|
ධර්මසේන පතිරාජ සිනමා විමසුම - 1 කොටස‘අහස් ගව්වෙන්’ ‘ස්වරූප’ දක්වා
ධර්මසේන පතිරාජ පාසල් වියේදීම වාමාංශික දේශපාලනයට අත්පොත් තබන්නේ සිය සොයුරාගේ ආභාසයෙනුයි. ටේරාස්කිවාදියකු වූ සිය සොයුරාගේ පුස්තකාලයේ තිබූ පොත පත කියැවීමෙන් දේශපාලන පන්නරය ලැබූ පති ලංකා සමසමාජ පක්ෂයේ 'ජනතා තරුණයෝ' සංවිධානයේ තනතුරු දරා තිබෙනවා. 1963 දී පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිය හැදෑරීම සදහා ඇතුළත් වන විට ඔහු ට්‍රොස්කිවාදියෙක්. පතිරාජගේ දේශපාලන ගුරුවරුන් වන්නේ ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඔස්මන්ඩ් ජයරත්න,ඩොරික් සූසා වැනි දේශපාලන න්‍යායාචාර්යවරුන්. පතිරාජම සඳහන් කොට ඇති පරිදි එම්. බී. ආරියපාල, ඩී. ඊ. හෙට්ටිආරච්චි, මර්ලින් පීරිස්, එදිරිවීර සරච්චන්ද්‍ර, ඈෂ්ලි හල්පේ වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුමෙන් පෝෂණය වූ හෙතෙම කොළඹ 'අපේ කට්ටියේ' සුගතපාල ද සිල්වා, සිරිල් බී. පෙරේරා. ගාමිණී හත්තොටුවගම ආදී කලාකාමී මිතුරු සංසදය සමඟ හරවත් සංවාදයක යෙදෙන්නට අවස්ථාව ළඟා කර ගත්තා. ධර්මසේන පතිරාජ කිසිදු කල්ලියකට කොටු නොවූ බව ඉන් පැහැදිලි වෙනවා. 'සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය' මැයෙන් සිංහල විෂයය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා පතිරාජ ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධය නාට්‍ය කලාව කෙරෙහි ඔහු තුළ වූ ආශක්ත බවට දෙස් දෙනවා. ආරම්භයේ සිට 1960 දශකයේ අග භාගය දක්වා කාලයෙහි සිංහල නාට්‍ය කලාවේ අන්තර්ගතය හෙවත් අධ්‍යාත්මයත්, ආකෘතියත් අතර හටගත් අරගලය හකුළා දැක්වීමක් ලෙස මේ අධ්‍යයනය හඳුන්වන්න පුළුවනි. දළදා පෙරහැර බලන්නට ගොස් මහනුවර වෙම්බ්ලි සිනමාහලේදී 'සරදියෙල්' නරඹා ප්‍රථම සිනමා අත්දැකීම ලැබූ පතිරාජ එතැන් සිට දෙස් විදෙස් චිත්‍රපට නරඹන්නට උත්සුක වුණා. අපේ කාලයේත් නැරැඹීමට අතපසු වූ චිත්‍රපට ප්‍රදර්ශනය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට සංගමය (ෆිල්ම් සොසයිටි නොහොත් ෆිලම් සොක) මඟින් සංවිධානය කළ දෙස් විදෙස් චිත්‍රපට මෙන්ම සිනමා උලෙළයන්හිදී ප්‍රදර්ශනය කළ යුරෝපීය චිත්‍රපට පතිරාජගේ සිනමා පිපාසය සංසිඳුවන්නට මහෝපකාරී වුණා. පාසලේ එකම පන්තියේ උගෙන ගත් අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් සේම පතිරාජට ද මුල් කාලයේ චිත්‍රපට උණක් තිබුණේ නෑ. සරසවි ශිෂ්‍යයකුව සිටියදී සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට දායක වීම පතීගේ සිනමා ජීවිතයේ සමාරම්භය සනිටුහන් කරනවා. එසේම ආචාර්ය සිරි ගුණසිංහගේ 'සත් සමුදුර' චිත්‍රපටය ගැන පතිරාජ තරමක් නිර්දය ලෙස විවේචනය කිරීමෙන් පසු 'පුළුවන් නම් ඔය අදහස් දාලා චිත්‍රපටයක් කරන්නැ'යි ගුණසිංහ කළ අභියෝගය තමන්ගේ ඔළුවට තදින්ම කා වැදුණු බව ධර්මසේන පතිරාජ පවසා තිබුණා. සිංහල සිනමාවේ ප්‍රතිභාසම්පන්න විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙස ශිල්ප දක්වන්නට පෙර පතිරාජ සිය කලා ජීවිතය ආරම්භ කරන්නේ විකාරූපී නාට්‍යකරුවෙකු ලෙසයි. 