වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

පිරිමියෙක් නිසා ගාමිණිට පෙම් කළ සුජාතා - අප හැර ගියාය

ජීවිත කාලයට සුජාතා රඟපෑවේ චිත්‍රපට දෙකක පමණි

සුගත් - දුටු දා වගේම ලස්සනයි

ආලෙන් බැඳී ගියා

නංගනී - තාමත් එදා මෙන් ආදරෙයි

පණ මා ඔබනේ සුදා

දුටු දා වගේම ආදරෙයි

ආලෙන් බැඳී ගියා

ධර්මදාස වල්පොල හා ලතා වල්පොල ගැයූ මේ ගීතය එන්නේ 1960 වසරේ තිරගත වූ ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ඊ. ඒ. පී. එදිරිසිංහ නිෂ්පාදනය කළ ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටයෙනි. චිත්‍රානන්ද අබේසේකර විසින් රචනා කළ ගීතය සඳහා සංගීතය රචනා කළේ ආර්. මුත්තුසාමිය. චිත්‍රපටයේ රඟපෑවේ සුජාතා විජේසේකර සහ ගාමිණී ෆොන්සේකාය.

‘සුජාතා’ චිත්‍රපටයෙන් ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ඩේවිඩ් ධර්මකීර්ති, හඳුන්වා දුන් සෝමසේකරන් ඊට පෙර ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ සුළු චරිත රඟ පෑ ප්ලොරිඩා ජයලත් හා ප්‍රේම් ජයන්ත් ප්‍රධාන චරිතවලට තෝරා ගත්තේය. ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔහු තෝරා ගත්තේ සන්දේශය, දෛවයෝගය චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ගාමිණී ෆොන්සේකා හා රම්‍යලතා චිත්‍රටපයේ සුළු චරිතයක් රඟ පෑ සුජාතා විජේසේකරවය.

‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටයේ ධනවත් පවුලක කෙළිලොල් එකම දියණිය එනම් නංගිනී ලෙස සුජාතා හා දුප්පත් කම්කරු ස්ත්‍රියකගේ එකම පුතු සුගත් ලෙස රඟ පෑ ගාමිණී ෆොන්සේකා ජයවිලාල් විලේගොඩ ඇගේ දිගු කෙස්වැටිය ගැන විශේෂයෙන් මතක් කොට දිනමිණට ලියූ චිත්‍රපට විචාරයක මෙසේ කියා තිබුණි.

“මේ චිත්‍රපටයේ පෙම් ගීයක් (‘දුටු දා වාගේම ලස්සනයි’) එන ජවනිකාවක ප්‍රධාන නිළිය (සුජාතා) නළුවා (ගාමිණි) විසින් ඔසොවා ගෙන යනු ලබයි. සුජාතා විජේසේකර මෙහි ප්‍රධාන කොටසට තෝරා ගන්නට ඇත්තේ ලංකාවේ අනෙක නිළියන් ඔසොවා ගෙන යෑමට අපහසු තරබාරු අය නිසා විය යුතුය.”

‘පිරිමියෙක් නිසා’ චිත්‍රපට කතාව විකාශනය වන්නේ මෙසේය.

රබර් වත්තක් හිමි රන්දෙණිය මහතාගේ (ඩේවිඩ් ධර්මකීර්ති) රබර් වත්තේ සේවය කරන කම්කරු ස්ත්‍රියක වූ මැගලින්ට (ෆ්ලොරිඩා ජයලත්) තමා සිටින දරුවා කුඩා සුගත් හදා වඩා ගන්නේ ඉමහත් ධෛර්යයෙනි. රන්දෙණිය මහතාගෙන් මැගිලින්ට හිරිහැරයක් නැතත්, ඔහුගේ බිරිඳට නම් ඇය නුරුස්සයි. රන්දෙණිය යුවළට සිටින එකම දියණිය නංගනීය. කුඩා කල සිට සුගත් හා නංගනී ඇඟලුම් පායි. මැගිලින්ගේ සැමියා ගැන කිසිවෙකු නොදනී. රන්දෙණිය මැතිනියට ද මෙය ප්‍රහේළිකාවකි. මේ නිසා ඇය මැගිලින් පිළිකුල් කරයි. මේ අතර මැගිලින් ගැන නොයෙක් ඕපාදුප පැතිර යයි.

