වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මාව හොයන්නත් බැහැ දුව හොයන්නත් බැහැ

අම්මාව හොයන්නත් බැහැ දුව හොයන්නත් බැහැ

- කෞශල්‍යා සමරසිංහ

මුතුකුඩ ටෙලි සිතුවමේ උදම්මිට මැණිකේව සරසවියට කැන්දාගෙන ආ මොහොතයි මේ.

* ඉතින් කොහොමද උදම්මිට මැණිකෙ?

කන්දෙපොළ වලව්වට වෙලා ඉන්නවා ඉතින්.

* කන්දෙපොල වලව්වට වගේම උදම්මට මැණිකෙටත් හරි හරි දේවල් නේද සිදුවන්නේ?

ඒකනේ. කේ. බී. හේරත් මහත්මයා ඉතිහාස කරුණු හොයලා බලලා ලස්සනට මේ පිටපත ලියනවා. ඓතිහාසික කතාවක් හින්දම බොහෝ දෙනෙක් මුතුකුඩ නරඹනවා. වෙනදාටත් වඩා ජනප්‍රියත්වයක් මට දැනෙනවා. ඒ මුතුකුඩ වටා හොඳ පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් රැඳී සිටින නිසා.

* උදම්මිට මැණිකේගේ ඇත්ත නම කියමු?

මම කෞශල්‍යා සමරසිංහ. ගොඩක් දෙනා මාව හඳුන්වන්නේ අනුරාධපුර කෞශි කියලා.

* ඒ කියන්නේ ගම එහෙ?

ඔව්.

* මේ කෞශිගෙ පළමු ඓතිහාසික චරිතය නේද?

ඔව්.

* නිරන්තතරයෙන් ඔබට ලැබෙන්නේ ගැමි චරිත. ඇයි ඒ?

මට තිබෙන ගමේ පෙනුම නිසා ඒ චරිත ලැබෙනවා. කුඹුරුවල බැහැලා මඩ නාගෙන රඟපාන චරිත තමයි වැඩිපුරම ලැබෙන්නේ. ඒ අතරින් මුතුකුඩ චරිතය වෙනස් කියන්නේ ඒකයි.

* ගම අනුරාධපුරය නිසා අඩුවෙන් නිර්මාණවලට කතා කරනවා කියන්නේ ඇත්තද?

මම දැනට කොළඹ නැවතිලා ඉන්නේ. අනුරාධපුරේ නෙවෙයි කොතරම් දුරක හිටියත් පළමුව අපේ දුරකතනයට කතා කරලනෙ නිර්මාණයකට ඇරැයුම් කරන්නේ. ඒ නිසා නිර්මාණ අඩුවක් නැති තරම්.

* ඒ වුණාට ඔබ නිතර දකින වර්ගයට අයත් නිළියක් නෙවෙයිනෙ?

එහෙම වෙන්නෙ මෙහෙමයි. මං ලැබෙන සෑම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. නාට්‍යයකට ආරාධනා කරනවා නම් එහි මට තිබෙන්නේ කුමන චරිතයක් ද කියන වග පැහැදිලි විය යුතුයි. එහෙම නැතුව මට අහවල් නිර්මාණයට එන්න කිව්වට මං යන්නේ නැහැ. ඒ වගේම මට පිටපතත් ඕනෑ. නිර්මාණ්‍ය ගැන සියලු දේ දැනගෙනයි මං රඟපාන්න යන්නේ.

* ක්ෂේත්‍රයේ ඔබට කැපිලි වැඩියිද?

කැපිලි තියෙනවා. නැත්තෙ නැහැ. කැපිලි වගේම කපලදාන අවස්ථාත් තියෙනවා. නිර්මාණවලට කතා කරලා චරිතය ගැන පහදල දීලා අහවල් කාලයේ ෂූටිං පටන් ගන්නවා කියලත් කියනවා. පස්සේ බලනකොට මාව අයින් කරලා වෙන අයව දාලා නාට්‍ය පටන් අරගෙනත් ඉවරයි. එතකොට අධ්‍යක්ෂවරුන්ගෙන් ඒ ගැන අහපුවාම කියන්නේ මාව අයින් කරලා වෙන කෙනෙක් ගත්තනෙ කියලා.

* අනෙක් නිළියන්ට වඩා ඔබේ ගණන් ඉහළද?

අනේ නැහැ. කවුද කියන්නේ. බෙහෝ අයට වඩා මගේ මුදල සාපේක්ෂව අඩුයි.

* නිළියක් වීම ගැන ගමෙන් ලැබෙන ප්‍රතිචාර කොහොද?

විවිධාකාරයි. ඇතැම් අයට තියෙන ගැටලුව මං සීන්වලදී කඳුළු එනකම්ම අඬන්නේ කොහොමද කියන එක. එතකොට මං පැහැදිලි කරලා දෙනවා අඬන විදිහ.

* මුතුකුඩ නාට්‍යයේ ඔබගේ දියණියට රඟපාන නිළිය සහ ඔබ අතර වැඩි වෙනසක් නැහැ කියලා ඇතැම් අය කියනවා. අම්මව හොයා ගන්නත් බැහැ දුවව හොයන්නත් බැහැලු?

චැනල් එකෙන් තමයි කියලා තියෙන්නේ අම්මලාටත් තරුණ අයවම ගන්න කියලා. දුවව යෝජනා කරලා තියන්නේ චැනල් එකෙන්.

* මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

වෘත්තීය නිළියක් ලෙසට ඉදිරියට යාමයි අපේක්ෂාව. ජනප්‍රියත්වය හඹා යාමටත් වඩා හොඳ නිළියක් ලෙසින් ජනතාව අතරට යාමයි මේ වෘත්තීය තුළදී මං බලාපොරොත්තු වන්නේ.