1968 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන අවදියේ චන්ද්‍රසිරි පල්ලියගුරු හා එක්ව නාට්‍ය වැඩමුළුවක් සඳහා එඩ්වඩ් ඕල්බිගේ 'සූ ස්ටෝරි' නාට්‍යය ශිෂ්‍යයන් යොදා ගනිමින් අත්හදා බැලීම පතීගේ මුල්ම විකාර රූපී නාට්‍ය ප්‍රයත්නයයි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ රැකියාවට එක්වීමට පෙර රැකියා විරහිත උපාධිධරයෙකු ලෙස සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වෙමින් කොළඹ ගත කළ දුෂ්කර අවදියේදී විවිධ පංතිවල ජන කොටස් ඇසුරු කිරීමට පතිරාජට ඉඩහසර විවර වෙනවා. එබඳු එක් තරුණ පිරිසකට අයත් වූ තරුණයකු 'අහස් ගව්ව' චිත්‍රපටයේ මහතුන් ලෙස අපට හමු වෙනවා. රැකියා විරහිත තරුණයෙකු ලෙස සමාජගත වීමේදී මුහුණ දෙන්නට සිදු වූ ජීවන අභියෝග පතිරාජගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන 'සතුරෝ' කෙටි චිත්‍රපටයට පාදක වෙනවා. 'සතුරෝ' නිර්මාණය වන්නේ 1969 දී. වෘත්තාන්ත චිත්‍රපටයක් නිපදවිමේ අභියෝගය අනාගතයට භාර කරන ධර්මසේන පතිරාජ 1970 සැප්තැම්බර් 8 දා හැව්ලොක් ටවුන් හි ලුම්බිණි රඟහලේ රඟදැක්වුණ ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ කොරා සහ අන්ධයා' විකාරරූපී වේදිකා නාට්‍යයේ රචකයා බවට පත් වෙනවා. 'මම කුඩා වියේදී කොරෙකු කර හිඳුවාගත් අන්ධයෙකු කොහේදෝ ගිය බව කියවෙන කතාවක් අසා හෝ කියවා ඇත්තෙමි. ඒ කතාව දැන් දැන් මට සිහි කළ හැක්කේ එපමණකි. අනෙක් සියලු දෑ මට මතක නැත. ශාරීරික වශයෙන් මොවුන් දෙදෙනාම අංග විකලයෝය. බලාපොරොත්තුව අතින් ළං වන්නේ එකම තැනකටය. එහෙත් අපට පෙනෙන්නේ දෙපයින් හිටගත් හිස් ගෙඩි දෙකකින් ඇස් හතරකින් අත් හතරකින් යුතු එක හැරමිටියකින් වාරු වුණු එක මිනිසෙකි. එහෙත් මිනිසුන් දෙදෙනෙකි' යනුවෙන් තමන් ලියූ 'කොරා සහ අන්දයා' විකාර රූපී නාට්‍යය ගැන පතිරාජ පවසන්නේය. මේ නාට්‍යයේ කොරා පතිරාජගේ පාසල් මිතුරු දයා තෙන්නකෝන්ය. අන්ධයා විමල් කුමාර ද කොස්තායි. ප්‍රදර්ශන වාර තුනකට සීමා වූ 'පුටු' නාට්‍යය වේදිකාගත කෙරෙන්නේ 1971 මාර්තු 19 දා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී. 1966 න් පසුව වසර පහකට පසු පැවැත් වූ ජාතික නාට්‍ය උලෙළේ මංගල දර්ශනය රඟදැක් වූ 'පුටු' පූජිත් ඉයෙනොස්කෝගේ 'ද චෙයාර්ස්' නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. ධර්මසේන පතිරාජ පරිවර්තනය කොට නිෂ්පාදනය කළ 'පුුටු' නාට්‍යයේ චරිත රඟන ලද්දේ දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා හා මාලනී වීරමුණිය. ප්‍රේමසිරි කේමදාස සංගීතයෙන් දායක වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් තුන් මාසික ආපදා ණය වූ රුපියල් 1843 ක මුදලින් නිෂ්පාදන පිරිවැය පියවා ගත් බව පතී පවසා තිබෙනවා. 