|
උතුරු චෙන්නායි අබිරහස් රැසක් Sketch
උතුරු මදුරාසියේ වෙසෙන ජීවා හෙවත් ස්කෙච් සෙට්ටුගේ ගරාජයේ සේවයේ යෙදෙන දක්ෂතම සේවකයා වේ. ජීවාට එම තැන හිමි වූයේ මීට පෙර මෙම ගරාජයේ දක්ෂයා වු දුරෙයි තුවාල ලැබීමත් සමඟිනි. දුරෙයිගේ මිතුරා වන රවීහට, ජීවා ප්‍රධානියා සේ පෙනී සිටීම නොරිස්සුම් සහගත වන නමුත් ජීවා සහ ඔහුගේ අතිජාත මිතුරන් තිදෙනා එහි ඉතා සහයෝගයෙන් සේවයේ යෙදේ. ජීවාහට අම්මු නම් සුරූපි තරුණිය මුණ ගැසෙන්නේ ද මේ අවධියේදීය.
මේ අතර ශක්තිවේල් නම් පොලිස් නිලධාරියා පැමිණෙන්නේ, නීති විරෝධි ක්‍රියා රැසකට
චෝදනා ලැබ සිටින රොයාපුරම් කුමාර් නම් දාමරිකයා අල්ලා ගැනීමටය. සෙට්ටුගේ ඇස
නිරන්තරයෙන් යොමු වී තිබෙන්නේ රොයාපුරම් කුමාර්ගේ මෝටර් රථය වෙතය. සෙට්ටු ජීවාහට
පවසන්නේ, මීට වසර ගණනකට පෙර එය තම පියා සතු වූ බවත් කෙදිනක හෝ එය තමන් සතු කර ගැනීම
තම එකම බලාපොරොත්තුව බවයි.
එක් දිනක ජීවා විසින් රොයාපුරම් කුමාර් සතු මෝටර් රථය සෙට්ටු වෙත රැගෙන එන අභියෝගය භාර ගන්නා අතරම එය අකුරටම ඉටු කරයි. මෝටර් රථය ලැබීම හේතුවෙන් සෙට්ටු බෙහෙවින් සතුටට පත් වන අතර ජීවාහට අත් දකින්න ලැබෙන්නේ කෙදිනකවත් නොසිතූ දෙයකි. ඒ අතර අම්මු වෙනත් තරුණයකුහට විවාහකර දීමට ඇයගේ දෙමාපියන් පියවර ගැනීමත් සමඟින් ජීවාට තවත් අර්බුදකට මුහුණ දෙන්නට සිදු වේ. ජීවා හෙවත් ස්කෙච් මුහුණ දෙන මෙම සිදුවීම් දාමය සමඟින් ඔහුගේ ඉරණම විසඳෙන අයුරු ගෙන එන්නේ ත්‍රාසජනක, ක්‍රියාදාම රැගත් දෙමළ චිත්‍රපටයක් වන Sketch සමඟිනි. විජේ චන්ද්‍රර් විසින් අධ්‍යක්ෂණය කර ඇති Sketch හි වික්‍රම් සමඟින් තමන්නා, සූරි, බාබුරාජ්, ආර්. කේ. සුරේෂ්, ශ්‍රීමන්, විශ්වනාත් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. ජනවාරි 12 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ආරම්භ කළ Sketch තිරරචනය ද අධ්‍යක්ෂ විජේ චන්ද්‍රර්ගේය. රංගන ශිල්පියකු ලෙසින් ජනතා ආදරය දිනූ වික්‍රම් සහය අධ්‍යක්ෂවරයකු සේම පසුබිම් ගායකයකු ලෙසින්ද සිනමාවට දායක වන අතරේ Sketch චිත්‍රපටය වෙනුවෙන් ද "Kanave Kanave Puthu Kanave" ගීතය ගායනා කර ඇත. මෙහි එන "Atchi Putchi" ගීතය ගයන්නේ අධ්‍යක්ෂ විජේ චන්ද්‍රර් විසිනි. මෙහි එස්. තමාන්ගේ සංගීත අධ්‍යක්ෂණය ද විචාරක පැසසුමට ලක් වී ඇති අතර සංවේදී සිදුවීම් මෙන්ම දරුණු සිදුවීම් ද ඇතුළුව උතුරු චෙන්නායි අභිරහස් බොහොමයක් ඇතුළත් Sketch යනු සිත් ගන්නා සුලු කථාවක් සහිත ක්‍රියාදාම චිත්‍රපටයක් බව විචාරක අදහසයි. 2016 වසරේ Iru Mugan චිත්‍රපටයෙන් පසු වික්‍රම්ගේ රංගනයක් දෙමළ සිනමා රසිකයන්ට දකින්න ලැබෙන්නේ Sketch චිත්‍රපටය සමඟිනි. ඔහුගේ රංගන දායකත්වය ලද Dhruva Natchathiram නම් චිත්‍රපටය ද මේ වසරේදී තිරගත කෙරෙන්නට නියමිතව ඇත. මේ වසරේදී අතිශය කාර්ය බහුල නිළියක වී සිටින තමන්නා ගේ චිත්‍රපට අතුරින් පළමුවෙන්ම Sketch තිරගත වී ඇති අතර ඇයගේ රංගන දායකත්වය ලද තවත් චිත්‍රපට පහක් මේ වසරේදී තිරගත කිරීමට නියමිතව ඇත. පසුගිය සතියේ තෛයිපොංගල් උත්සවයට සමඟින් සිනමා නිර්මාණ කෙරෙහි දකුණු ඉන්දීය සිනමා රසික ආකර්ෂණය සුවිශේෂි විය. වසර ආරම්භය සමඟින් තෛපොංගල් උත්සව නිවාඩුව වෙනුවෙන් චිත්‍රපට අටක් තිරගත කිරීම නිවේදනය කර තිබූ නමුත් ඒ අතරේ සූර්යා ප්‍රධාන චරිත නිරූපණය කළ Thaanaa Serndha Koottam, ප්‍රභූදේවා ගේ Gulebagavali සහ අරවින්ද් සාමිගේ Bhaskar Oru Rascal සහ Sketch චිත්‍රපටය තෛපොංගල් වෙනුවෙන්ම තිරගත කෙරුණු චිත්‍රපට විය.
|