|
ජීවන මේ ගමන සංසාරේ, ප්‍රීතියෙන් සතුටින් ගෙවුණු හැත්තෑපස් වසරක්
ගායන ශිල්පී සූර්ය කුමාර් මුත්තලගේ
සිංහල දමිළ සබැඳියාව ලාංකේය ඉතිහාසයේ බොහෝ ඈතට දිවයන්නකි. එහි තැනක වූ අමිහිරි අත්දැකීම් කෙසේ වුවද, ජාතීන් අතර අන්‍යෝන්‍ය සබැඳියාව ගොඩනඟන්නට පාළම් ගොඩනැගූ ශිල්පීහු කලා ලෝකයේ එදත් සිටියහ. අදත් සිටිති. සුර්ය කුමාර් මුත්තලගේ යනු එවන් පසුබිමක කලා ලොව සංගීත ක්ෂේත්රයේ නමක් දිනූ ප්‍රවීණ ගායන ශිල්පියෙකි. ඔහුගේ හැත්තෑපස්වන උපන් දිනය අදට යෙදී ඇත. සූර්ය කුමාර් මුත්තලගේ අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය ශාන්ත මරියා විදුහලෙනි. පාසල් සමයේදීම ගායනයට යොමු වීමට ඔහුට හැකියාව ලැබී ඇත. අනතුරුව ඔහු ගායන ලොවට පිවිසෙන්නේ 1953 වසරේ ගුවන්විදුලියේ ළමා වැඩසටහන් තුළිනි. එතැන් සිට මේ දක්වා ඔහු සිංහල, දමිළ මෙන්ම උර්දු ගීත ද රැසක් ගායනා කර ඇත. එමෙන්ම අද වන විට ඔහු ගුවන්විදුලියේ සිංහල සහ දමිළ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි. ගායන ක්ෂේත්රය තුළ නමක් රඳවා ගනිමින් මෙතෙක් දුර පැමිණි ගමන්මග සඳහා සංගීතයේ මහා සම්ප්රදාය අධ්‍යයනයෙන් ලද පන්නරය මහත් ශක්තියක් වී තිබේ. එහිදී ඔහුට කර්ණාටක සංගීතය ඉගැන්වූ ඒ. එස්. නාරායනන් සහ හින්දුස්ථානී සංගීතය ඉගැන්වූ එම්. එස්. සෙල්වරාජා යන ගුරුවරුන් අදටත් ඔහු හදපිරි බැතියෙන් සමරයි. 'වෙන්ව යන්නදෝ', 'සොඳුරු සිනාවෙන්', 'අපි ළඟදි දිනෙක හමුවෙමු' යන ගීත සුවහසක් ගීතලෝලින්ගේ ආදරයට පාත්‍ර වූ, අදටත් මතකයේ රැඳුණ ඔහු විසින් ගැයූ රසබර ගීතවේ. අංජානා චිත්‍රපටයට 'රාජා රාණි - රාධා ක්‍රිෂ්ණාවෝ වාගේ' යන ගීතයද එලෙසම ජනප්‍රියය. 'මීදුම් සිහින' චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගැයූ 'සරා සඳේ' ගීතය එය දමිළ බසින් හඬ කැවූ චිත්‍රපට පිටපත වෙනුවෙන් එම තනුවටම 'සදා වදේ' ලෙසින් ගායනා කළේද සූර්ය කුමාර් විසිනි. සූර්ය කුමාර් මුත්තලගේ ගේ ගී හඬට පෙම් බැඳි බොහෝ දෙනා ඔහුට විදෙස් සංචාර සඳහා ආරාධනා කරනුයේද ඔහුගේ ගීතවල පවතින ළයාන්විත සොදුරු බව ඔවුන් අදටත් නොඅඩුව අත්විඳින නිසාවෙනි. එලෙසම වාර්ෂිකව ඉන්දියාවේ චෙන්නායි හිදී එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් වාර්ෂිකව පැවැත්වෙන උපහාර උළෙල සඳහා ඔහුටද ඇරයුම් ලැබෙනුයේ ඒ රසිකත්වය හා අදටත් එක සේ පවතින ජනප්‍රියත්වය හේතුවෙනි.
