වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අමරදේව හඬින් ගයන රොවේන් විමලා අමරදේව මැතිනිය හමුවෙයි

අමරදේව හඬින් ගයන රොවේන් විමලා අමරදේව මැතිනිය හමුවෙයි

මේ දවස්වල සිරස රූපවාහිනියේ විකාශය වන සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගය බොහෝදෙනා නරඹන තරගයක් බවට පත්වෙලා. එහි සිටින තරගකරුවන් විවිධ දක්ෂතා ඇති දරුවන්. ඔවුන් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගී ගයන දරුවන් රැසක් ඉන්නවා. ඒ අතරින් කුඩා කාලයේ පටන්ම අමරදේවයන්ට ආදරය කළ දරුවෙක් පසුගිය දිනවලදි අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව මුණ ගැසීමට අවස්ථාව ලබා ගත්තා. ඒ විමලා අමරදේව මැතිනියගේ ආරාධනයෙන්. ඒ දරුවා අන් කවුරුත් නොව රොවේන් පීරිස්.

ඔබ තවමත් පාසල් යන සිසුවෙක්. මොන පන්තියේද ඉගෙන ගන්නේ?

මම ඉගෙන ගන්නේ ඇරැව්වල මහා විද්‍යාලයේ 12 වසරේ. කලා අංශයෙන් උසස් පෙළ හදාරන මා ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ සංගීතය, නාට්‍ය හා රංග කලාව හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයයි.

සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගයට අයැදුම්පත් දමන්නේ ඔබමද?

මගේ අක්කා ඉගෙන ගන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. ඈ හදාරන්නේ සංගීතයයි. මේ තරගයට අයැදුම්පත් දැම්මේ ඇයයි. මා නොවෙයි. ඒ ගැන මා දැන ගෙන සිටියේ නැහැ. ඈ ඒ ගැන මට පැවසුවේ පසුවයි.

ඔබ ගී ගයන්නේ කුඩා කාලයේ පටන්මද?

මා පාසල් ගිය මුල්ම පාසල වන්නේ බුවනෙකබා විද්‍යාලයයි. ඒ පාසලේ ඉගෙන ගනිද්දි පැවැත්වුණු ජන ගායනා තරගයක් සඳහායි මා මුලින්ම ඉදිරිපත් වන්නේ. ඒ තරගයෙන් මා පළමු ස්ථානය දිනා ගන්නවා. ඒ ගායනයත් සමඟයි මට ගී ගයන්නට හැකියාවක් තිබෙන බව දැන ගන්නේ. ඉන් පසුව මා සංගීතය හදාරන්නට පටන් ගත්තා. මගේ සංගීත සර් වසන්ත අරුණ පද්මසිරියි. ඇරැව්වල පාසලේ අපේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරන්නේ ඔහුයි. මේ වසරේ අවසානයේදී මා විශාරද විභාගයේ අවසන් අදියර ලියනවා.

ඔබ කුඩා කාලයේ ගී ගයන්නේ කාගේ ගීතද?

මා කුඩා කාලයේ ගී ගැයුව බව පවසන්නේ මගේ අම්මා. ඒත් ඒ ළමා ගීත නොවෙයි. එකලත් මා ගයනා කර තිබෙන්නේ ප්‍රවීණ ගායකයන්ගේ ගීතයි. අමරදේව, මිල්ටන් පෙරේරා ආදී ප්‍රවීණ මහත්වරුන්ගේ ගීත ඒ අතර වූ බවයි අම්මා පවසන්නේ.

ඒ හුරුව ඔබට එන්නේ කොහොමද?

මගේ අම්මා තාත්තා දෙදෙනාම සංගීතයට ළැදියි. ඔවුන් දෙදෙනාටම ගයන්නට වගේ ම වාදනය කරන්නත් පුළුවන්. තාත්තාට ගිටාරයත්, වයලීනයත්, අම්මාට සිතාරයත් වයන්නට හැකියි. ඒ වගේ ම මා පුංචි කාලයේදී මාව අම්මා නළවා තිබුණේ ‘මූදු පතුල යට ඉඳලා ...’ ගීතය ගයමින්. ඈ ඒ ගීතය ගයලා අවසන් වනවිට මා හොඳටම නිදා ගන්නවා කියලයි අම්මා පවසන්නේ. ඒ කාලයේ අපේ නිවෙසේ නිතරම ඇසුණේ සුනිල් එදිරිසිංහ, ආචාර්ය අමරදේව ඇතුළු ප්‍රවීණයන් ගැයූ සුන්දර ගීතයි. ඒ පරිසරයයි මාව මෙවැනි ගීත ගයන්නට, අසන්නට යොමු කරන්නේ. විශේෂයෙන්ම කුඩා කාලයේ පටන්ම මා ආචාර්ය අමරදේවගේ ගීතවලට ප්‍රිය කළ බව පවසන්නේ අම්මායි.