සුගත් (ගාමිණි) දැන් තරුණයෙකි. ඔහුට සුළු රුකියාවක් තිබේ. කඩවසම් තරුණයකු වූ සුගත්ට තරුණියන් සිත් දිනා ගැනීමට මාන බැලුවත්, ඔහුගේ සිත ඇදී ගත්තේ කුඩා කල සිට ඇසුරු කළ නංගනී (සුජාතා) ටය. මේ දෙදෙනා ප්‍රේම කරති. එහෙත් මේ දෙදෙනාගේ එක්වීමට සුගත්ගේ පියා කවුදැයි ප්‍රශ්න තදින් බලපායි. නංගනී මානසික පීඩනයකට පත්වෙයි. ඇය තම ශෝකය ගීතයකින් කියන්නි දෙහදක වියෝව සනසා ගන්නටය. ගීතය ගයන්නේ ලතා වල්පොලය. ගීත රචනය කරුණාරත්න අබේසේකරය.

“සිදු වූ දේ අහෝ අපරාදේ

පිළිරුව මගේ බිඳිලා ගියා

සුන්දර මනහර සැම දේ ලෝකේ

සුන් වේද මේ වාගේ ගෙන දි සෝකේ

ආදරයේ මැද මුල සංවේගේ

මා දුකින් බර වී ගියා

පිළිරුව මගේ බිඳිලා ගියා

එහෙත් සැඟවුණු රහසක් හෙළිවීම නිසා නංගනී හා සුගත් එක්වෙති.

සුජාතා විජේසේකර අපට හමු වූ එක් අවස්ථාවක මීට වසර 60 කට ප්‍රථම තමා ප්‍රධාන නිළිය ලෙස රඟපෑ අවස්ථා සිහිපත් කළාය.

1933 ඔක්තෝබර් 20 වෙනිදා ගම්පොළ උපත ලැබූ දන්ගම්පලගේ සුජාතා විජේසේකර ගේ පියා වෛද්‍ය ප්‍රෙඩ්රික් විජේසේකර වූ අතර මව ජොස්ලින් විජේසේකර නම් වූවාය. ඇයට සහෝදරියන් (බෙරිල්, එතල්, ඉසබෙල්, මියුරියල්, අයිරින්) පස් දෙනෙකි. සොහොයුරන් තිදෙනෙකි. (හර්බට්, එඩ්වඩ්, ඩොනල්ය.) සුජාතා පවුලේ බාලයා විය. අද ජීවත් සිටින්නේ එඩ්වඩ් පමණි. බෞද්ධ පවුලකින් පැවත ආ ඇය ගම්පොළ කන්‍යාරාමයකින් ඉගෙනීම ලැබුවාය.

නර්තනයට පාසල් යන කාලයේ සිටම ඇලුම් කළ සුජාතා ශේසා පලිහක්කාරයන් යටතේ නැටුම් ඉගෙන ගත්තාය. ඒ කාලයේම ඇය රඟපෑම ගැන ද ඇල්මක් දැක්වූවාය. රඟපෑමට ආසා බවත්, ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් කියා ඇය 1956 වසරේ මුල කඳානේ සුන්දර චිත්‍රාගාරයට ලිපියක් නිෂ්පාදක ඇස්. ඇම්. නායගම්ටත් අධ්‍යක්ෂ ඒ. බී. රාජ්ටත් යොමු කළාය. ඇයට කැඳවීමෙක් ලැබිණ. ඇයට රූපය මෙන්ම දිගු වරලස ද වාසියට සිටියේය. ඒ කාලයේ මේ චිත්‍රාගාරයේ රූ ගත වෙමින් තිබූ ‘රම්‍යලතා’ චිත්‍රපටයේ ප්‍රභාවතී ලෙස රඟ පෑ රීටා රත්නායකගේ යෙහෙළියක් ලෙස සුළු චරිතයක් රඟපෑමට ඇයට අවස්ථාව ලැබිණි.