'සීතල කරුණා ගුණ බර ඇති නිම්මා ජීවිතයෙන් පිදුවත් මදි ගෙදර බුදුන් අම්මා' යන මව්ගුණ ගීතයට ඔහු තවමත් බෙහෙවින් ඇලුම් කරයි. ක්ෂේත්රයේ ප්‍රවීණ ශිල්පින් පිළිබඳ මතකය ක්‍රමයෙන් ගිලිහීයමින් පවතින වකවානුවක වුවද, ඔහුට ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙයි. ඊට ඔහුගේ ගීතවල පවතින ජනප්‍රියත්වය මෙන්ම ඔහු තුළ පවතින අසීමිත සුහදත්වය හේතු වී තිබේ. සූර්ය කුමාර් මුත්තලගේ ලැබෙන මුදල මනා ලෙස කළමනාකරණය කර ගනිමින් ජීවන මග පියනැගීමට හුරු වු ශිල්පියෙකි. ඒ පිළිබඳ අප සමඟ කතා බහ කිරීමේදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුෂා ගෝකුල මහත්මිය මෙන්ම, ගායක ගායිකා සංගමයෙ, ජාතික චිත්‍රපට සංස්ථාව, ටවර්හෝල් රඟහල පදනම යන ආයතන නිලධාරින් ඔහු කෘතවේදිව සිහිපත් කළේය. සූර්යකුමාර් හින්දු භක්තිකයෙක් වුවද, ඔහුගේ බිරිඳ මේරි මොනිකා කිතුනු කාන්තාවකි. නිවසේ ද කිසිදු බේදයකින් තොරව ශිව දෙවියන් හා ජේසු සමිඳුන් නමදී. ඔවුන්ගේ එකම පුතු උදයන් කිරුබෙයිරාජා ද සමඟ කොළඹ පිහිටි සොඳුරු නිවහනේ ඔවුහු සුවෙන් වෙසෙති. සූර්ය කුමාර් කිසිදු ශිල්පියෙකු අනුකරණය නොකළ නමුත් අනුගමනය කරමින් සිය ගායන කුසලතාවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ ශිල්පියෙකි. ඔහු සමඟ ගත කළ සොඳුරු නිමේෂය අවසානයේ ඔහු අප සමඟ පැවසුවේ මෙබඳු කතාවකි. "උප්පැන්න සහතිකයේ හැටියට මම ඉපදිලා තියෙන්නෙ උඩ පේරාදෙණියෙ. ළඟදී මම ඒ ප්‍රදේශයේ ප්‍රසංගයකට ගොස් සතුටින් ඒ බව පැවසුවා. පසුව එම ප්‍රදේශයෙන් මා සොයා පැමිණි අයෙකු මා ඉපදුණු පන්සල ගෙදර පිළිබඳ තොරතුරු මට ලබා දුන්නා. පසුව මම එහෙ ගිහින් ඒ ස්ථානය පිළිබඳ තොරතුරු රූපගතකරගෙන ආවා." ජීවන ගමනේ මෙතෙක් පැමිණි ගමන් මග සූර්යකුමාර් මුත්තලගේ සතු මෙවන් සුන්දර සැමරුම් බොහෝය. ඉන් බොහොමයක් ගායන දිවිය හා සබැඳි ඒවාය. ඔහු අදටත් එදා ගැයූ ගී මහත් සොම්නසින් යුතුව ගයයි. අද ඔහු වයසින් මුහුකුරාගොස් ඇත. එය තුළ කැටිවුණ නානා විධ අත්දැකීම් රැසක් ද ඔහුට ඇත. ඔහු ගයන්නා සේම 'ලෝකය පෙරළෙයි - කාලෙ ගෙවී යයි' සත්‍යය එලෙසම වුවත්, ගී 'පෙම් කැකුළ පිපී' එනතුරු අපේක්ෂාවන් ද බොහොමයකි. සුවහසක් ගී ලෝලීන් සමග සරසවිය අපි ඔබට දිගාසිරි පතමු.
චිත්‍රපට රාශියකට දායක වූ නිමල්
චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු, රංග ශිල්පියෙකු, චිත්‍රපට ප්රචාරක අංශයේ නිවේදකයකු ලෙසින් කටයුතු කරන නිමල් කල්දේරා මේ වන විට චිත්‍රපට 35 ක පමණ රංගනයන් ඉදිරිපත් කර ඇත. සුනිල්සෝම පීරිස්ගේ චිත්‍රපට 13 ක නිෂ්පාදක කළමනාකරු ලෙසින් ද කටයුතු කර ඇති නිමල් ඔහොම හරිද, ජේම්ස් බොන්ඩ්, ජුන්ඩයි ගුන්ඩයි, ඇගේ දෛවය, මට තාම මතකයි, කටත් කියන්න එපා, වැඩ බැරි ටාසන් (1), වැඩ බැරි ටාසන් (2), හිත හොඳ පිස්සෝ, අලි සුරතල්, ජයෙන් ජය, නිදි යහන කැලඹේ ආදී චිත්‍රපට හි රංගනයෙන් මෙන්ම නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වී සිටී. මල් හතයි, වන මෝහිණි, ඔබ කොහිද ප්‍රියේ, අයදිමි සමා, හලෝ මයි ඩාලිං, රජ වංශෙන් එකෙක්, ඔක්කොම හොඳටයි, අලි බබා සහ හොරු හතලිහ, සම්බුදු මහිම, අපායේ තත්පර 84000, සුර සැප සොයා, පතිරාවය, ඉන්ස්පැක්ටර් චම්පා, වෙඩි වගේ වැඩ අපේ, කෙරුන්ගෙ පාරාදීසිය, අන්දුන් කුන්දුන්, ඇහැලේපොළ කුමාරිහාමි, සින්දු බින්දු, දැක්කොත් පත්මාවතී, ගින්දරී, මධුර චාරිකා, අතුරු මිතුරු, බන්ධන, හැට හතර මායන්, යම රජ සිරි, මගෙ පුතු සිරිමල්, නෝනා හරිම වසයි ආදී නිර්මාණ රැසකට ද රංගනයන් ඉදිරිපත් කර ඇත. |