'කොරා හා අන්ධයා' මෙන්ම 'පුටු' හිදී ද රංගනයෙන් දායක වූ විමල් කුමාර ද කොස්තා හා දයා තෙන්නකෝන් ධර්මසේන පතිරාජගේ සිනමා දිවියේ කූටප්‍රාප්තිය වන 'ස්වරූප' චිත්‍රපටය දක්වාම පතීගේ වැඩිමනත් චිත්‍රපට ප්‍රමාණයක රඟපෑම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. තමන්ගේ විකාරරූපී නාට්‍ය ප්‍රයත්නය ප්‍රේක්ෂකයින්ට තබා විචාරකයන්ට ද නිසි ලෙස ග්‍රහණය නොවූ බව පතීම පවසා තියෙනවා. 1971 ජාතික නාට්‍ය උලෙළේ 'පුටු' ප්‍රදර්ශනය වන විට පවා බොහෝ පිරිස් නැඟිට ගිය බව පතිරාජ පවසනවා. මෙය පතිරාජගේ සිනමාවට ද අත් වූ ඉරණමයි. ධර්මසේන පතිරාජගේ විශිෂ්්ටතම සිනමා කෘති දෙක වන 'පාර දිගේ' මෙන්ම 'ස්වරූප' ද සති දෙකකට අඩු කාලයකදී සිනමාහල්වලින් ගැල වී ගිය ද එම නිර්මාණ සිංහල සිනමාවේ සුවිශේෂී සිනමා කෘති බවට පත් වී හමාරයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගත් පතිරාජ කැලණිය, යාපනය, රුහුණු, ශ්‍රීපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු මෙරට විශ්වවිද්‍යාල ගණනාවක සේවය කොට අනතුරුව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබුවා. එහිදී ඔහුගේ නිබන්ධයට පාදක වූයේ බෙංගාල සිනමාවයි. 'සතුරෝ' කෙටි චිත්‍රපටයෙන් ඇරැඹි ධර්මසේන පතිරාජගේ සිනමා ගමන 'ස්වරූප' වෘත්තාන්ත චිත්‍රපටයෙන් නිමාවට පත් වන්නේ එකිනෙකට වෙනස් අත්දැකිම් සමුදායක් පාදක කොට ගනිමිනි. පතිරාජගේ එකම කෙටි චිත්‍රපටය 'සතුරෝ' 1969 දී නිර්මාණය වන්නේ නාගරික සමාජ පසුබිමක වෙසෙන විරැකියාවෙන් පෙළෙන නිර්ධන පන්තික තරුණ පරපුරේ ජීවිතවල ඛේදවාචකය ප්‍රස්තුත කොට ගනිමිනුයි. 1970 දී පැවති තුන්වැනි විචාරක සම්මාන උලෙළේ දී 'සතුරෝ' කෙටි චිත්‍රපටයට විශේෂ ගෞරව සම්මාන සහතිකයක් පිරිනැමුණා. එසේම රැකිරක්ෂා වියුක්තිය පදනම් කරගෙන මෙරට තරුණ පරපුර මුහුණ දෙන අසහනය අවබෝධයකින් යුක්තව ග්‍රහණය කොට ගත් චිත්‍රපටයක් ලෙස විචාරකයින්ගේ සම්භාවනාවට පාත්‍ර වුණා. මාධ්‍යයක් ලෙස වෙනමම වර්ධනය වී කදිම ආත්ම ප්‍රකාශනයක් ලෙස ජාත්‍යන්තරව ප්‍රචලිත වූ කෙටි චිත්‍රපට හා සසැඳීමේදී 'සතුරෝ' අන් නිර්මාණ ඉදිරියේ ඉදිරි පිම්මක් සනිටුහන් කළ කෙටි චිත්‍රපටයක් වුණා. ධර්මසේන පතිරාජගේ වෘත්තාන්ත සිනමාව මැයෙන් ලිපියක් ලියන ඩබ්ලිව්. ජයසිරි සඳහන් කොට ඇත්තේ ස්පාඤ්ඤයේ සිනමා උලෙළක් නියෝජනය කළ අවස්ථාවක 'සතුරෝ' හඳුන්වාදීමේ තේමා පාඨය වී ඇත්තේ 'තොප්පියක් අතැති මිනිහෙක් හා පිහියක් අතැති මිනිහෙක්' යනුවෙන් බවයි. සතුරෝ රූපාවලිය ගැන සැකෙවින් දැක්වීමෙන් පතිරාජ පවතින අධිපතිවාදී සමාජ ක්‍රමය කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධය වටහා ගත හැකියි. එසේම ඔහුගේ අසම්මත හිතුවක්කාර ප්‍රවේශය ද ඉන් මනාව විදාරණය වෙනවා.
- හෙන්රි වර්ණකුලසූරිය
තවත් කොටසක් ලබන සතියට... |