්පාදන කටයුතු නිම කළ සරුංගල් ලබන වසරේ තිරගත කිරීමට සියලු කටයුතු සංවිධානය කොට තිබේ. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි. |