|
ප්‍රේමයටත් මුදලටත් මැදිවන පවන්ගේ කතාව ආදරෙයි මං
අලුත් අවුරුද්දේ අලුත් සිනමාකරුවකු දොරට වඩී
ප්‍රගීත් රත්නායක කුලුඳුල් සිනමා නිර්මාණය
ඔහු පවන්. තාරුණ්‍යයේ පසුවුවද පවන්ට අරමුණක් නැතිගානය. රස්සාවක නියැළී සමාජයේ පිළිගැනීමකට ලක්වූ අයකු වීමට පවන් උත්සහ ගත්තද එම සියලු අවස්ථා බිඳ වැටුණේ නොසිතූ අන්දමිනි. ඔහු උපතින්ම දිළිඳුය. ජීවිතය පිළිබඳ කෙදිනකවත් ගැඹුරෙන් සිතා බැලුවේ ද නැත. ඔහුට මල්මි හමුවන්නේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් තබමිණි. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. උගත්ය. රූමත්ය. කටකාරකමේද අඩුවක් නැත්තේය. පවන්ගේ සිත මල්මි කෙරෙහි ඇදී යන්නට ගතවන්නේ ඉතා සුළු කාලයකි. එතැන් පටන් නිදිදෙව්දුව පවන්ගේ ලොවට වැඩියේ නැත. දිවා රෑ පුරා තැනක් නොතැනක් නැතිව උන්මත්තකයකු මෙන් පවන් මල්මීට පෙම් බඳින්නට පටන් ගත්තේය. තමන් පිටුපස කිසියම් තැනැත්තකු එනබව ඉවෙන් මෙන් මල්මීට දැනෙන්නට විය. ඔහු දුප්පත් අයකු බවත් ඇය දැනගත්තීය. මේ කරුණු කාරණා නිසා මල්මී පවන්ව මඟහැරීමට නොයෙක්විට උත්සාහ ගත්තාය.
මල්මී පවන්ව ඇගේ නිවැසියනට හදුන්වා දුන්නද එකහෙළා පවන්ව මල්මීගේ මව්පියෝ ප්‍රතික්ෂේප කළහ. ඊට ප්‍රධානම හේතුව ලෙස දැක්වූයේ පවන් සල්ලිකාරයකු නොවීමය. මව්පිය ආදරයට පයින් ගසා මල්මී සහ පවන් විවාහදිවියට එළඹීමට තීරණය කළෝය. එතැන්පටන් දෙදෙනාම තමන්ගේම නිවසක වාසය කරන්නට පටන් ගත්තෝය. ගතවූයේ කෙටි කලකි. පවන්ටත් මල්මීටත් මුදල් නැමැති වස්තුවේ අගය දැනෙන්නට පටන් ගත්හ. ඒ වෙන කාරණයකට නොව මල්මීව රෝගයකින් බේරා ගැනීමටය. එතැන් පටන් පවන් මානුෂීය යුද්ධයක නියැළෙන්නට පටන් ගත්තේය. මේ සියල්ල මැද පවන්ගේත් මල්මීගේත් ආදරය අචලව පැවතිණ. හෙට දින සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මේ ආදර කතාව රැගත් සිනමා පටය තිරගතවේ. එය නම්කොට ඇත්තේ ආදරෙයි මං යනුවෙනි. ප්‍රගීත් රත්නායක තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය රෝමියෝස් අයිස් පික්චර්ස් ඉදිරිපත් කිරීමකි. ප්‍රගීත් අතිසාර්ථකව තිරගතවූ ධර්මයුද්ධය සිනමාපටයේ තිරරචකයාද වේ. ආදරෙයි මං නළු නිළියන්. රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, ප්‍රගීත් රත්නායක, චතුරිකා පීරිස්, චමිලා පිරිස්, නයනා රඹුක්කනගේ, බුද්ධික ඉඳුරුගොල්ල. විධායක නිෂ්පාදනය - ජගත් චන්දන. කැමරාකරණය - පී. යූ. ඩී. පෙරේරා. සංස්කරණය - ප්‍රවීන් ජයරත්න කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය - ජනක චාමර සහාය අධ්‍යක්ෂණය - ගිහාන් රංග බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය වික්ටර් රත්නායක ගායනා - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ උරේෂා රවිහාරි
|