ඒ නිසා පසු කාලයේ ඔබ වැඩිපුරම ගැයුවේ ආචාර්ය අමරදේවයන්ගේ ගීත පමණද?

ඔව්. ආචාර්ය අමරදේව මහතාගේ ගීත වැඩි ප්‍රමාණයක් ගැයීමට මා ප්‍රිය කළ බව සත්‍යයක්. ඒක කොයිතරම් ද පැවසුවොත් බොහෝදෙනෙක් මට නමකුත් දමා තිබුණා. ඒ එතුමාගේ එක් ගීතයකුයි මා නිතරම සෑම තැනකදිම ගායනා කළේ. ‘ඔබේ නමින් සෑය බඳීමි...’ කියන ඒ ගීතය ගයන විට හැමෝම මට පැවසුවේ රොවේන් ඔය ගයන්නේ ජාතික ගීය කියලා.

ඔය තරම්ම ඔබ ආචාර්ය අමරදේවයන්ට ආදරය කළා නම් එතුමාව බලන්නට යන්න සිතුවේ නැත්තේ ඇයි?

ඒ කාලයේ නිතරම වගේ මා අම්මාටත්, තාත්තාටත් ආචාර්ය අමරදේවයන් බලන්න යන්න කරදර කළ බව පවසන්නේ අම්මායි. එවැනි අවස්ථාවක් ලබාදීමට නොහැකි වීම ගැන අදත් ඔවුන් දෙදෙනා සෝක වෙනවා. ඒ වගේම එතුමාව බැලීමට, කතාබහ කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමට නොහැකි වීම ගැන මගේ සිතේ තිබෙන්නේ කනගාටුවක්. ඒත් මට යන්නට හැකිවුණේ එතුමාගේ අවමංගල්ලයට සහභාගි වීම සඳහායි. ජීවත්ව සිටි කාලයේ කතාබහ කිරීමට නොලැබුණත් අවසන් මොහොතේදි හෝ එතුමාට ගෞරව දක්වන්නට ලැබීම ගැන මගේ සිතේ තිබෙන්නේ සතුටක් වගේ ම දුකක්.

ඔබ ආචාර්ය අමරදේවයන්ගේ ගීතවලට ඔයතරම්ම කැමැත්තක් දක්වන්නේ ඇයි?

මා සංගීතයේදී හදාරන හින්දුස්ථානි සංගීතයට ඔහුගේ ගීත බොහොම ළඟයි. ඔහුගේ ස්වරයෙන් ගැයූ ගීත ඇහෙනවිට ඉබේම වගේ අපේ ජීවිතවල තිබෙන වෙහෙස මඟහැරී යනවා.

ඒත් ඔබට විමලා අමරදේව මැතිනිය මුණ ගැසී එතුමාගේ නිවෙසෙට යන්නට අවස්ථාව හිමිවෙනවා?

මගේ ලොකු තාත්තා පදිංචිව ඉන්නේ අමරදේව මාස්ටර්ගේ නිවෙස ආසන්නයේයි. දිනක් ඔහු ඒ මා ගැයූ ගීත විමලා අමරදේවයන්ට පෙන්වීමෙන් පස්සේ “මාව බලන්න ආසයි එක්කගෙන එන්න” කියලා තිබුණා. ඒ අනුවයි ආචාර්ය අමරදේවයන්ගේ නිවෙසට මා ගියේ.

ඒ ගිය අවස්ථාවේ එතුමිය පැවසුවේ මොනවාද?

එතුමිය මගේ හඬ ඇගයීමට ලක්කළා. ඒ වගේ ම මගේ ජීවිතය ඉදිරියට ජය ගැනීමට නම් කළයුතු දේවල් ඈ පැවසුවා. ඒ සියලු උපදේශ දීමෙන් පසුව විමලා අමරදේවයන් අමරදේව මාස්ටර්ගේ ගීත ඇතුළත් සංගත තැටි දෙකක් හා පොත් දෙකකුත් මට තෑගි කළා. ඊට වඩා ලැබුණු වටිනාම තෑග්ග වන්නේ මා විශ්වවිද්‍යාලට ගිහින් පැමිණි පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා අමරදේව පදනම මඟින් ඉන්දියාවට යන්නට අවශ්‍ය කටයුතු සම්මපාදනය කරදීමට විමලා අමරදේව මැතිනිය ඇතුළු රංජන අමරදේව මහතාත් පැවසීමයි. මොකද අපේ පවුලේ දැන් තිබෙන තත්ත්වයත් එක්ක විශාල වියදමක් දැරීමට මගේ අම්මාටත්, තාත්තාටත් හැකිවේවිද කියන එක මට ප්‍රශ්නයක්. එවැනි අවස්ථාවක් ලැබුණොත් මගේ සිතෙත් සිහිනයක්ව තිබුණු සංගීතය ඉගෙනීම සඳහා ඉන්දියාවට යන ගමනයි ඒ සාර්ථක වන්නේ.

විමලා අමරදේවයන් සමඟ ඔබ ගැයුවාද?