සුජාතාගේ තෙවැනි චිත්‍රපටය වූයේ රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ ‘සිරිමලීය’. ‘සිරිමලී’ චිත්‍රපටයේ ඇය රඟපෑවේ සිරිමලී නම් ගැමි යුවතියකගේ චරියකි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රාජා ලෙස රඟපෑවේ බොනිෆස් ප්‍රනාන්දුය. රාජා දඩයමේ යන විනෝදකාමි තරුණයෙකි. ඔහුට දඩයමේ යන අතරවාරයේ සුරිබියල් (අසෝකා පොන්නම්පෙරුම) රජාගේ පුරසාරම් දෙඩීම නිසා හොඳ හැටි පහර කයි. ගුටි කා හෙම්බත් වූ රාජා පිදුරු ගොඩකට වී නිදාගනී. ගමේ දාමරිකකමින් ජීවත්වන රෝබියස් (මේ චරිතයත් අසෝක රඟපායි) සිරිමලීට විවාහ යෝජනාවක් කරයි. සිරිමලීගේ දෙමාපියන් මේ විවාහයට අකමැතිවෙයි. වඩාත් අකමැති වන්නේ ඇගේ සහෝදරයා සුරබියෙල්ය. සිරිමලීට වෙනත් විවාහයක් ඉදිරිපත් විය.

පිදුරු ගොඩේ වැතිරි සිටින රාජා සෙලෙවනු දුටු සිරිමලී ඒ දෙසට ගලක් ගැසුවාය. එයින් රාජාගේ හිස තුවාල වෙයි. ඇය ඔහුට සාත්තු කරයි. මේ සිද්ධිය දුටු ගමේ ‘හයිරංකාරයන්’ රාජාට පහර දෙති. රාජා සියලු දෙනාටම පහර පිට පහර දෙති. මේ අතර කිඹුලෙකුට ගොදුරුවීමට ගිය සිරිමලීගේ මල්ලි බේරා ගත්තේ රාජා විසිනි. රාජාව ගෙදරට කැඳවාගෙන යන සිරිමලී තම සහෝදර සුරබියල්ට සිද්ධිය විස්තර කළාය. සුරබියල් රාජාගෙන් සමාව ගනී. දැන් සිරිමලී හා රාජා පෙම්වතුන්ය. එහෙත් රාජාගේ සිත හිටි හැටියේ තමා පෙම් කිරීමට අකමැත්තෙන් සිටි තරුණියක් වූ සොපී (රීටා කමලීන්) වෙත රාජාගේ සිත නැඹුරු වෙයි. මේ බව ගමේ කෙනෙකු සිරිමලීගේ පියාට කියනු ඇයට ඇසෙයි. රාජා සිරිමලි වෙත ආ දිනක ඇගේ පියා කීවේ ‘මහත්මයා රෑ දුටු හීනයක් මෙන් මේක අමතක කරන්න’ කියාය. පියා ඉන්පසු සිරිමලී ගෙට දමා දොරගුල් දා එහි යතුර සුරබියල්ට දෙයි. උපායකින් නිවසින් පළා විත් රාජා සොයා එන සිරිමලීට දක්න ලැබෙන්නේ තම සහෝදර සුරබියල් රාජාට හා පෙම්වතීට පිහියෙන් ඇනීමට සැරසෙන බවය. සිරිමලී දෙදෙනාට රැකවල් දෙයි. ඉන්පසු සිරිමලී අනේක දුක්ඛිත ජීවිතයකට මුහුණ දෙයි. සොපි විවිධ උපක්‍රම යොදා රාජා හා සිරිමලී ඈත් කළාය. දැන් සිරිමලී මවකි. රාජාට ද නොසිතූ විරූ බාධක රැසකට මුහුණ දෙන්නට සිදුවෙයි. එහෙත් රාජාට සිරිමලීගෙන් සමාව ලැබෙයි.

මෙවැනි සංකීර්ණ චරිතයක් ‘සිරිමලී’ චිත්‍රපටයේ රඟපෑවා දැයි ඇයටම පුදුමයක් වී තිබුණි. ඒ චිත්‍රපටයේ එන ජනප්‍රිය එක් චිත්‍රපට යුග ගීතයක් තම ජීවිතය පුරාම දෝංකාර දුන් බව ඇය කියා සිටියාය. බොනිෆස් ප්‍රනාන්දු හා සුජාතා විජේසේකර රඟපාමින් ගැයූ මේ ගීතය පසුබිමින් ගැයුවේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලය. චිත්‍රානන්ද අබේසේකර රචනා කළ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය විය. මෙහි සංගීතය ඉන්දිය ජාතික වී. ක්‍රිෂ්ණමූර්තිගෙනි.