එතුමිය මට පැවසුවේ රාගයක් ගයන්නයි. මා අමරදේව මාස්ටර් ජීවත්ව සිටින කාලයේ වැයූ සර්පිනාව වයමින් රාගයක් ගැයුවා. ඒ වගේම මා ගැයූ ගීත එතුමිය කිහිපවරක්ම ඇසුවා. ඒ මා ගැයූ ගීතයේ කොතැනක හෝ යම් වරදක් කර තිබේද යන්නට සොයාගැනීමටයි. ඒත් ඈට එවැනි ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වුණා. ඈ මට ප්‍රශංසා කළා. අමරදේව මාස්ටර් සිටියා නම් බොහෝ සතුටු වන බවත් පැවසුවා.

ඒ ගීතය ඔබ තරගයේදී ගයන විට එහි ආරම්භයේදී ආලප් එකක් ඉදිරිපත් කරනවා නේද?

මුල් කාලයේ ගැයූ ඒ ගීතයේ ඒ කටයුත්ත කළේ මම හා අක්කා යන අප දෙදෙනාගේ එකමුතුවෙනුයි ගීතයට ගැළපෙන විදියට ඒ ආලප් එක නිර්මාණය කළේ.

ඔබ මතු දිනෙක කවුරුන් වීමටද සිතාගෙන සිටින්නේ?

මම කවදහරි සංගීතය පිළිබඳ කථීකාචාර්යවරයකු වීමටයි සිතාගෙන සිටින්නේ.

පසුගිය කාලයේ නොයෙක් රූපවාහිනි සේවාවන්වලින් රියැලිටි වැඩසටහන් රැසක් තිබුණත් ඒ වැඩසටහන්වලට ඉදිරිපත් නොවීමට හේතුවක් තිබුණාද?

මෙවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වීමට මගේ උනන්දුවක් තිබුණේ නැහැ. අක්කා ඊට අයැදුම් කළ නිසයි මා ඒ සඳහා ඉදිරිපත් වුණේ. ඒත් අවසන් වටයට පැමිණීමට හැකිවේ යැයි මා සිතුවේ නැහැ. මගේ සංගීත ගුරුතුමා වූ වසන්ත සර් නිතරම පවසන්නේ රියැලිටි වැඩසටහන්වලට යනවාට වඩා වැදගත් වන්නේ සංගීතය ගැන දැනගෙන ඒ දැනුමින් සන්නද්දවීම අවශ්‍ය බවයි. ඒ නිසා ඒ කාලයේ තිබුණු රියැලිටි වැඩසටහන්වලට සහභාගි වීමට මගේ එතරම් අදහසක් තිබුණේ නැහැ.

ප්‍රසංගවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. ඒත් ඒ ඒ ප්‍රසංගවලට සහභාගි වීමට මගේ තවම අදහසක් නැහැ. ගෘහස්ථ ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණොත් සලකා බලනවා. මොකද මම ගයන්නේ ශාස්ත්‍රීය හුරුවට තිබෙන ගීත නිසා ඒවා ඒ එළියේ තිබෙන ප්‍රසංගවලට ගැළපෙන්නේ නැහැ. අනෙක් කාරණය නම් මම ඊළඟ වසරේදි විභාගය ලියනවා. කොහොම නමුත් සිරස සුපර් ස්ටාර් තරගය අවසන් වෙලා හැමදෙයක්ම බලමු.

ඔබට පාසලෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

මමයි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. පාසලේ බොහෝ ක්‍රියාකාරකම්වලට සහභාගි වන ළමයෙක් විදියට විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන්ගෙන් මේ කටයුතුවලට මට ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. පාසලේ ළමයින්ගෙන් වුණත් එහෙමයි. සමහර විටදි තරගය නිසා පාසල් කටයුතු අතපසු වුණත් ඒ කටයුතු කොහොම හරි මා කර ගන්නවා.

නිවෙසෙන් ලැබෙන සහයෝගයත් සිහිපත් කරමු?

මගේ තාත්තා රැකියාව කරන්නේ හොටෙල් එකකයි. අප දෙදෙනාට උගන්වන්න තාත්තා බොහොම මහන්සි වෙනවා. ඔහු කලක් අසනීපයෙන් සිට මේ මෑතකදියි සුවය ලැබු‍වේ. ඒ නිසා බොහොම ගැටලු අතරයි අපට ඉගෙන ගන්නට සිදුවුණේ. තාත්තා හා අම්මාගෙන් අපේ අධ්‍යාපන කටයුතුවලට ලැබෙන සහයෝගය මහමෙරක්. ඔවුන් දෙදෙනාගේ අරමුණ වන්නේ අප හොඳට ඉගෙන ගෙන සමාජයේ යහපත් මිනිසුන් වනු දැකීමයි. ඔවුන්ට වගේ ම සිරස ආයතනයවත්, මේ වැඩසටහනේ සර් ඇතුළු පිරිසටත් ස්තූති කළ යුතුයි.