ආකාසේ ආවා සෙ සූර්යා නැගී

අපේ ජීවිතේ යයි සැපේහි රැඳී

සදා කල් විනෝදෙන් ආලෙන් වෙළී

සිනාසෙන්නකෝ වාසනාවෙන් වෙළී

ලෝකෙහි මා පෙම්වතාගේ වගේ

අනේ නෑ දයාවක් ලැබුවේ පියේ

දුකේ හා සැපේදී එකකාර වේ

සෙනේ පා තම ආලේ වෙන් නොවී

ආ... ආ...

ජීවිත කාලයට සුජාතා රඟපෑවේ චිත්‍රපට දෙකක පමණි. රම්‍යලතා හි ඇය පෙනී සිටියා පමණි. සිරිමලී චිත්‍රපටයේ රඟපාන විට ඇයට ප්‍රේම යෝජනා ගලා ආහ. ඇය හද බැඳි පෙම්වතා නිසා සිනමාවෙන් ඉවත්වූ ඇය වැඩිපුර කාලය කැප කළේ ම මව හා ඇස්වල පෙනීමේ ඌනතාවයකින් පෙළුණු සහෝදරයකු (ඩොනල්ඩ්) රැක බලා ගැනීමටය. එය ද පෙම්වතාට නුරුස්සන්නට වූ අතර ඇය හුදෙකලා වූවාය. තනිකඩ ජීවිතයට පිවිසි කොල්ලුපිටියේ සොහොයුරියකගේ නිවසක බොහෝ කලක් සිටි ඇයගේ ලොකුම සිහිනය වූයේ තමාටම කියා ගෙයක් හදා නිස්කාන්සුවේ ජීවත් වීමටය. ඒ සඳහා රජයෙන් ඉඩම් කොටසක් ඉල්ලා සිටියාය. එය නොලැබිණි. සහෝදර සහෝදරියන් ගෙවල්වල ගත කරමින් ඉක්මනින් ඒ පරිසරය වෙනස් කළ ඈ විටෙක හිතුවක්කාර වූවාය. කෝප වූවාය. ආඩම්බර වූවාය. කලකිරුණාය. නවාතැන් මාරු කරමින් ගිනිගත්හේන, කැලණිය, පිලියන්දල, කෑගල්ල, දෙල්ගොඩ නෑයන් ළඟ සිටීම ඔවුනගේ නිදහසට බාධා කිරීමක් යයි සිතූ ඇය තනිව ජීවත්වීමට පහසුකම් සහිත වැඩිහිටි නිවාසයක් තෝරාගත්තාය. ඒ ඇගේ හැටිය. ඥාතීහු ඇයට ඒ හැම අදහසකටම කැමති වී ඒ සදහා වියපැහැදම් කළෝය.

ප්‍රංශයේ පැරිස් නුවර සිටින ඇගේ සමීප ඥාතියකු වූ කිංස්ලි මොහාන් එහි සිටි හැම සත්කාරයක්ම සංවිධානය කළ අතර, කැලණියේ සිටි තවත් ඥාතියකු වූ කීර්ති සුජාතාට අවශ්‍ය පහසුකම් සැලැසුවේය. විදේශයේ සිටින කිංස්ලි අපට කීවේ සියලු බෙහෙත් හේත් ලබා දී ඇගේ දුක සැප බැලුවේ කීර්ති සපරමාදු හා පවුලේ අය කියාය. සුජාතාගේ ඥාතියකු වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගමද ඒ අතර විය.

ජනවාරි 04 වෙනිදා මට නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මඟුල් ගෙදරක සිට කතා කොට මෙසේ කීය.

“සුජාතා විජේසේකර නෝනා අන්ත්‍රා වුණා.”

සුජාතාගේ අභාවය ගැන මම අපේ සත්මිත්‍ර සිරි කහවලයන්ට කීවේය. ඔහු මාධ්‍යයත්, චිත්‍රපට සංස්ථාවත් දැනුවත් කළේය. මා ද ඔහුට හවුල් විය. සුජාතා ජීවතුන් අතර සිටිද්දී ඇය ගැන නිතර සොයා බැලු තවත් කෙනෙකි චිත්‍රපට හා ටෙලිනට්‍ය රංගන ශිල්පී උපාලි බණ්ඩාරනායක. උපාලි, මට ටෙලිෆෝන් කොට සුජාතා ගැන අලුත් තොරතුරු කීවේය. ඇය මිය ගිය පසුද ඔහු සියලු ඥාතීන් අපට සම්බන්ධ කර දුන් බව කෘතඥතාපූර්වකව මතක් කරමි.